Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

දුම්රිය වර්ජනය තවදුරටත් – කාර්යාල දුම්රිය ධාවනයට බාධා

පහරදීමක් මුල් කරගනිමින් උප නියාමක දුම්රිය සේවකයින් පිරිසක් ආරම්භ කළ අසනීප නිවාඩු වාර්තා කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගය තවදුරටත් ක්‍රියාත්මක වේ.

මාළිගාවත්ත දුම්රිය අංගනයට පිවිසෙන දොරටුව අබියස දී දුම්වැටියක් සම්බන්ධයෙන් හටගත් බහින් බස් වීමක් දුරදිග යාමත් සමඟ මෙම තත්ත්වය හට ගෙන තිබේ.

උප නියාමකවරයෙකුට දුම්රිය ආරක්ෂක අංශ නිලධාරියෙකු පහරදීමත් සමඟ උප නියාමකවරුන් ඊයේ (04) සිට ලෙඩ නිවාඩු වාර්තා කළේය.

කෙසේවෙතත් ඊයේ දිනයේම පහරදීමට සිදුකළ ආරක්ෂක නිලධාරියාගේ වැඩතහනම් කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුවට කටයුතු කර තිබේ.

එහෙත් අදාළ පහරදීමට සම්බන්ධ අනෙකුත් පුද්ගලයින් සම්බන්ධයෙන් මෙතෙක් කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නොමැති බව දුම්රිය උප නියාමකවරුන් පවසයි.

මේ හේතුවෙන් උප නියාමකවරු අසනීප නිවාඩු වාර්තා කිරීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය තවදුරටත් සිදුකරන බව ලංකා දුම්රිය නියාමක සංගමයේ ප්‍රධාන ලේකම් කේ.ඩි.ඩි. ප්‍රසාද් මහතා පැවසුවේය.

“දැනට දෙපාර්තමේන්තුව පැත්තෙන් අපිට සාකච්ඡා මට්ටමේ දෙයක් දීලා නෑ. උප නියාමකවරුන්ට ජීවිත තර්ජනයක් එල්ල විය හැකියි කියන සැකය නිසා තමයි ඒ අය අසනීප නිවාඩු වාර්තා කරලා තියෙන්නේ. පුළුවන් තරම් කටයුතු කරන්නේ මේ අයව ගෙන්නා ගෙන සර්විස් එක දෙන්න තමයි. ඒක තාම තහවුරු වෙලා නෑ. එහෙම තත්ත්වයට යනවා කියලා. තාම සාකච්ඡා කරලා නෑ ඒ ගැන. ඒ හිටපු ආරක්ෂක නිලධාරියා අත්අඩංගුවට අරගෙන නෑ. වැඩතහනම් කරලා තියෙනවා. ඒ වෙලාවේ තව හතර පස්දෙනෙක් උපනියාමක නිලධාරියාට බිම පෙරළාගෙන තදින් පහරදීලා තියෙනවා. ඒ අයව අත්අඩංගුවට ගන්න කියලා තමා මේ අය කියන්නේ. ඔවුන්ව හඳුනාගත්තේ නෑ කියලා තමා දෙපාර්තමේන්තුව පැත්තෙන් කියන්නේ.”

වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය හේතුවෙන් දුම්රියෙන් ගමන් කිරීමට පැමිණි මගීන් විශාල පිරිසක් ඊයේ දිනයේ දැඩි අපහසුතාවයට පත්ව තිබුණි.

ඇතැම් දුම්රිය ස්ථානවල දී දුම්රිය මගීන් කලහකාරී ලෙස හැසිරීමේ සිදුවීම් ද වාර්තා වු බව අප වාර්තාකරුවන් සඳහන් කළේය.

මේ අතර උප නියාමකවරුන්ගේ අසනීප නිවාඩු වාර්තා කිරීම් හේතුවෙන් අද (05) දිනයේත් දුම්රිය අවලංගු වීම් සහ ප්‍රමාදයන් සිදුවිය හැකි බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

ඒ අනුව කාර්යාල දුම්රිය කිහිපයක් ද අද පෙරවරුවේ අවලංගු කිරීමට සිදුවනු ඇති බව සඳහන්ය.

කෙසේවෙතත් මගී ජනතාව අපහසුතාවට පත් නොවන ආකාරයෙන් දුම්රිය ධාවනය සිදුකිරීමට උත්සාහ කරන බව එම දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

About The Author