Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

ඉස්පිරිතාලෙන් ගෙදර ආවා. දැන් මොකද වෙන්නෙ?

කොවිඩ් රෝගය වැළඳුණු බොහෝ පුද්ගලයින් අසනීප වීමෙන් සති කිහිපයක් ඇතුළත සුවය ලැබුව ද, එයින් ඇතැමෙකු පශ්චාත් කොවිඩ් තත්ත්වයන් අත්විඳින බව පෙනෙන්නට තිබේ. පශ්චාත් කොවිඩ් තත්ත්වයන් යනු කොවිඩ් රෝගයට හේතු වන වෛරසය ආසාදනය වීමෙන් සති හතරකට පමණ පසු අත්විඳීමට සිදු විය හැකි නව රෝගී තත්ත්වයන්, නැවත කොවිඩ් වැළඳීමේ අවස්ථාවන් හෝ අඛණ්ඩ ව පැවතිය හැකි සෞඛ්‍ය ගැටලු ය. ආසාදනය වූ විට රෝග ලක්ෂණ නොතිබූ පුද්ගලයින්ට පවා පශ්චාත් කොවිඩ් තත්ත්වයන් ඇතිවිය හැකිය. මෙම තත්ත්වයන් විවිධ කාල පරාසයන්වල දී විවිධ වර්ගවලින් ඇති වනු පෙනේ.

පශ්චාත් කොවිඩ් රෝගී තත්ත්වයන්.

1 දීර්ඝකාලීන ව පැවැතිය හැකි රෝග.

දීර්ඝකාලීන රෝග යනු කොවිඩ් රෝගය ඇති කරන වෛරසය ආසාදනය වූ පසු සති හෝ මාස ගණනක් තිස්සේ පැවතිය හැකි හෝ ආසාදනයෙන් සති කිහිපයකට පසුව ඇතිවිය හැකි රෝග ලක්ෂණ රාශියකි. කොවිඩ් රෝගය වැළඳී ඇති ඕනෑම අයෙකුට මෙම තත්ත්වය ඇති විය හැකිය. සුළු රෝගී තත්ත්වයක් ඇති වුවත්, රෝග ලක්ෂණ නොමැති වුවත් දීර්ඝකාලීන ගැටලු ඇති වීම සිදු වේ. මෙවැනි තත්ත්වයකට මුහුණ දුන් පුද්ගලයින් පහත දැක්වෙන රෝග ලක්ෂණවල විවිධ සංයෝජනයන් අත්විඳිමින් සිටිනු ඇත.

1 වෙහෙස හෝ තෙහෙට්ටුව

2 සිතීමේ අපහසුතාව හෝ ඒකාග්‍රතාව අහිමි වීම (මෙය “මොළයේ මීදුම” ලෙස හැඳින්වේ)

3 හිසරදය

4 සුවඳ හෝ රසය නැතිවීම

5 සිටගෙන සිටින විට කරකැවිල්ල ඇති වීම

6 වේගයෙන් ගැහෙන හදවත 

7 පපුවේ වේදනාව

8 හුස්ම ගැනීමේ අපහසුතාව හෝ හුස්ම හිරවීම

9 දිගුකාලීන කැස්ස

10 සන්ධි හෝ මාංශ පේශි වේදනාව

11 මානසික අවපීඩනය හෝ කාංසාව

12 වරින් වර ඇති වන උණ

13 ශාරීරික හෝ මානසික ක්‍රියාකාරකම් වලින් පසුව නරක අතට හැරෙන රෝග ලක්ෂණ

2 කොවිඩ් රෝගයේ බහුඅවයව බලපෑම.

කොවිඩ් රෝගය හැම විට ම පුද්ගලයෙකුගේ හෘදය, පෙනහලු, වකුගඩු, සම සහ මොළයේ ක්‍රියාකාරිත්වය ඇතුළු ශරීර පද්ධතිවලට බොහෝ දුරට බලපායි. එහෙයින් රෝගය වැළඳීමෙන් පසු “මල්ටිසිස්ටම් ඉන්ෆ්ලැමටරි සින්ඩ්‍රෝමය” (MIS) සහ ස්වයං ප්‍රතිශක්තිකරණ තත්ත්වයක් ඇති වීම සාමාන්‍යයෙන් සිදු විය හැකිය. MIS යනු විවිධ ශරීර කොටස් ඉදිමීම යි. ප්‍රතිශක්තිකරණ පද්ධතිය හරහා වැරදීමකින් ශරීරයේ නිරෝගී සෛලවලට ද පහර දෙන විට එසේ බලපෑමට ලක් වූ කොටස්වල වේදනාකාරී ඉදිමීමක් ඇති වීම මෙහි දී සිදු වේ.

