Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

මයි ලායි සංහාරය.

“මයි ලායි සමූල ඝාතණය” යනු වියට්නාම යුද්ධයේ දී නිරායුධ සිවිල් වැසියන්ට එරෙහිව සිදු වූ දරුණුතම ප්‍රචණ්ඩකාරී සිදුවීම්වලින් එකකි. ඇමරිකානු සොල්දාදුවන් කණ්ඩායමක් විසින් 1968 මාර්තු 16 වන දින “මයි ලායි” ගම්මානයේ දී කාන්තාවන්, ළමයින් සහ මහලු මිනිසුන් බොහෝ දෙනෙකු අමානුෂික ලෙස ඝාතණය කරන ලදී. මෙහි දී 500 කට අධික පිරිසක් මරා දමන ලද අතර කාන්තාවන් සියලු දෙනා ම පාහේ විකෘති අන්දමින් දූෂණයට ලක් විය. ඇමරිකානු පුවත්පත්වල වාර්තා වීමට පෙර එක්සත් ජනපද හමුදා නිලධාරීන් විසින් වසරක් තිස්සේ මෙම සංහාරය පිළිබඳ තතු සඟවා තබන ලදී. මයි ලායි ඝාතණවල ම්ලේච්ඡත්වය සහ නිළ වශයෙන් වසන් කිරීම පිළිබඳ ගැටලුව ජාත්‍යන්තර යුද අධිකරණය දක්වා ද ගියේ ය. 

“මයි ලායි” නම් කුඩා ගම්මානය පිහිටා ඇත්තේ ක්වාං නගයි පළාතේ ය. එය වියට්නාම් යුද්ධයේ දී කොමියුනිස්ට් ජාතික විමුක්ති පෙරමුණේ (එන්.එල්.එෆ්.) හෝ වියට් කොන්ග් (වී.සී.)හි බලකොටුවක් යැයි විශ්වාස කෙරිණි. එබැවින් ක්වාං නගයි පළාත එක්සත් ජනපදයේ සහ දකුණු වියට්නාමයේ බෝම්බ ප්‍රහාරවල නිරන්තර ඉලක්කයක් වී තිබිණි.

1968 මාර්තු මාසයේ දී, ඇමරිකානු අංශයේ 11 වන පාබල සේනාංකයේ කොටසක් වන “චාලි කණ්ඩායම” වෙත පණිවුඩයක් ලැබුණේ වී. සී. ගරිල්ලන් විසින් අසල්වැසි ගම්මානයක් වන “සොන් මායි” සිය පාලනය යටතට ගෙන ඇති බවට ය. එහෙයින් ඒ පිළිබඳ සෝදිසි කොට වී. සී. හමුදාව විනාශ කිරීමේ මෙහෙයුමක් සඳහා චාලි කණ්ඩායම මාර්තු 16 වන දින අදාළ ප්‍රදේශයට යවන ලදී. ඒ වන විට, එක්සත් ජනපද සොල්දාදුවන් අතර චිත්ත ධෛර්යය අඩු වෙමින් පැවතුණි. විශේෂයෙන් 1968 ජනවාරියේ දී දියත් කරන ලද උතුරු වියට්නාම නායකත්වයෙන් යුත් “ටෙට්” ප්‍රහාරය තුළින් චාලිගේ කණ්ඩායමේ සාමාජිකයින් 28 දෙනෙකු පමණ මරණයට හෝ තුවාලවලට ලක් වී තිබුණි. එහෙයින් එහි ඉතිරි ව සිටි පිරිමි භටයින් ගණන 100කටත් වඩා අඩු විය. සොන් මායි ප්‍රදේශයේ සිටි සියල්ලන් ම උප හමුදා භටයින් හෝ ක්‍රියාකාරී භටයින් ලෙස සැලකිය හැකි බව යුද හමුදාපතිවරු චාලි කණ්ඩායම් සෙබළුන්ට උපදෙස් දුන්හ. එහෙයින් ගම විනාශ කරන ලෙස ඔවුන්ට නියෝග කර තිබිණි.

