Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

ප්‍රමිති නිර්ණායකත් වෙනස් කර අසූචි පොහොර වලිනුත් කොමිස් ඉල්ලලා : නව වසරේ නමෝ විත්තියෙන් “චීන ගූ නැව” පිළිගන්නට නැවත සැරසෙන ලකුණු

අනුමැතිය සඳහා කැබිනට්ටුවට රිංගවයි : ඇමති මහින්දානන්දත් මාරුවෙයි

ඩොලර් හයකෝටි හත් ලක්ෂයක් වන්දි ගෙවා ප්‍රතික්ෂේපිත ව්‍යාධිජනක කුණු පොහොරම යළි ගෙන්වීමේ සැලසුමක් පිලිබඳ නැවත තොරතුරු අනාවරණය වෙමින් පවතිනවා.

චීන ගූ නැව නැතිනම් අසූචි නැව ලෙස මෙරට සමාජය පුරා ප්‍රචලිත වූ චීනයෙන් ගෙන්වන ලද අහිතකර බැක්ටීරියා ජීවීන් සහ අසූචි අඩංගු බව පැවසුණ පොහොර නැව පිළිබඳ කතාවෙහි නවතම පරිච්ඡේදයක් ලෙස එම පොහොර තොගය නැවත මෙරටට ගෙන ඒම සඳහා සැලසුමක් ක්‍රියාත්මක කර ඇති බවයි තොරතුරු වාර්තා වන්නේ.

ඒ අනුව කාබනික ද්‍රව්‍ය පිළිබඳ ප්‍රකාශිත ශ්‍රී ලංකාවේ SLS 1704 ප්‍රමිතිය චීන බලපෑම ඉදිරියේ වෙනස් කර පොහොර ගෙන්වීම සඳහා චීනයේ නිර්දේශ සහිතව සකස් කරන ලද ලියැවිල්ලක් ලබන සඳුදා (03) කැබිනට් අනුමැතියට ඉදිරිපත් කිරීමට නියමිතව ඇති බව වර්තාවනවා.

මීට පෙර මෙම සිද්ධියට අදාලව ප්‍රමිති ආයතනයේ නිර්දේශ වෙනස් කිරීමේ උත්සාහය පිළිබඳවද අප කරුණු අනාවරණය කළා.

කැබිනට්ටුවට යොමු කිරීමට යෝජිත අදාල ලියවිල්ල නීතිපති දෙපාර්තමේන්තුවෙන් සකස් කර ඇති බවටයි තොරතුරු වාර්තාවන්නේ.

මෙම ලියවිල්ල චීන පොහොර සමාගමේ සංශෝධන සහිත නිර්දේශ ලබා ගැනීමට පසුගිය 23 දා චීනයට යවා ඇති අතර චීනයේ අදාල පොහොර සමාගමේ නිර්දේශ සහිතව පසුගිය 25 දා නැවත ප්‍රතිචාරය මෙරටට ලැබී ඇති බව සඳහන්.

ඒ අනුව චීන පොහොර සමාගම විසින් නිර්දේශ කර තිබෙන්නේ තමන්ගේ පොහොර තොගය ප්‍රතික්ෂේප වුණු ක්ෂුද්‍රජීවීන් සහිත කාබනික ඝන පොහොර ලංකාවට ගෙන්වීම තහනම් කළ SLS 1704 ප්‍රමිතිය සහ ශාක ආරක්ෂණ පනත තම පොහොර තොගය භාර ගැනීමට වන අයුරින් වෙනස් විය යුතු බවයි.

ඔවුන්ගේ තර්කය වී තිබෙන්නේ තම සමාගම ලොව පුරා රටවලට පොහොර අපනයනය කලත් මෙවැනි ගැටළුවක් ඔවුන්ට ඇති නොවූ බවයි.

එම නිර්දේශ අනුව පොහොර ලේකම් කාර්යාලය ප්‍රමිති ආයතනයෙන් අදාල SLS 1704 ප්‍රමිතිය වෙනස් කිරීමට කටයුතු කරන ලෙස ඉල්ලා ඇති බවත් ඒ සඳහා අවශ්‍ය සියලු කටයුතු මේ වනවිට සම්පාදනය වෙමින් ඇති බවත් අභ්‍යන්තර ආරංචි මාර්ග හෙළි කරනවා.

