රුසියානු ජනාධිපති ව්ලැඩ්මීර් පුටින්ගේ ප්‍රබලතම ප්‍රතිවාදියා වන ඇලෙක්සෙයි නවාල්නි පසුගිය සතියේ දී අත්අඩංගුවට ගැනිණි. මාස කිහිපයක් තිස්සේ ම ඔහු සිටියේ ජර්මනියේ රෝහලක් තුළ ජීවිතයත් මරණයත් අතර සටන් කරමිනි. එයට හේතුව නම් 2020 වසරේ අගෝස්තු මස 20 වන දින යම් කිසිවෙකු විසින් ඔහුගේ තේ කෝප්පයට වස දමා දීම ය. අදටත් මෙම අනතුර සම්බන්ධයෙන් නවාල්නිගේ පාක්ෂිකයින් චෝදනා කරනුයේ පුටින් හට යි. ඒවා සත්‍ය වුව ද, නැත ද නවාල්නි රෝහල්ගත ව සිටි මුළු කාලය තුළ දී ම පුටින් අවම වශයෙන් සිය ප්‍රතිවාදියාගේ නම කීමට තරම්වත් කාරුණික වී නොතිබිණි. ඔහු සිය කථාවල දී නවාල්නි හැඳින්වූයේ “බර්ලින් ඉස්පිරිතාලෙ ඉන්න ලෙඩා” යනුවෙන් පමණි. පුටින්ට අනුව එම විෂ ශරීරගත කිරීමේ සිද්ධිය නවාල්නි පාක්ෂිකයින් විසින් ගොතන ලද්දක් විය හැකි අතර, එය සත්‍ය වුවත් එතරම් ගණන් ගත යුතු සිද්ධියක් නොවේ.
එෆ්.එස්.බී.ය පවසන්නේ කුමක්ද?
එෆ්.එස්.බී. හෙවත් රුසියානු ෆෙඩරල් ආරක්ෂක සේවය පවසන පරිදි වසර කිහිපයක් තිස්සේ ම “රුසියාවේ අනාගතය” නම් වූ ප්‍රධාන විරුද්ධ පක්ෂයේ නායකයා වූ ඇලෙක්සෙයි නවාල්නි සිටින්නේ ඔවුන්ගේ දැඩි අධීක්ෂණය යටතේ ය. නමුදු “එසේ නම් වස දීමක් සිදු වූයේ කෙසේද?” යන ප්‍රශ්නයට ඔවුන් තුළ පිළිතුරක් නැත.
මෙයට පෙර ද රුසියානු දේශපාලනය තුළ විෂ ශරීරගත කොට සිදු කෙරුණු අනතුරු පිළිබඳ සාක්ෂි තිබේ. නිදසුනක් වශයෙන් 2018 වසරේ දී එංගලන්තයේ සාලිස්බරිහි ද්විත්ව නියෝජිතයෙකු වූ සර්ජි ස්ක්‍රිපාල් සහ ඔහුගේ දියණිය වූ ජූලියාට වස දුන් බවට චෝදනා ලැබුණේ රුසියානු හමුදා බුද්ධි අංශයේ (ජී.ආර්.යූ.) නියෝජිතයින් දෙදෙනෙකුට ය. එය ද ජනාධිපති පුටින්ගේ මෙහෙයවීමෙන් සිදු කෙරුණු බව කියවිණි. සැබැවින් ම කියතොත් මෙයට වසර ගණනාවකට පෙර එම රට පාලනය කළ ජෝසෆ් ස්ටාර්ලින්ගේ කාලයේ සිට ම තම විරුද්ධවාදීන් වස දී මරා දැමීම සිරිතක් ව පැවතිණි. ස්ටාර්ලින්ගේ විරුද්ධවාදියා වූ ට්‍රොට්ස්කි මරා දැමුණේ ද ඒ අයුරින් ම බව කියවේ. කෙසේ වෙතත් වර්තමාන සිදුවීම් පිළිබඳ සලකන කල්හි මෙම අනතුරුවල කොහේ හෝ ස්ථානයක රුසියානු රජයේ ඉහළ පුටුවල මැදිහත්වීමක් ඇති බවට සාධාරණ සැකයක් ඇති වේ.
