Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

ජනපති සහ හමුදාපති ඇතුළු පිරිසක් එකට එක්ව නීතිය කඩයි : මාධ්‍යයෙත් ප්‍රසිද්ධ කරයි

හැකිනම් එක් රටක් එක් නීතියක් ක්‍රියාත්මක කර පෙන්වන්න ජනතාව අභියෝග කරයි

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පදවි ප්‍රාප්තියේ දෙවර්ෂ පූර්ණය නිමිත්තෙන් පසුගියදා (19) අනුරාධපුර, ඓතිහාසික රුවන්වැලි සෑ රඳුන් අභියස ආශිර්වාද පිංකමක් පැවැත්වුණා.

මීට සහභාගී වෙමින් ජනාධිපති ගෝඨාභය රාපපක්ෂ මහතා රුවන්වැලි මහා සෑ රදුන් වෙනුවෙන් ඖෂධ සහ චතුමධුර පූජාව සිදු කොට ආගමික වතාවත්වල නිරත වුණා.

මෙහිදී ජනාධිපතිවරයා රුවන්වැලි සෑයට පූජාකළ දෑ අතර 2009 අංක 22 දරන වන සත්ව හා වෘක්ෂලතා ආරක්ෂක (සංශෝධන) පනත මගින් වදවීමේ තර්ජනයට මුහුණදී ඇති බවට නම් කර තිබෙන රත් දෝතළු මල් රැසක් ද ඇතුළත්ව තිබෙන අයුරු දක්නට ලැබුණා.

ජනාධිපතිවරයා පමණක් නොව යුධ හමුදාපතිවරයා සහ අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා ඇතුළු පිරිසක් මෙම ක්‍රියාවට දායක වන යුද හමුදා මාධ්‍ය අංශය ජනාධිපති මාධ්‍ය අංශය විසින් ද ප්‍රසිද්ධියට පත්කර තිබුණා.

රත් දෝතලු හෝ රන් දෝතලු (Loxococcus rupicola) ලෙස හැදින්වෙන මෙම මල ‘දෝතළු’ ශාඛයෙහි හටන්නා මලයි.

සබරගමුව ආශ‍්‍රිත වනාන්තර හා ගෙවතුවල මෙම ශාකය ස්වාභාවිකව හමුවන අතර ශ‍්‍රී පාද අඩවියෙහි වැඩි වශයෙන් දක්නට ලැබෙනවා.

මීටර 5 -12 පමණ උස සිහින් කඳකින් යුත් මෙම ශාකය බීජ මගින් ව්‍යාප්ත වන අතර පැළ, පැළවීමේ ප‍්‍රතිශතය අඩු නිසා ව්‍යාප්ත වීම සීමා වී තිබෙනවා.

එම නිසා දෝතලු ශාඛය 2012 රතු දත්ත ලැයිස්තුවෙහි වඳවී යෑමේ තර්ජනයට ලක්වූ ශාඛ විශේෂයක් ලෙස වර්ගීකරණය කර තිබෙනවා.

මෙම ශාකයට සිදුවන ප‍්‍රධානම හානිය වන්නේ මිථ්‍යා විශ්වාස නිසා රත් දෝතළු මල් විවිධ පූජාවන්ට යොදා ගැනීමයි.

ඇතැම් පුද්ගලයින් විසින් විවිධ භාර හාර ඉටුකිරීම සඳහා ශ‍්‍රීපාදස්ථානය, රුවන්වැලි සෑය, කැළණි විහාරය මුල්කරගනිමින් මහා පූජාවන් ලෙස මෙම මල් පූජාවන් සිදුකරනවා.

දෝතලූවල ඇති වඳවීයෑමේ හැකියාව නිසා 2009 අංක 22 දරන වන සත්ව හා වෘක්ෂලතා ආරක්ෂක (සංශෝධන) පනත මගින් VIII උපලේඛනය යටතේ ආරක්ෂිත ශාක නාම ලේඛනයට ඇතුළත් කොට තිබෙනවා.

ඒ අනුව මෙම ශාකය හෝ ශාකයේ කොටසකට හානිදායක යම් ක‍්‍රියාවක් කිරීම, විකිණීම හෝ විකිණීම සඳහා ප‍්‍රදර්ශනය කිරීම මුළුමනින්ම තහනම් කර තිබෙනවා.

පසුගිය කාලයේ මෙම එක් මලක් කඩා ගෙනවිත් එහි ඡායාරූප අන්තර්ජාලයට මුදා හැරීම සම්බන්ධයෙන් වනජීවී දෙපාර්තමේන්තුව විසින් පුද්ගලයකුට එරෙහිව නීතිය ක්‍රියාත්මක කළ අතර රන් දෝතලු පැළ කිහිපයක් ගැලවීමේ වරද ට රත්නපුර මහේස්ත්‍රාත් අධිකරණය විසින් පසුගිය ජනවාරි මාසයේ පුද්ගලයකු සම්බන්ධයෙන් නඩු අංක 53562 A යටතේ පැවැති නඩුවකට අදාළව නීතිය ක්‍රියාත්මක කළ අතර ඔහුගෙන් දඩ මුදලක් අය කිරීම පියවර ගෙන තිබුණා.

මෙම දෝතලූ ශාකයේ ඇති වටිනාකම නිසාම 2020 මාර්තු 03 වන දින වෙළෙඳාමෙන් තර්ජනයට ලක්වූ විශේෂ මුද්දර කාණ්ඩය යටතේ රත්දෝතලූ මලක් ඇතුළත් මුද්දරයක්ද නිකුත් කර තිබෙනවා.

1979.03.26 දින නිකුත් කරන ලද මෙරට ආවේණික ශාක හා සතුන් නිරූපණය වූ මුදල් නෝට්ටු කාණ්ඩයෙහි රුපියල් 100 නෝට්ටුවටද දේතලු ශාකයේ රූපයක්ද එක් කර තිබෙන්නේ එම ශාඛය රැකගැනීමට ඇති ජාතික අවශ්‍යතාවය නිසයි.

එසේනම් ප්‍රසිද්ධියේ වන සත්ව හා වෘක්ෂලතා ආරක්ෂා කිරීමේ ආඥා පනත ඇතුළු පරිසර නීතිය උල්ලංඝනය කරමින් කටයුතු කළ ජනාධිපතිවරයා සහ හමුදාපතිවරයා ඇතුළු පිරිස සම්බන්ධයෙන් වනජීවී දෙපාර්තමේන්තුව නීතිය ක්‍රියාත්මක කරනවද?

මෙය රට තුළ එක් රටක් එක් නීතියක් ක්‍රියාත්මක වනවා දැයි යන්න දැන ගැනීමට ද ඇති කදිම අවස්ථාවක් නොවන්නේද?

About The Author