හිමිදිරි පාන්දරින් ම පැමිණි ලුතිනන් විලියම් කැලීගේ නායකත්වයෙන් යුත් සොල්දාදුවන් හට අදාළ ගම්මානය තුළ වියට් කොන්ග්‍රසයට අයත් කිසිවෙකුත් හමු නොවීය. ඒ වෙනුවට, ඔවුන් දුටුවේ කාන්තාවන්, ළමයින් සහ වැඩිහිටි පුරුෂයින්ගෙන් සමන්විත නිහඬ ගම්මානයකි. එහෙත් එම භටයින් නොදැන සිටි දෙයක් වූයේ තමන් පැමිණ තිබුණේ වැරැදි ගම්මානයකට බව ය. චාලිගේ සොල්දාදුවන් ඔවුන්ගේ පැල්පත් පරීක්ෂා කරද්දී ගම්වැසියන් කණ්ඩායම් වශයෙන් වටකරනු ලැබිණි. එහි දී හමු වූයේ ආයුධ කිහිපයක් පමණක් වුව ද, කැලී තම මිනිසුන්ට අණ කළේ ගම්වැසියන්ට වෙඩි තැබීමට පටන් ගන්නා ලෙසයි. සමහර සොල්දාදුවන් කැලීගේ අණට එකඟ වූ අතර තත්පර කිහිපයකින් සමූල ඝාතණය ආරම්භ කෙරිණි. බොහෝ පිරිමින්ට, කාන්තාවන්ට හා ළමයින්ට වෙඩි තැබුණේ ද කැලී විසින් ම ය.

තම දරුවන් ආරක්ෂා කරමින් සිටි මවුවරුන්ට පවා වෙඩි තැබුණු අතර, ඔවුන්ගේ දරුවන් පලා යාමට උත්සාහ කළ විට, ඔවුන් ද ඝාතණය කරන ලදී. පැල්පත්වලට ගිනි තැබුණු අතර පැන යාමට තැත් කළ ඕනෑ ම කෙනෙකුට එකෙනෙහි ම වෙඩි තබා ඝාතණය කෙරිණි.

 “ඔවුන් ජීවතුන් අතර සිටි පිරිසකට M79 එනම්, අත්බෝම්බ විදින යන්ත්‍රයකින් වෙඩි තබන අයුරු මම දුටුවෙමි. නමුත් එය බොහෝ දුරට මැෂින් තුවක්කුවක් භාවිතයෙන් සිදු කරන්නාක් මෙන් පෙනිණි. ඔවුන් අන් අයට මෙන් ම කාන්තාවන්ට හා ළමයින්ට ද වෙඩි තැබූහ.” යනුවෙන් එම ස්ථානයේ සිටි සොල්දාදුවෙකු වන මයිකල් බර්න්හාර්ඩ් පසුව පැවසීය.

“එම ගම්මානයෙන් අප වෙත කිසිදු විරෝධයක් එල්ල වූයේ නැත. මා හට දකින්නට ලැබුණේ ද අල්ලා ගත් ආයුධ තුනක් පමණි. ඒවායින් පවා අපට කිසිදු හානියක් සිදු නොවීය. එය වෙනත් ඕනෑ ම වියට්නාම ගම්මානයක් මෙන් විය. පැරැණි මාදිලියේ පැපා-සැන්ස් (පිරිමින්ගෙන්), කාන්තාවන් සහ ළමයින්ගෙන් ගම පිරී තිබිණි. ඇත්ත වශයෙන් ම සියල්ල අවසන් වූ පසු ඒ මා දුටු එක් පිරිමි ළමයෙකුවත් ජීවතුන් අතර සිටිනු මට මතක නැත.”බර්න්හාර්ඩ් පැවසීය.

