Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

නිදහස් දිනය දා රන්ජන් නිදහස් ?

එළඹෙන පෙබරවාරි මස 04 වෙනිදා ට යෙදී ඇති නිදහස් දින සැමරුම වෙනුවෙන් දැනට සිර දඬුවමකට ලක් කර සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා නිදහස් කරනු ඇති බවට මේ වන විට තොරතුරු වාර්තා වෙමින් තිබෙනවා.

අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවට වරදකරු කරමින් රන්ජන් රාමනායක මහතාට සිව් වසරක සිරදඬුවමක් නියම කෙරුනේ 2021 වසරේ ජනවාරි මාසයේදියි.

2017 වසරේ අගෝස්තු මස 21 වන දා කොළඹ, අරලියගහ මන්දිරයේ දී එවක අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සමඟ පැවැත්වූ සාකච්ඡාවකින් අනතුරුව ජනමාධ්‍ය වෙත අදහස් දැක්වූ රන්ජන් රාමනායක මහතා මෙරට විනිසුරුවරුන්ගෙන් හා නීතිඥවරුන්ගෙන් බහුතරය දූෂිතයන් බවට ප්‍රකාශ කර තිබුණා.

අවස්ථා කිහිපයකදීම රන්ජන් රාමනායක මහතා නිදහස් කිරීම සම්බන්ධයෙන් විවිධ පුවත් වාර්තා වුවද එවැන්නක් සිදු වූයේ නැහැ.

කෙසේ වෙතත් මේ වන විට රාමනායක මහතා නිදහස් කිරීම සඳහා ආණ්ඩුවට සම්බන්ධ ‍ ප්‍රකට ව්‍යාපාරිකයෙකු ද මැදිහත් වී ඇති බවට තොරතුරු වාර්තාවනවා.

රන්ජන් රාමනායක මහතා නිදහස් කිරීමට නම් ඔහුට ජනාධිපති පොදු සමාව හිමිවිය යුතු අතර එහි තීරණය ජනාධිපතිවරයා විසින් අධිකරණය දැනුවත් කිරීමෙන් ද අනතුරුව ගත යුතුව තිබෙනවා.

ඒ අනුව මෙවර නිදහස් දිනය දා රන්ජන් රාමනායක හිටපු මන්ත්‍රීවරයා නිදහස් කිරීමට බොහෝ දුරට ඉඩකඩ ඇති බවයි වාර්තා වන්නේ.

මේ වන විට රජයට එල්ල වී ඇති චෝදනා සහ මිනීමැරුම් චෝදනාවකට මහාධිකරණය සහ ශ්‍රේෂ්ඨාධිකරණය විසින් වරදකරුවකු බව තහවුරු කොට මරණීය දණ්ඩනය නියම කිරීමෙන් පසු ජනාධිපති පොදු සමාව යටතේ දුමින්ද සිල්වා මහතා නිදහස් කිරීමේ සිදුවීම හරහා රජයට එල්ල වූ කැළැලද මේ හරහා යම් දුරකට සමනය කර ගත හැකි වනු ඇති බවට රජය අභ්‍යන්තරය තුළ අදහසක් නිර්මාණය වී ඇති බවද මේ වන විට අභ්‍යන්තර ආරංචි මාර්ග ඔස්සේ දැනගන්නට තිබෙනවා.

කෙසේ වෙතත් යම් හෙයකින් රන්ජන් රාමනායක මහතා නිදහස් කළහොත් ඔහුගේ ඉදිරි දේශපාලන භාවිතාව කුමක් වේ දැයි යන්න පිළිබඳවද මේ වන විට රජයේ අවධානය යොමුව ඇති බව ද දැනගන්නට ලැබෙනවා.

එය රජයට අවාසි දායක නොවන ආකාරයෙන් කළමනාකරණය කර ගැනීම සඳහා සැලසුමක් මේවන විටත් සකස් කරමින් පවතින බවට ද තොරතුරු දැනගන්නට තිබෙනවා.

About The Author