Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

“නව බලාපොරොත්තු සඵල කරගනිමින් වාද භේද දුරලා සියලු දෙනා එක්වනු දැකීම අපේක්ෂාවයි” ජනාධිපතිතුමන් අලුත් අවුරුදු සුබ පැතුම් එක්කරයි

සමස්ත ජනතාව කිසිදු භේදයකින්, වෙනසකින් තොරව සෞම්‍ය හා දැහැමි සිතිවිලි ඇතිව සිංහල දෙමළ අලූත් අවුරුදු චාරිත‍්‍ර සමග එක්වනු දැකීම තම අපේක්ෂාව බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අලුත් අවුරුදු උදාව වෙනුවෙන් නිකුත් කළ සුබ පැතුම් පණිවිඩයේ දක්වා තිබෙනවා.

උපුටා ගැනීම

නැවුම් බලාපොරොත්තු සහ ඒවා සඵල කර ගැනීමේ අධිෂ්ඨානය සමග සිංහල දෙමළ අලූත් අවුරුදු උදාව පිළිගැනීම අපේ සංස්කෘතියෙහි අගනා සම්ප‍්‍රදායකි.

පසුගිය වසරේ අවුරුදු උදාව සමයේ රටේ පැවති අයහපත් සෞඛ්‍ය පසුබිම ඊට බාධා කළ ද, පුරාණ චාරිත‍්‍ර වාරිත‍්‍රවලට මුල්තැන දෙමින් සෞඛ්‍ය උපදෙස්වලට ද අනුගතව අලූත් අවුරුදු පී‍්‍රතිය භුක්ති විඳීමට පසුබිම මේ වසරේ අප සියලූ දෙනා එක්ව සකසා ගෙන තිබේ. එය අලූත් අවුරුදු උදාව දෙස මහත් උද්යෝගයෙන් බලා සිටින කුඩා දරුවන්ගේ සේම සියලූ රටවැසියන්ගේ ද අපේක්ෂා සැබෑවීමකි.

සිංහල දෙමළ අලූත් අවුරුද්ද අපේ සංස්කෘතික මහා මංගල්‍යයයි. රටවැසියන් එකම නැකතකට අලූත් අවුරුදු චාරිත‍්‍ර ඉටුකිරීමෙන් ලැබුවා වූ වසරේ සෞභාග්‍යය උදාවනු ඇතැයි අප සිත් සතන්හි බලවත් විශ්වාසයක් පැලපදියම්ව තිබේ.

කුඩා දරු දැරියන් උද්දාමයට පත් කරන අලූත් අවුරුදු ඇඳුම්, ආහාර පාන සහ කෙළි සෙල්ලම් දෙස බලා සිටින වැඩිහිටියන් භූක්ති විඳින්නේ අප‍්‍රමාණ සතුටකි. එසේම පරිසරයේ ඇතිවන සොඳුරු වෙනස්කම් අපට කායික මානසික සැනසීම ගෙන දෙයි.

සංකීර්ණ සිතුවිලි සමග ජීවන අරගලයක නිරත වැඩිහිටියන් ඔවුනොවුන් අතර නොහොඳ නෝක්කාඩු සමනය කර ගැනීම ද අවුරුදු සමයේ විශිෂ්ට ලක්ෂණයකි.

සමස්ත ජනතාව කිසිදු භේදයකින්, වෙනසකින් තොරව සෞම්‍ය හා දැහැමි සිතිවිලි ඇතිව සිංහල දෙමළ අලූත් අවුරුදු චාරිත‍්‍ර සමග එක්වනු දැකීම මගේ අපේක්ෂාවයි.

අලූත් අවුරුදු සමයේ දරුවන්ගෙන් ඈත්ව රාජකාරියෙහි නිරත හා විදෙස්ගත සැම, කරන කැප කිරීම ද මම ගෞරවයෙන් සිහිපත් කරමි.

උදා වූ සිංහල දෙමළ අලූත් අවුරුද්ද සැමට සෞභාග්‍යය, මනා සෞඛ්‍යය සහ සතුට සපිරි සුබ අවුරුද්දක් වේවා!

About The Author