නිරායුධ පිරිමින්, කාන්තාවන් සහ ළමයින්  මරා දැමීමට අමතරව සොල්දාදුවෝ අසීමාන්තික පශු සම්පත් ප්‍රමාණයක් විනාශ කිරීම, නාඳුනන කාන්තාවන් බොහෝ සංඛ්‍යාවක් දූෂණය කිරීම සහ ගම ගිනිබත් කිරීම යනා දී සියලු දුෂ්ටකම් සිදු කළහ. මැෂින් තුවක්කුවකින් වෙඩි තබා මරා දැමීමට පෙර කැලී, කුඩා දරුවන් ඇතුළු දුසිම් ගණනක් වළක් වෙත ඇදගෙන ගොස් දමා ඇති බව වාර්තා විය. ඔවුන් කොතරම් ම්ලේච්ඡකම් කළ ද මයි ලායි ගම්මානයෙහි විසූ ගැමියන් කිසිවෙකු චාලිගේ මිනිසුන්ට එරෙහිව එකදු පහරක්වත් එල්ල කළේ නැත.

මෙසේ පැය ගණනක් තිස්සේ දිග හැරුණු මයි ලායි සමූල ඝාතණය අවසන් වූයේ යුධ හමුදා හෙලිකොප්ටර් නියමුවෙකු වූ “හියු තොම්සන්”, ඔහුගේ හෙලිකොප්ටර් යානය ගෙන ගොස් පහර දෙමින් සිටි සොල්දාදුවන් සහ පසුබසිමින් සිටි ගම්වැසියන් අතර ගොඩ බස්සවා, ඔවුන් දිගින් දිගටම ප්‍රහාර එල්ල කළහොත් තමා සහ තම කණ්ඩායම චාලිගේ පිරිසට වෙඩි තබන බවට තර්ජනය කිරීමෙන් අනතුරුව ය.

 “අපි දිගින් දිගටම පියාසර කරමින් සිටියෙමු. සෑම තැනකම මළ සිරුරු අතිවිශාල සංඛ්‍යාවක් දැකීමට පටන් ගැනීමට වැඩි වේලාවක් ගත නොවීය.  අප බලන සෑම තැනක ම, අපට මළ හා මිය යමින් සිටි මිනිසුන් පෙනිණි.”

1994 වසරේ “ටියුලේන්” විශ්ව විද්‍යාලයේ පැවති මයි ලායි සම්මන්ත්‍රණයක දී තොම්සන් එලෙස ප්‍රකාශ කළේ ය. එම අවස්ථාවේ දී දක්නට ලැබුණු මළ සිරුරු ළදරුවන්, අවුරුදු තුන, හතර, පහේ ළමයින්, කාන්තාවන්, කොල්ලන්, මැදිවයසේ පිරිමින් හා ඉතා මහලු පිරිමින්ගේ ද විය. තොම්සන් සහ ඔහුගේ කාර්යය මණ්ඩලය ඉක්මන් වී එතුවක් දිවි රැඳී තිබුණු දුසිම් ගනණක් ද සිය යානයේ නංවාගෙන ඔවුනට වෛද්‍ය ප්‍රතිකාර ලබා දීම සඳහා පියාසර කළහ. 1998 දී තොම්සන් සහ ඔහුගේ කාර්යය මණ්ඩලයේ තවත් සාමාජිකයින් දෙදෙනෙක් සතුරා සමඟ ඍජු ව සම්බන්ධ නොවීමේ නිර්භීතකම වෙනුවෙන් එක්සත් ජනපද හමුදාවේ ඉහළ ම සම්මානය වන “සොල්ජර්” පදක්කම ද ලබා ගත්හ.

