Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

චීනය ඇමරිකානු තානාපති කාර්යාලය වසා දමයි.

චීනය ඇමරිකාවට පාඩමක් ඉගැන්වීමට පටන් ගෙන තිබේ. ඒ අනුව වසර ගණනාවක් තිස්සේ චීනයේ “චෙන්ග්ඩු” නගරයේ පිහිටුවාගෙන තිබූ ඇමරිකා එක්සත් ජනපද තානාපති කාර්යාලය වහාම ක්‍රියාත්මක වන පරිදි වසා දැමීමට පසුගිය සඳුදා චීන රජයෙන් පියවර ගැනිණි. එහි විදේශ කටයුතු අමාත්‍යංශය පවසන පරිදි මෙම හදිසි තීරණයට හේතුව වී ඇත්තේ දැනට දින කිහිපයකට පෙර ඇමරිකානු රජය විසින් “හූස්ටන්” නගරයේ පිහිටි චීන තානාපති කාර්යාලය ඉවත් කර ගැනීමට නියෝග කිරීම යි.

කොවිඩ් 19 වසංගතය ආරම්භ වූ දින පටන් එයට සම්පූර්ණයෙන් වග කිව යුතු වන්නේ චීනය බවට චෝදනා කරමින් ඇමරිකානු ජනාධිපතිවරයා ප්‍රසිද්ධියේ බැණ වදිනු දක්නට ලැබිණි. තව ද අසාධාරණ ලෙස වෙළෙඳාම් කිරීම හා බුද්ධිමය දේපොළ සොරකම් කිරීම සම්බන්ධයෙන් ද ඇමරිකානු නිළධාරීහු කිහිප විටක් ම චීනයට චෝදනා කළහ. එරට රාජ්‍ය ලේකම්වරයා වන මයික් පොම්පියෝ පවසන්නේ හූස්ටන්හි පිහිටි කාර්යාලය වසා දැමීමට ආසන්නතම හේතුව වන්නේ ද චීන රජය සිය රටෙහි රහස් සොරකම් කිරීමට උත්සාහ ගැනීම බව ය. එපමණක් නොව චීනය යුරෝපානු රාජ්‍යයන්හි පවා බුද්ධිමය දේපොළ සොරකම් කිරීමට උත්සාහ දරන බවට ඇමරිකාව ප්‍රකාශ කර සිටියි.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වන චීන රජය, සිය කාර්යාලය ඉවත් කර ගැනීම සඳහා ඇමරිකාවෙන් එවා ඇති චෝදනා පත්‍රය අතිශය හාස්‍යජනක බව පෙන්වා දෙයි. ඔවුන් පවසනුයේ ඇමරිකාව විසින් දින කිහිපයකට පෙර ගනු ලැබූ අසාධාරණ තීන්දුවට ප්‍රතිඋත්තර දීමට ඇති හොඳ ම ක්‍රමය නම් තම රටෙන් ඔවුන් ඉවත් කර දැමීම බව ය. තව ද, අදාළ තානාපති කාර්යාලයේ පිහිටෙන් ඇමරිකාව තම රටෙහි පාලනයටත්, විශේෂයෙන් ම ගැටුම්වලට මැදි ව සිටින ටිබෙටයෙහි ස්වයං පාලන ප්‍රදේශවලටත් බලපෑම් එල්ල කරන බවට චීනය චෝදනා කරයි.

මෙලෙස කතාබහට ලක් ව ඇති චෙන්ග්ඩුහි පිහිටි කාර්යාලය එරට ස්ථාපනය කොට ඇත්තේ 1985 වසරේ දී ය. මෙම වසර වන විට එහි සේවයේ නියුතු කාර්ය මණ්ඩලය දෙසියයක් පමණ වූ අතර, ඉන් 150ක් ම දේශීය නිළධාරීහු වූහ. කෙසේ වුවත් මෙලෙස දෙරටින් ම තානාපති කාර්යාල ඉවත් කිරීම නිසා ඇතිවන ගැටලුකාරී තත්ත්වය සුළුපටු නොවේ. මෙතැනින් පසු දෙරට සම්බන්ධතා සම්පූර්ණයෙන් ඇණහිටින අතර, චීන වැසියන් ඇමරිකාවට හෝ ඇමරිකානුවන් චීනයට යාම ආරක්ෂිත බවට සහතිකයක් දිය නොහැකි බැවින් සංචරණය ද සීමා වනු ඇත. එහෙත් එම බාධක කිසිවක් ගණනකට නොගනිමින් මෙවැනි පියවර ගැනීමට හේතු වී ඇත්තේ බල ලෝභීත්වය ම බවට කිසිදු සැකයක් නොමැත. 

About The Author