Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

නේපාලයේ ඛේදවාචකය

නේපාලයේ දෝලඛා දිස්ත්‍රික්කයේ රෝල්වාලින් කඳු පන්තියේ පිහිටි යාලුන්ග් රී (Yalung Ri) කඳවුරු භූමියට ඊයේ (03) උදෑසන කඩා වැදුණු දරුණු හිම කුණාටුවකින් කඳු නගින්නන් හත් දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙන බව විදෙස් මාධ්‍ය පවසනවා.

මියගිය අය අතර විදේශිකයන් පස් දෙනෙකු සහ නේපාලි මාර්ගෝපදේශකයන් දෙදෙනෙකු සිටි අතර තවත් නේපාලි කඳු නගින්නන් සිව් දෙනෙකු අතුරුදන්ව ඇති අතර, සිව් දෙනෙකු තුවාල ලබා තිබෙනවා.

මෙසේ මියගොස් ඇත්තේ, ප්‍රංශ ජාතිකයන් තිදෙනෙකු, කැනේඩියානු ජාතිකයෙකු, ඉතාලි ජාතිකයෙකු සහ නේපාලි ජාතිකයින් දෙදෙනෙකුයි.

විදේශීය කඳු නගින්නන් 5 දෙනෙකු සහ නේපාලි උස්බිම් සේවකයන් 10 දෙනෙකු ඇතුළු 15 දෙනෙකුගෙන් යුත් කණ්ඩායම යාලුන්ග් රී (මීටර් 5,630) කඳු මුදුන තරණය කිරීමට යන අතරතුර, පෙරවරු 8:30ට පමණ මෙම ඛේදවාචකයට මුහුණ දී තිබෙනවා.

මෙම කණ්ඩායම ප්‍රථමයෙන් පැමිණ ඇත්තේ දෝල්මා කාන්ග් (Dolma Kang – මීටර් 6,334) කඳු මුදුන නැගීමට පෙර පුහුණු වීමේ කොටසක් ලෙස යාලුන්ග් රී තරණය කිරීමටයි.

තුවාල ලැබූ කඳු නගින්නෙකු මාධ්‍ය වෙත ප්‍රකාශ කර ඇත්තේ, අනතුර සිදුවූ වහාම උපකාර ඉල්ලා කෑ ගැසූ නමුත්, ප්‍රතිචාර ලැබීමට පැය ගණනාවක් ගත වූ බවයි.

එමෙන්ම දෝලඛා දිස්ත්‍රික් පොලිස් අධිකාරිවරයා පැවසුවේ, අයහපත් කාලගුණය, අධික හිම පතනය සහ ඝන වලාකුළු හේතුවෙන් හෙලිකොප්ටර් යානා මෙහෙයුම් ප්‍රදේශයට යැවීමට නොහැකි වීම ගලවා ගැනීමේ ප්‍රමාදයට ප්‍රධාන හේතුව වූ බවයි.

හිම කුණාටුවට පෙර දින කිහිපයක් රෝල්වාලින් නිම්නයේ අයහපත් කාලගුණයක් පැවති අතර, හිම පතනය අඩු වූ පසු කණ්ඩායම කඳු නැගීම ආරම්භ කර ඇතත්, හිම තට්ටුව අස්ථාවරව පැවති බව පොලිසිය පවසා තිබෙනවා.

ගලවා ගැනීමේ මෙහෙයුම් අද (04) උදෑසන නැවත ආරම්භ කිරීමට නියමිතයි.

About The Author