හැරත් ඇලෙක්සෙයි නවාල්නි කිසිදු විටෙක රුසියානු වෛද්‍යවරුන් කෙරෙහි විශ්වාසය නොතිබූ බව පෙනේ. මන්දයත් කොමියුනිස්ට්වාදී රුසියානුවෙකු වන ඔහු සිය වෛද්‍ය ප්‍රතිකාර ගැනීම පිණිස ධනවාදී රටක් වන ජර්මනිය වෙත ගිය හෙයිනි. පුටින් ඇතුළු රජය මේ පිළිබඳ සිය අප්‍රසාදය පළ කළ ද, හොර රහසේ සිදු කරන ලද මිනීමැරීමට තැත් කිරීමේ සිදුවීම ජාත්‍යන්තරයේ අවධානය දිනා ගත්තේ නවාල්නි ගත් එම තීරණය හේතුවෙනි.
එෆ්.එස්.බී.ය සුද්ද කිරීම.
මෙයට පෙර රුසියානු ජනාධිපති යටතේ තිබෙන රුසියානු ෆෙඩරල් ආරක්ෂක සේවය හරහා සිදු කෙරුණු අකටයුතුකම් කිහිපයක් හේතුවෙන් ඊට අදාළ නිළධාරීන් සේවයෙන් පහ කොට, එම පද්ධතිය පිරිසිඳු කරන ලෙස ජාත්‍යන්තරයෙන් රුසියාවට බලපෑම් එල්ල විය. එහෙත් අද වන තෙක් ම එවැන්නක් සිදු වූ බවක් නොපෙනේ. බ්‍රිතාන්‍ය ජාතික ඉතිහාසඥයෙකු හා රහස් සේවා පිළිබඳ විශේෂඥයෙකු වන මාර්ක් ගැලියෝටි මහතා පවසන්නේ ජනාධිපති පුටින්ගේ සම්පූර්ණ පැවැත්ම රඳා පවතින්නේ එෆ්.එස්.බී.ය මත බව යි. ඔහුට අනුව පුටින්ගේ රජයේ මූලික ව්‍යුහය මෙය වන අතර, පද්ධතිය පිරිසිඳු කරන්නේ නම්, නියත වශයෙන් ම ජනාධිපතිවරයා දෙසට ද ඇඟිල්ල දිගු වනු වැළැක්විය නොහැකි ය.
මේ වන ජාත්‍යන්තරයේ සහය ලබන නිළධාරීන් කිහිපදෙනෙක් රුසියානු රජයට අයත් ආරක්ෂක සේවය පිළිබඳ පර්යේෂණ කරමින් සිටිති. ඔවුන්ට අනුව අද වන තුරුත් අනෙකුත් රටවල මැදිහත් වීමෙන් එෆ්.එස්.බී.යෙන් ඉවත් කිරීමට හැකි ව තිබෙන්නේ මෙහෙයුම් නිළධාරීන් කිහිපදෙනෙකු පමණි. එය ද සිදු වී ඇත්තේ නොකර බැරිකමට ය. එනමුත් අදාළ ඉවත් කිරීම් මඟින් සැබෑ වරදකරුවනට දඬුවම් ලැබී නොමැති බව පර්යේෂකයෝ පවසති.
රුසියානු කතුවරයෙකු හා මාධ්‍යවේදියෙකු වන ආන්ද්‍රෙයි සොල්දාතොව් පවසන පරිදි නවාල්නි හා “බෙලින්ග්කැට්” වෙබ් අඩවිය විසින් එෆ්.එස්.බී.යේ අකටයුතුකම් පිළිබඳ සිදු කරන ලද පර්යේෂණ හරහා ඔවුන් සතුව නොයෙකුත් වර්ගයේ විෂ රසායනික අවි ඇති බව හෙළි කර ගත හැකි විය. තව ද ඔවුන්ට අනුබල දෙන විශේෂඥ වෛද්‍ය කණ්ඩායමක අනුදැනුම සහිත ව එම අවි යොදා ගනිමින් සිය විරුද්ධවාදීන් හට නොයෙකුත් අනතුරු සිදු කිරීමට රුසියානු රජය පසුබට නොවන බව ද පෙනී ගියේ ය. අදාළ කරුණු වඩාත් තහවුරු වී තිබෙන්නේ නවාල්නි විසින් ම සිදු කරගෙන තිබෙන හෙළි කිරීමක් හේතුවෙනි. එෆ්.එස්.බී.යෙහි නියෝජිතයෙකු වන කොන්ස්ටන්ටින් කුද්‍රියව්ට්සෙව් නමැති තාක්ෂණික විශේෂඥයා සමඟ දුරකථන සංවාදයක යෙදුණු ඔහු, කොනස්ටන්ටින් ද තමාට වස දීමේ ක්‍රියාවලියට සම්බන්ධ වූ කෙනෙකු බව සොයා ගත්තේ යැයි නවාල්නි කියා තිබේ.
