Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

දෙවන මාත්‍රාව සඳහා අවශ්‍ය Astra Zeneca එන්නත් ලක්ෂ 06ක් ලැබෙතැයි ජනපති බලපොරොත්තුවෙන්..

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානි ආචාර්ය ටෙඩරොස් ගෙබ්රියේසු (Tedros Ghebreyesu) මහතා අතර Zoom තාක්ෂණය ඔස්සේ අදහස් හුවමාරුවක් සිදුව තිබෙනවා.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සඳහන් කළේ මෙරට කොරෝනා වසංගතයේ බලපෑම සම්බන්ධයෙන් මෙම සාකච්ඡාවේදී අවධානය යොමු කළ බවයි.

මෙහිදී එන්නත්කරණ ක්‍රියාවලිය පිළිබඳ විශේෂ අවධානයක් යොමුව ඇති අතර මෙතෙක් ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතිය ලැබී නොමැති නමුත් ලක්ෂ 06ක තොගයක් ලෙස මෙරටට ගෙනවිත් ඇති චීනයේ නිෂ්පාදිත සයිනොෆාම් එන්නත පිළිබඳවද සාකච්ඡා කර තිබෙනවා.

ජනාධිපතිවරයා පැවසුවේ හදිසි භාවිතයක් සඳහා ඉදිරි දින කිහිපය තුළ අදාළ එන්නතට ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතිය හිමි වන බව මෙම සාකච්ඡාවේදී සඳහන් වූ බවයි.

එම අනුමැතිය ලද විගස එම එන්නතද මෙරට ජනතාව වෙනුවෙන් භාවිතයට ගත හැකි බවද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා.

එමෙන්ම මේ වන විට පළමු මාත්‍රාව ලෙස Astra Zeneca එන්නත් ලබා ගත් නමුත් මේ වන විට දෙවන මාත්‍රාව ලබා ගැනීමට නොහැකි වී ඇති ලක්ෂ හයකට ආසන්න ජනතාව වෙනුවෙන් අදාළ එන්නත් තොගයක් ගෙන්වා ගැනීම පිළිබඳවද අවධානය යොමුව තිබෙනවා.

එහිදී ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානි ආචාර්ය ටෙඩරොස් ගෙබ්රියේසු (Tedros Ghebreyesu) මහතා පවසා ඇත්තේ මේ වන විටත් ලොව පුරා මිලියන 20කට අධික පිරිසක් දෙවන මාත්‍රා හිඟයකට මුහුණ පා ඇති බවයි.

කෙසේ වෙතත් ගෝඨාභය රාජපක්ෂ මහතා සඳහන් කරන්නේ මෙරට ජනතාවට දෙවන මාත්‍රාව සඳහා අවශ්‍ය හිඟ එන්නත් ලක්ෂ 06 ක ප්‍රමාණය ලබා දීම සම්බන්ධයෙන් සහය පළ කිරීමට ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානි ආචාර්ය ටෙඩරොස් ගෙබ්රියේසු (Tedros Ghebreyesu) මහතා කටයුතු කරනු ඇති බවයි.

About The Author