ලොව පුරා භාවිත වන අමුතු ආකාරයේ ඖෂධ වර්ග බෙහොමයකි. ආදි යුගයේ දී ඇතැම් ප්‍රතිකර්ම විශ්වාස කිරීමට තරම් අපහසු ආකාරයේ හා ඇතැම් විට පිළිකුල දනවනසුලු ද වූ බව පෙනී යයි.
1.මුත්‍රා ඇසුරින් රෝග නිර්ණය.
අද වන විට ලොව පුරා හතු පිපෙන්නාක් මෙන් ගොඩනැංවෙන රසායනාගාර තුළ රුධිර පරීක්ෂණ මෙන්ම මුත්‍රා පරීක්ෂණ ද සිදු කරන බව සියල්ලෝ දනිති. එහි දී ඔවුහු කිසිදු අනවශ්‍ය ද්‍රව්‍යයක් මිශ්‍ර නොවන පරිදි යමෙකුගෙන් ලබා ගන්නා මුත්‍රා සාම්පල, පරීක්ෂණ නල, බීකර, පුනීල ආදී නොයෙක් මාදිලියේ උපකරණ භාවිත කොට රත් කිරීම, සිසිල් කිරීම ආදී එකී මෙකී නොකී සියලු තත්ත්වයනට භාජනය කොට රෝග නිශ්චය කරති.
එහෙත් ඉන් එක් රසායානාගාර පරීක්ෂකයෙකුවත් තමාට ලැබෙන මුත්‍රා පානය කර බලනවා ද? අනුන් තබා, අපවත් අපගේ මුත්‍රා පානය කිරීමට සූදානම් ද? සිතන විටත් ඔක්කාරය ඇති කරවනසුලු එවන් ක්‍රියාවක් සිදු කළ හැක්කේ මානසික විකෘතිතාවකින් පෙළෙන පුද්ගලයෙකුට පමණි.
කෙසේ වුවත් මධ්‍යකාලීන යුගයේ යුරෝපයේ විසූ වෛද්‍යවරුන් නම්, පිළිකුල පසෙක තබා රෝගීන්ගේ මුත්‍රා පානය කළ බවට සාක්ෂි ඇත. ප්‍රථමයෙන් ඔවුහු මුත්‍රා සාම්පලය බීකරයකට දමා නිශ්චල ව තැබූ අතර, පසුව බීකරය තද ආලෝකයකට අල්ලා පරීක්ෂා කළහ. එයිනුත් රෝගය සොයාගත නොහැකි වී නම් අවසාන තුරුම්පුව වූයේ පානය කිරීම යි. තාක්ෂණය අද තරම් දියුණු නොවූ එදා, කාගේදෝ නොදත් මුත්‍රාවල වර්ණය, ගන්දය පමණක් නොව රසය ද මැන බැලීමට තරම් වෛද්‍යවරු අසරණ වූහ.
2.නාග තෙල්.
දැනට වසර ගණනාවකට පෙර ආරම්භ වූ නාග තෙල් ඇසුරින් රෝග සුව කිරීමේ ක්‍රමයේ පුරෝගාමීහු චීන ජාතිකයෝ ය. ඊට යොදා ගත්තේ පොළොව මත බඩ ගා යන අප දන්නා නාගයින් නොව චීනයට ආවේණික දිය නයින් විශේෂයකි.
මෙම තෙල් භාවිත කරනුයේ ප්‍රධාන වශයෙන් හන්දිපත් රුදාව හෙවත් ආතරයිටිස් රෝගය සුව කර ගැනීම සඳහා ය. ඒ හැරුණු විට ඕනෑම ආකාරයක සන්ධි රෝගයක් හා සාමාන්‍ය සන්ධි වේදනාවක් සඳහා වුව ද එය භාවිත කළ හැකි ය. තෙල් ස්වල්පයක් ගෙන වේදනා දෙන ස්ථානයේ ආලේප කොට සම්බාහනය කිරීමෙන් පමණක් රෝගය සුව වන හෙයින් මෙය වේදනා නාශකයක් ද වේ.
ඇමරිකාවට මෙම ප්‍රතිකර්මය හඳුන්වා දී ඇත්තේ මුළු මහද්වීපය පුරා පැතිරෙන පරිදි ඉදි කිරීමට පටන් ගත් දුම්රිය මාර්ගයේ සේවය කිරීමට පැමිණි චීන ජාතික කම්කරුවෝ ය. ශරීරය බොහෝ සෙයින් වෙහෙස කරවනසුලු මෙම කටයුතු අවසන් වූ සෑම දිනක ම රාත්‍රියේ, කම්කරුවෝ නාග තෙල් ඇඟ පුරා ගැල්වූහ. එයින් සිරුරට දැනුණු අපහසුතාව මඟ හැරුණු අතර පසු දිනත් පෙර පරිදි ම ජවයෙන් ක්‍රියාත්මක වීම සඳහා ජීවය ලැබිණි.
3.කොකේන් හා රතු වයින්.
වසර 1863 දී පමණ ඉතාලි ජාතික රසායන විද්‍යාඥයෙකු වූ “ඇන්ජෙලෝ මරියානි” රතු වයින් හා කොකේන් කොළ එකට මිශ්‍ර කොට සකස් කර ගත් ඖෂධයක් සොයා ගත්තේ ය. “වින් මරියානි” වශයෙන් හැඳින්වූ මෙය භාවිත කිරීමට බොහෝ දෙනා කැමැත්ත දැක්වූයේ කොකේන්හි තිබූ මත් වනසුලු භාවය හේතුවෙනි.
පසුව යුරෝපය පුරා අටදහසක් පමණ වෛද්‍යවරුන් මෙම පානය අනුමත කොට නිර්දේශ කර තිබේ. සිරුර වෙහෙසා වැඩකරන්නවුන්, ශරීරයෙන් දුර්වල ස්ත්‍රීන් මෙන් ම නොයෙකුත් අන්දමේ අසනීපවලින් පෙළුණු දරුවන් සඳහා ද “වින් මරියානි” පානය ඖෂධයක් ලෙස යොදා ගැනීමට වෛද්‍යවරු පසුබට නොවූහ.
නව නිපැයුම්කරුවෙකු වූ තෝමස් අල්වා එඩිසන්, එංගලන්තයේ වික්ටෝරියා රැජින, රුසියාවේ සීසර්වරයා, දස වන ශාන්ත පියුස් පාප්තුමා මෙන් ම දහතුන් වන ලියෝ පාප්තුමා ද මෙම ඖෂධය මහත් අභිරුචියෙන් පානය කළ බව කියවේ.
පසුව මරියානි, මෙම සංයෝගය ඇමරිකාවට විකුණා දැමූ අතර ජෛවරසායන විද්‍යාඥයෙකු වූ “ජෝන් ස්ටිත් පෙම්බර්ටන්” නමැත්තා එම සංයුතිය හා සමාන වෙනත් පානයක් නිෂ්පාදනය කිරීමට සමත් විය. ඒ ඔබ අප හොඳින් දන්නා “කොකාකෝලා” ය.
ශ්‍රීනි ලංකා ජයකොඩි.
අත නොහැර කියවන තැන
ආර්තවහරණය පිළිබඳ මිථ්‍යාවන් හතක් !
කොළඹ විශ්වවිද්‍යාලය තට්ටය මට්ටු කරමින් තෙලක් බෙදයි
ඉදිරි දශකය ජයගත හැකි අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන සමාජ විද්‍යාත්මක කථිකාවක්