වෙනස් කිරීමට යන SLS 1704 ප්‍රමිතිය

රට තුළට පිට රටකින් කිසිම ව්‍යාධි ජනක ක්ෂුද්‍රජීවි විශේෂයක් ඇතුළත් කරගැනීමට නොහැකි වන සේ මෙම ප්‍රමිතිය සකස් වන්නේ වර්ෂ 2013 දී පමණය.

ඉන් පෙර කිසිම අවස්ථාවක රටට කාබනික ඝන පොහොර ගෙන්වීම සඳහා අවශ්‍යතාවයක් පැන නැගී තිබී නැත.

ඒ වනවිට රට තුළ බලපවත්වනු ලැබුවේ කාබනික දියර ආනයනයේ දී බලපැවැත් වූ SLS 1702 ප්‍රමිතියය.

එහෙත් කාබනික ඝන පොහොර ලංකාවට ආනයනය කිරීමේ අවශ්‍යතාවය මතුවන විට ඒ හරහා රටට ඇතුළු වී ශාඛ, සත්ත්ව, පාංශු පද්ධතිය සහිත මුලු පරිසර පද්ධතියම විනාශ කළ හැකි ක්ෂුද්‍රජීවීන් වැලැක්වීමට ප්‍රමිතියක් අවශ්‍ය විය.

රටේ සිටින පරිසර විද්‍යාඥයින්, කෘෂි විද්‍යාඥයින්, පාංශු ජීව විද්‍යාඥයින් සහ ක්ෂුද්‍ර ජීව විද්‍යඥයින් එක්ව ප්‍රමිති කාර්යාංශය සමග කළ දීර්ඝ සංවාදයකින් අනතුරුව මෙම 1704 ප්‍රමිතිය සහතික කර තිබෙනවා.

විද්වත් වෘත්තිකයින් පෙන්වා දෙන්නේ මෙම ප්‍රමිතිය හේතුවෙන් මේ රට අතිශය බිහිසුණු පාරිසරික අනතුරුවලින් ආරක්ෂා වූ බවයි.

ව්‍යාධි ජනක චීන පොහොර තොගය ප්‍රතික්ෂේප වන්නේත් මේ ප්‍රමිතිය ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක වීම හේතුවෙන්.

කෙසේ වෙතත් ඩොලර් බිලියන 6.7ක වන්දියක් ද ගෙවා අනතුරුව එම පොහොර තොගයම රට තුළට ගැනීමට කැබිනට් අනුමැතිය ලබා ගැනීම සඳහා ව්‍යාධිජනක පොහොර තොගය ප්‍රතික්ෂේප කළ ප්‍රමිතිය වෙනස් කිරීමට අවශ්‍ය ලියවිල්ල මේ වනවිට සකස් වෙමින් ඇති බව වාර්තා වේ.

කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල්ගේ අරුම පුදුම උත්තරේ

මේ පිළිබඳව කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය අජන්ත ද සිල්වාගෙන් කළ විමසුමක දී ඔහු ප්‍රකාශ කළේ තමන් මේ ලියැවිල්ල පිළිබඳව නොදන්නා බවත්, තවමත් ඇස් දෙකින් නුදුටු බවත්, ප්‍රමිතිය වෙනස් කරන්නේ නම් එය තමන්ට බලපෑම් කළ හැකි දෙයක් නොව ප්‍රමිති කාර්යාංශයේ වැඩක් බවත්ය.

1704 ප්‍රමිතිය සැකසීම සම්බන්ධව කටයුතු කළේ ප්‍රමිති කාර්යාංශයේ කණ්ඩායමක් සහ කෘෂිකර්ම විද්වත් කණ්ඩායමක් බව ද ඔහු කීවේය.

එහෙත් තතු දත් ආරංචි මාර්ග පවසන්නේ ඝන කාබනික ද්‍රව්‍ය රටට ගෙන්වීම සඳහා අවසන් නිර්දේශය ලබා දෙන බලධාරියා වූ කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල්වරයා මෙම ලියැවිල්ල ගැන නොදන්නා බව කීම පුදුමයක් බවයි.