මයි ලායි සංහාරය අවසන් වන විට පුද්ගලයින් 504 දෙනෙකු මියගොස් තිබුණි. ඝාතණයට ලක්වූවන් අතර කාන්තාවන් 182 ක් (ඔවුන්ගෙන් 17ක් ගැබිනි මව්වරුන් වූහ) ළදරුවන් 56ක් ඇතුළු ව ළමුන් 173ක් ද සිටියහ. සමූල ඝාතණය පිළිබඳ පුවත ලොව පුරා ප්‍රචාරය වීම ඇමරිකානුවන් හට අපකීර්තියක් වීමට ඉඩ තිබූ හෙයින් චාලි කණ්ඩායමේ අණදෙන නිලධාරීන් සහ 11 වන සේනාංකය එක් ව වහාම මෙම ලේ වැගිරීමේ බරපතලම අඩු කර ගැනීමට උත්සාහ කළහ. එහෙත් සමූල ඝාතණය පිළිබඳ අසා තිබූ නමුත් එයට සහභාගී නොවූ 11 වන සේනාංකයේ සෙබළෙකු වූ “රොන් රිඩන්හෝර්”, අදාළ සිදුවීම් හෙළිදරව් කිරීමේ ව්‍යාපාරයක් ආරම්භ කළේ ය. එතෙක් මයි ලායි සංහාරය වසන් කිරීමේ උත්සාහය දිගට ම පැවත්විණි. පෙන්ටගනය, රාජ්‍ය දෙපාර්තමේන්තුව, ඒකාබද්ධ මාණ්ඩලික ප්‍රධානීන් සහ කොන්ග්‍රස් සභිකයින් කිහිප දෙනෙකුට මෙන් ම ජනාධිපති රිචඩ් එම්. නික්සන් හට ද මේ පිළිබඳ විමර්ශන ආරම්භ කරන ලෙස ඉල්ලා ලිපි කිහිපයක් යැවුව ද, රිඩන්හෝර්හට කිසිදු ප්‍රතිචාරයක් නොලැබිණි. අවසානයේ දී ඔහු විමර්ශන වාර්තාකරුවෙකු වූ සේමර් හර්ෂ් හට මේ පිළිබඳ හෙළි කළ අතර, 1969 නොවැම්බරයේ දී හර්ෂ් අදාළ සිද්ධිය ප්‍රසිද්ධියට පත් කළේ ය.

රයිඩන්හෝර්ගේ හෙළිදරව්වෙන් පසු ඇති වූ ජාත්‍යන්තර කෝලාහල හා වියට්නාම් යුද්ධ විරෝධතා මධ්‍යයේ, එක්සත් ජනපද හමුදාව මැදිහත් වී මයි ලායි සංහාරය පිළිබඳ විශේෂ පරීක්ෂණයක් පැවැත්වීමට නියෝග කළ අතර එය වසන් කිරීමට ගත් උත්සාහයන් ද හඳුනා ගැනිණි. ලුතිනන් ජෙනරාල් විලියම් පීර්ස්ගේ නායකත්වයෙන් යුත් මෙම පරීක්ෂණය 1970 මාර්තු මාසයේ දී සිය වාර්තාව නිකුත් කළ අතර සමූල ඝාතණය වසන් කිරීම වෙනුවෙන් නිලධාරීන් 28 දෙනෙකුට නොඅඩු පිරිසකට චෝදනා ගොනු කරන ලෙස නිර්දේශ කළේය. මයි ලායි නඩු විභාගය 1970 නොවැම්බර් 17 දින ආරම්භ විය.

මයි ලායි සංහාරය නැවැත් වීමට මැදිහත් වූ හෙලිකොප්ටර් නියමුවා වූ හියු තොම්සන්, පසුව “මිනිත්තු 60” ප්‍රවෘත්ති වැඩසටහනට කියා සිටියේ වියට්නාමයෙන් ආපසු පැමිණි විට ඔහු, තමා නෙරපා හැර ඇති බව දැන ගත් අතර ඉන්පසු තමාට මරණීය තර්ජන පවා එල්ල වූ බව ය. එසේ නම් සංහාරය සැඟවීමට ගත් උත්සාහය කෙතරම් ප්‍රබලදැයි සිතා ගත හැකි ය. මයි ලායිහි සිදුවීම් හා බැඳුණු අපරාධ සම්බන්ධයෙන් කැලී, කැප්ටන් අර්නස්ට් මෙඩිනා සහ කර්නල් ඔරන් හෙන්ඩර්සන් ඇතුළු පුද්ගලයින් 14 දෙනෙකුට පමණ චෝදනා කෙරිණි. වෙඩි තැබීමට අණ කිරීම සම්බන්ධයෙන් කලින් සැලසුම් කළ මිනීමැරුමකට වැරදිකරු වූ කැලී හා මෙඩිනා හැර සෙසු සියල්ලන් ම නිදොස් කොට නිදහස් කරනු ලැබුවේ, ඔවුන් තම අණදෙන නිලධාරි කපිතාන් මෙඩිනාගේ නියෝග පමණක් අනුගමනය කිරීමට උත්සාහ කිරීම හේතුවෙනි.

