Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

ගෝඨාභය රාජපක්ෂගේ දේශපාලන පලිගැනීම් කොමිසමට එරෙහිව නාමල් රාජපක්ෂ නඩු මගට

දේශපාලන පළිගැනීම් සොයා බැලීමට පත්කළ ජනාධිපති කොමිසමේ අවසන් නිර්දේශයන් මගින් ශ්‍රේෂ්ඨාධිකරණයට අපහාසයක් වී ඇත්දැයි සොයා බැලීමට පරීක්ෂණයක් කරන ලෙස ඉල්ලා නීතිඥවරුන් සිව්දෙනෙක් අගවිනිසුරුවරයාට ඊයේ (01 වැනිදා) ලිඛිත පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.

2015 ජනවාරි 08 වැනිදා සහ 2019 නොවැම්බර් 19 වැනිදා අතර තුරදී සිදුව ඇතැයි කියන දේශපාලන පළිගැනීම් පිළිබඳ සොයා බැලීමට පත්කළ ජනාධිපති කොමිසමේ නිර්දේශ මගින් යුක්තිය අවගමනයක් හා අධිකරණයට අපහාසයක් සිදුවී ඇත්තේද යන කරුණු පිළිබඳව මෙන්ම අධිකරණ පද්ධතියට හා පුරවැසි අයිතිවාසිකම්වලට එමගින් හානියක් සිදුවී ඇත්තේද යන කරුණ සම්බන්ධයෙන් අවධානය යොමු කරන්නැයි එම නීතිඥවරුන් සිය පැමිණිල්ල මගින් අගවිනිසුරුවරයාගෙන් ඉල්ලා තිබේ.

නීතිඥවරුන් වන සේනක පෙරේරා, අචලා සෙනෙවිරත්න, නාමල් රාජපක්ෂ සහ තම්බයියා ජෙයරත්නරාජා යන සිව්දෙනා ශ්‍රේෂ්ඨාධිකරණයේ ලේඛකාධිකාරිවරයා මගින් එම පැමිණිල්ල ඉදිරිපත් කර තිබේ.

දේශපාලන පළිගැනීම් පිළිබඳ ජනාධිපති කොමිෂන් සභාව පත්කළ අංක 2157/44 දරන අති විශේෂ ගැසට් පත්‍රය මගින් අධිකරණ හෝ අධිකරණ නඩු සම්බන්ධයෙන් බලගැන්වීමක් කිසිසේත්ම කර නොමැති බව පෙන්වා දෙන පැමිණිලිකාර නීතිඥවරුන්, ජනාධිපති කොමිසමේ නිර්දේශ මගින් ශ්‍රේෂ්ඨාධිකරණයේ කීර්තිනාමය, ස්වාධිපත්‍ය බලය, ජනතාවගේ විශ්වාසය බලවත් ලෙස හෑල්ලුවට ලක් කිරීමක් සිදුව ඇතැයි ද අගවිනිසුරුවරයාට සිය පැමිණිල්ල මගින් දැනුම් දී තිබේ.

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා දේශපාලන පළිගැනීමට ලක්වී ඇති බවට සහ ඔහුට එරෙහිව දුන් නඩු තීන්දුව නැවත සලකා බැලිය යුතු බවට ජනාධිපති කොමිසම කළ නිර්දේශය මගින් අධිකරණයට අපහාසයක් සිදුව ඇතැයිද නීතිඥවරු අගවිනිසුරුවරයාට ඉදිරිපත් කළ ලියැවිල්ලේ සඳහන් කර ඇත.

ජනාධිපති කොමිසම කළ එකී නි​ර්දේශය මගින් අධිකරණයට අපහාසයක් හෝ අධිකරණ පද්ධතියට හානියක් වී ඇත්නම් ඒ ගැන පරීක්ෂා කර බලා අවශ්‍ය පියවර ගන්නා ලෙසද නීතිඥවරු ඉල්ලා ඇත.

© මුලාශ්‍රය – ඉෂාර රත්නාකර – අරුණ

About The Author