ඩොලර් මිලියන 6.7ක වන්දියක් ගෙවා, එම පොහොර ප්‍රතික්ෂේප වුණු SLS 1074 ප්‍රමිතියත් වෙනස්කර උක්ත ලියැවිල්ල සකසා කැබිනට් අනුමැතියට යොමු කර මේ පොහොර තොගය රට තුළට ගනුලැබුවහොත් මේ රටේ අනාගත පරපුරම එම අපරාධයට වන්දි ගෙවනු ඇතැයි ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම විද්වතුන් පවසනවා.

අසූචි මිශ්‍ර යයි කියූ පොහොර වලිනුත් කොමිස් ඉල්ලු ලංකාවේ කොමිස් කාක්කෝ

මේ වනවිට සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ පැතිරෙමින් ඇත්තේ මෙම පොහොර තොගය සඳහා ශ්‍රී ලාංකිකයන් කිහිප දෙනෙක් තමන්ගෙන් කොමිස් මුදල් ඉල්ලූ බව ක්වින්ඩාවෝ සී වින් බයෝටෙක් චීන පොහොර සමාගමේ ප්‍රකාශකයෙක් හෙළි කර ඇති බවයි.

“ශ්‍රී ලංකාවේ දේ මිළදී නොගන්නා ලෙසත් අදහස් ශ්‍රී ලංකාවට සම්බාධක පනවන ලෙසත් චිනයේ සීවින් බයෝටෙක් සමාගම එරට බලධාරීන් ගෙන් ඉල්ලා ඇතැයි වාර්තා වේ.

ශ‍්‍රි ලංකාව විසින් මෙරටට ගෙන කාබනික පොහොර තොගය ප්‍රතික්ෂේප කරමින් සමාගමේ කීර්තිනාමයට හානි කිරීම හේතුවෙන් ඔවුන් ඊට ප්‍රතිචාර දැක්වීමට මෙම ක්‍රියාමාර්ග ගනිමින් සිටී.

චීනයේ තවත් මහා පරිමාණ සමාගම සමග සාකච්ඡා කර ශ්‍රී ලංකාවට භාණ්ඩය එවීම ප්‍රතික්ෂේප කිරීමට පියවර ගන්නා බවද ඔවුන් පවසා තිබේ.

මේ අතර ලෝකයේ සෙසු රටවලට ද මෙම සමාගම දන්වා ඇති ශ්‍රී ලංකාව විශ්වාස කළ නොහැකි රටක් ලෙස සලකන ලෙසයි.

කාබනික පොහොර පිළිබඳ ගනුදෙනුවේදී ශ්‍රී ලංකාවේ පිරිසක් තම සමාගමෙන් කොමිස් මුදල් ඉල්ලූ බවද එම සමාගමේ නිලධාරියෙකු ප්‍රකාශ කර තිබේ”

යනුවෙන් එම වාර්තාවල දක්වා තිබේ.

කෘෂි ඇමති මහින්දානන්ද මාරු වෙයි

කෙසේ වෙතත් පොහොර ආනයනය කිරීමේ සිදුවීම සම්බන්ධයෙන් මව්බිම පුවත්පත කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතාගෙන් සිදුකළ විමසීමකදී ඔහු සඳහන් කර තිබෙන්නේ ොහොර සම්බන්ධයෙන් හෝ සියලු ක්‍රියාවලින් ගැසට් පත්‍රයක් මගින් රාජ්‍ය ඇමති ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතාට පවරා ඇති බවයි.

කෙසේ වෙතත් පොහොර ආනයනය ද අදාළ පොහොර ලේකම් කාර්යාලය සහ කිඳුරු ක්‍රියාවලිය රාජ්‍ය අමාත්‍යාංශය පවතින නමුත් අදාළ අමාත්‍යාංශය ඒ වෙනුවෙන් පෙනී නොසිටීම ප්‍රශ්නයක් බවත් අලුත්ගමගේ මහතා මව්බිම පුවත්පතට සඳහන් කර ඇති බවයි වාර්තා වන්නේ.

About The Author