1971 මාර්තු මාසයේ දී මයි ලායි ඝාතණ මෙහෙයවීමේ කාර්යය සම්බන්ධයෙන් කැලී හට ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම විය. බොහෝ දෙනෙක් කැලී ගොදුරක් ලෙස දුටු අතර, එහෙයින් ඔහුගේ දඬුවම වසර 20ක් දක්වාත් පසුව 10 දක්වාත් අඩු විය. ඔහු 1974 දී වාචික ප්‍රතිඥාවකට පමණක් යටත් කෙරිණි. පසුව කරන ලද පරීක්ෂණවලින් හෙළි වී ඇත්තේ මයි ලායි සංහාරය හුදෙකලා සිදුවීමක් නොවන බවයි. මෙම සිද්ධිය සමඟ ම සිදු වූ “මයි කේ” හි ගම්වැසියන් සමූල ඝාතණය කිරීම වැනි වෙනත් අපරාධයන් එතරම් ප්‍රසිද්ධ වී නොතිබිණි. “ස්පීඩි එක්ස්ප්‍රස්” නමින් කුප්‍රකට මිලිටරි මෙහෙයුමක් හරහා “මෙකොං ඩෙල්ටාවේ” දී වියට්නාම සිවිල් වැසියන් දහස් ගණනක් ද ඝාතණය කෙරුණු අතර, එම මෙහෙයුමේ අණදෙන නිලධාරී මේජර් ජෙනරාල් ජූලියන් එවල්හට, “ඩෙල්ටාවේ බුචර්” යන අන්වර්ථ නාමය ද පට බැඳුණේ අදාළ සිදුවීම එතරම්ම ම්ලේච්ඡ වූ බැවිනි.

කෙසේ වෙතත් 1970 දශකයේ මුල් භාගය වන විට, වියට්නාමයේ ඇමරිකානු යුධ ප්‍රයත්නය අවසන් වෙමින් පැවතිණි. නික්සන් පරිපාලනය විසින් සිය හමුදා ඉවත් කර ගැනීම සහ භූමි මෙහෙයුම් පාලනය දකුණු වියට්නාමයට පැවරීම ඇතුළු ව “වියට්නාමකරණ” ප්‍රතිපත්ති දිගටම කරගෙන යනු ලැබිණි. ඒ තාක් කල් වියට්නාමයේ කඳවුරු බැඳ සිටි ඇමරිකානු හමුදාවේ චිත්ත ධෛර්යය අඩු වෙමින් පැවතුණු අතර කෝපය හා කලකිරීම වැඩි විය. සොල්දාදුවන් අතර මත්ද්‍රව්‍ය භාවිතය වැඩි වූ අතර 1971 දී නිළ වාර්තාවක් විසින් ඇස්තමේන්තුගත කළේ එක්සත් ජනපද භටයින්ගෙන් තුනෙන් එකක් හෝ වැඩි ගණනක් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වී ඇති බවයි.

මයි ලායි සංහාරය පිළිබඳ හෙළිදරව් කිරීම් මඟින් ඔවුන්ගේ චිත්ත ධෛර්යය තව දුරටත් පහත වැටිණි. ඔවුන් කල්පනා කළේ සිය ඉහළ නිලධාරීන් අතර සැඟවී ඇති වෙනත් කුරිරුකම් මොනවාද යන්නයි. සියලු දෙනා තුළ මයි ලායි සංහාරයේ ම්ලේච්ඡත්වය සහ එය සැඟවීමට ඉහළ පෙළේ නිලධාරීන් දැරූ උත්සාහයත් පිළිබඳ යුද විරෝධී හැඟීම් උග්‍ර වූ අතර වියට්නාමයේ අඛණ්ඩ ව රැඳී සිටි එක්සත් ජනපද හමුදා නිළධාරීන් සිය රට පිළිබඳ පූර්ණ වශයෙන් ම කලකිරීමට පත් වූහ.

ශ්‍රීනි ලංකා ජයකොඩි.

About The Author