Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

කොරෝනා මර්ධනයට එන්නත් තුනක්, තුන්වන එන්නත් මාත්‍රාව දැන්ම ඕඩර් කරන්න – ජනපති නිලධාරීන්ට දන්වයි

කොවිඩ් නොවන මරණත් පැය 24ක් තුළ අවසන් කටයුතු සිදුකිරීමේ තීරණයක්

කොරෝනා මර්ධනය සඳහා තුන්වන එන්නතක් අවශ්‍ය වන්නේ නම් එය ඇනවුම් කිරීම සඳහා දැන්ම කටයුතු කරන ලෙස ජනාධිපතිවරයා අදාළ නිලධාරින අද (10) උපදෙ ලබා දී තිබෙනවා.

ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේ කොරෝනා නොවන මරණ සම්බන්ධයෙන් වන අවසන් කටයුතුද පැය 24 ක් ඇතුළත අවසන් කළ යුතු බවට වන තීරණයක්ද මෙහිදී ගනු ලැබූ බවයි.

අදාළ නිවේදනය පහළින්..

සෞඛ්‍ය නිර්දේශ අනුව, ලෝක තත්ත්වය සලකා එන්නත්කරණයට තුන්වන මාත්‍රාවක් අවශ්‍ය නම් එය දැන්ම ඇණවුම් කරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා නිලධාරීන්ට උපදෙස් දෙයි.

ලොව ප්‍රධාන පෙළේ රටවල් ගණනාවක් තුන්වන මාත්‍රාව සඳහා එන්නත් මේ වන විටත් ඇණවුම් කර තිබේ. ශ්‍රී ලංකාව ද ඒ පිළිබඳ විශේෂ අවධානය යොමු කර තෙවන මාත්‍රාව ලබාදීම සඳහා සූදානම් වීමේ අවශ්‍යතාව ජනාධිපතිතුමා පෙන්වා දුන්නේය.

ලොව පුරා සියලු රටවලින් එන්නත් සඳහා විශාල ඉල්ලුමක් පවතී. එම තරගකාරී තත්ත්වය තුළ වැඩි එන්නත් ප්‍රමාණයක් ශ්‍රී ලංකාවට ලබා ගැනීම සඳහා රටවල් රැසක නායකයන් සමඟ සාකච්ඡා කර සහාය ඉල්ලා සිටි බව ජනාධිපතිතුමා සඳහන් කළේය.

ඒ අනුව ඉතා අසීරුවෙන් ලබාගත් එන්නත් විනිවිද භාවයකින් හා විධිමත්ව ලබා දීමේ අවශ්‍යතාව ජනාධිපතිතුමා අවධාරණය කළේය.

මේ වන විට එන්නත් විශාල ප්‍රමාණයක් ලැබී ඇති හෙයින් වයස අවුරුදු 60ට වැඩි සියලු දෙනාට සහ හඳුනාගත් ආසාදිතයන්ගේ ආශ්‍රිතයන්ට ද කඩිනමින් එන්නත ලබා දීමේ අවශ්‍යතාව ජනාධිපතිතුමා පෙන්වා දුන්නේය. ඊට සමගාමීව බෝ නොවන රෝගවලින් පෙලෙන සියලු දෙනාට ද එන්නත ලබාදීමට පියවර ගන්නා ලෙස ජනාධිපතිවරයා උපදෙස් දුන්නේය.

වැඩි පිරිසකට එන්නත් ලබාදීමෙන් කොවිඩ් වසංගතය පැතිර යාම සහ ආසාදිතයන් අසාධ්‍ය තත්ත්වයට පත්වීම වළක්වා ගත හැකි බව කොවිඩ් මර්දන විශේෂ කමිටුව අද (10) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ රැස් වූ අවස්ථාවේ ජනාධිපතිතුමා පැවසීය.

විධිමත් එන්නත්කරණයට සහ එන්නත් ලබා ගන්නා සියලු දෙනා පිළිබඳ දත්ත එක්රැස් කිරීමට තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය (ICTA) විශේෂ මෘදුකාංගයක් නිර්මාණය කර තිබේ.

එමඟින් ග්‍රාමසේවා සහ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල මට්ටමින් එන්නත ලබා ගැනීමට දිනයක් සහ වේලාවක් පහසුවෙන් වෙන් කර ගැනීමට හැකි වේ.මේ වන විට එන්නත් ලබා ගෙන ඇති සහ ඉදිරියට ලබා ගන්නා සියලු දෙනා පිළිබඳ තොරතුරු ඊට ඇතුළත් කිරීමටත් එන්නත්කරණය පිළිබඳ ජාත්‍යන්තරය පිළිගන්නා සහතිකයක් නිකුත් කිරීමටත් රජය අපේක්ෂා කරයි.

කොවිඩ් නොවන මරණ, පී.සී.ආර්. පරීක්ෂණයට ලක් කිරීමෙන් අවසන් කටයුතු කිරීමට සිදුවන ප්‍රමාදය පිළිබඳව බොහෝ දෙනාගෙන් චෝදනා එල්ල වී තිබේ. එය සැලකිල්ලට ගෙන වෙනත් හේතූන් මත මිය යන අයගේ අවසන් කටයුතු පැය 24ක් ඇතුළත සිදු කිරීමට පියවර ගැනීමට කොවිඩ් විශේෂ කමිටුව තීරණය කළහ.

අමාත්‍යවරුන් වන පවිත්‍රා වන්නිආරච්චි, බන්දුල ගුණවර්ධන, ජොන්ස්ටන් ප්‍රනාන්දු, කෙහෙළිය රඹුක්වැල්ල, මහින්දානන්ද අලුත්ගමගේ, ප්‍රසන්න රණතුංග, රෝහිත අබේගුණවර්ධන, නාමල් රාජපක්ෂ, රාජ්‍ය අමාත්‍යවරුන් වන සුදර්ශනි ප්‍රනාන්දුපුල්ලේ, චන්න ජයසුමන, පාර්ලිමේන්තු මන්ත්‍රී මධුර විතානගේ, ජනාධිපති ලේකම් පී.බී ජයසුන්දර, ජනාධිපති ප්‍රධාන උපදේශක ලලිත් වීරතුංග, සෞඛ්‍ය ලේකම් (විශ්‍රාමික) මේජර් ජෙනරල් විශේෂඥ වෛද්‍ය සංජීව මුණසිංහ යන මහත්ම මහත්මීහු, ත්‍රිවිධ හමුදාපතිවරු සහ සෞඛ්‍ය අංශ ප්‍රධානීහු මේ අවස්ථාවට එක්ව සිටියහ.

About The Author