පුටින්ගේ ඔත්තු සේවයේ ක්‍රියාදාමය.
කෙසේ වුවත් ක්‍රෙම්ලීනය විශ්වාස කරන්නේ සිය රටෙහි ආරක්ෂාව තකා රහස් ඔත්තු සේවයක් පවත්වාගෙන යා යුතු බව ය. එය එෆ්.එස්.බී. හෝ වෙනත් කුමන හෝ නමකින් හෝ හැඳින්විය හැකි ය. මෑතක දී සිය ඔත්තු සේවයේ කාර්යක්ෂමතාව මැන බැලීම පිණිස ඇමරිකා එක්සත් ජනපදයේ සයිබර් අවකාශයට “සන්බර්ස්ට්” නම් වූ ප්‍රහාරය ද එල්ල කළ බව ඔවුහු පිළිගනිති. එයින් ඇමරිකානු රජයේ ආයතන, පර්යේෂණ ආයතන සහ පෞද්ගලික සමාගම් බොහොමයක් මාස ගණනාවක් තිස්සේ හැක් වීමකට ලක් ව තිබේ.
කුමක් සිදු වුව ද විශේෂයෙන් පුටින් හා නවාල්නි අතර පවතින ගැටලුවට ඇමරිකාවේ හෝ යුරෝපා සංගමයේ මැදිහත්වීමක් සිදු වන බවක් පෙනෙන්නට නැත. වරින් වර සුළු සුළු විරෝධතා දක්වමින් රුසියානු ජනාධිපතිවරයා ඇතුළු රජය පිළිබඳ අවධානයෙන් සිටින බව පෙන්වුව ද, පවතින තත්ත්වය අනුව නවාල්නිගේ ගැටලුව විසඳා ගැනීමට සිදු වනු ඇත්තේ ඔහුට ම ය. සාමාන්‍යයෙන් යමෙකු තවත් පුද්ගලයෙකු හට නොනවත්වා පහර ගසන්නේ ඔහුගෙන් තමාට අනාගතයෙ දී අනතුරක් වනු ඇතැයි යන බිය හේතුවෙනි. එවැනි අවස්ථාවක සිදු වන නොකටයුත්තක් පිළිබඳ අවට සිටින්නන් කතා නොමැති ව සිටින්නේ ද බිය නිසාවෙන් බව නිගමනය කළ හැකි ය.
විරුද්ධ පාක්ෂිකයින් කෙසේ පැවසුවත් රුසියාවේ ක්‍රෙම්ලිනය හා ඊට අදාළ ‘දේශපාලන ස්ථාවරත්වය’ ආරක්ෂා කිරීමේ කාර්යය එරට ආරක්ෂක සේවය සතු ය. එයින් අදහස් කරන්නේ පවත්නා පාලන තන්ත්‍රය ආරක්ෂා කිරීමයි. එසේ නම් පුටින් බලයේ රැඳී සිටින තාක් කල්, එෆ්.එස්.බී.ය තම රාජකාරිය අකුරට ම ඉටු කරනු ඇත.
ශ්‍රීනි ලංකා ජයකොඩි.
අත නොහැර කියවන තැන
ආර්තවහරණය පිළිබඳ මිථ්‍යාවන් හතක් !
කොළඹ විශ්වවිද්‍යාලය තට්ටය මට්ටු කරමින් තෙලක් බෙදයි
ඉදිරි දශකය ජයගත හැකි අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන සමාජ විද්‍යාත්මක කථිකාවක්