බහුඅවයව පද්ධතිවල බලපෑම කොපමණ කාලයක් පැවතිය හැකි ද යන්න සහ එම බලපෑම් නිදන්ගත සෞඛ්‍ය තත්ත්වයන්ට හේතු විය හැකි ද යන්න තවම සොයාගෙන නැත.

3 කොවිඩ් ප්‍රතිකාරවල හෝ රෝහල්ගත වීමේ බලපෑම්

කොවිඩ් ප්‍රතිකාරවල හෝ රෝහල්ගත වීමේ දිගු කාලීන බලපෑම් ද පශ්චාත් කොවිඩ් තත්ත්වයන්ට ඇතුළත් විය හැකිය. මෙම දිගු කාලීන බලපෑම් සමහරක් හේතුවෙන් පසු කලෙක රෝගියාට වෙනත් ශ්වසන ආසාදන තත්ත්වයන් ඇති විය හැකි ය.

පශ්චාත් – දැඩි සත්කාර සින්ඩ්‍රෝමය (PICS) ද අධික දුර්වලතාවය සහ පශ්චාත් කම්පන ආතති ආබාධ (PTSD) යනාදී රෝගී තත්ත්වයන් ද ඇති වන්නේ කොවිඩ් සඳහා ලබා ගන්නා ප්‍රතිකාර හේතුවෙනි. PTSD යනු කිසියම් පුද්ගලයෙකු හට දැඩි මානසික ආතතියක් ගෙන දෙන සිදුවීමක් සඳහා දීර්ඝ කාලීන ව ශරීරයෙන් සිදු කෙරෙන ප්‍රතික්‍රියා දැක්වීමකි.

ප්‍රතිකාර

පශ්චාත් කොවිඩ් තත්ත්වයන් කළමනාකරණය කිරීමට උපකාරී වන ක්‍රම තිබේ. මෙම රෝග ලක්ෂණ ඇති බොහෝ රෝගීහු කාලයත් සමඟ සුව අතට හැරෙති. ඔබට පශ්චාත් කොවිඩ් තත්ත්වයක් ඇතැයි සිතන්නේ නම්, ඔබේ රෝග ලක්ෂණ හා ප්‍රතිකාර කිරීමට ඇති හැකියාව පිළිබඳ ඔබ ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා සමඟ හැකි ඉක්මනින් සාකච්ඡා කළ යුතු ය.

කෙසේ නමුත් සියලු දිගුකාලීන සංකූලතා වළක්වා ගත හැකි හොඳම ක්‍රමය වන්නේ කොවිඩ් රෝගයට ගොදුරු නොවී සිටීම යි. මේ වන විට කොවිඩ් රෝගය පැතිරීම මන්දගාමී කිරීම සඳහා ලබා දෙන නවතම උපදෙස් වන්නේ,

1 අන්‍යයන්ගෙන් අඩි 6 ක් ඈතින් සිටීම.

2 කොවිඩ් එන්නත ලබා ගැනීමට හැකි වන පළමු අවස්ථාවේ දීම එය එන්නත් කර ගැනීම.

3 සෙනඟ ගැවසෙන ස්ථානවලින් පමණක් නොව දුර්වල වාතාශ්‍රය සහිත ගෘහස්ථ අවකාශයන්ගෙන් ද ඈත් වී සිටීම.

යනාදිය යි.

කොවිඩ් සහ එන්නත්.

සෞඛ්‍ය සංවිධාන නිර්දේශ කරන්නේ මිනිසුන් හට දැනටමත් කොවිඩ් තිබේද? නැද්ද? යන්න නොසලකා එන්නත් ලබා දීමට යි.

එනමුත් එන්නත ගැනීමේ දී රෝගය වැළඳී තිබුණු ඇතැමුන් පවසන්නේ එන්නත ලබා දීමෙන් පසු ඔවුන්ගේ රෝගයේ බරපතලකම වැඩි වූ බව යි. එහෙයින් පශ්චාත් කොවිඩ් තත්ත්වයන් යටතේ එන්නත් කිරීමේ දී රෝගියාට ඇති විය හැකි බලපෑම තීරණය කිරීම සඳහා තවදුරටත් අධ්‍යයන අවශ්‍ය වේ.

මෙම දිගු කාලීන බලපෑම් කෙතරම් සුලභ ද? ඒවා බොහෝ දුරට වැළඳීමට ඉඩ ඇත්තේ කුමන ආකාරයේ රෝගීන්ට ද? යනාදිය සහ එහි රෝග ලක්ෂණ හඳුනා ගැනීම සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානය දිගටම කටයුතු කරමින් සිටියි. පශ්චාත් කොවිඩ් තත්ත්වයන් පිළිබඳ වැඩිදුර විමර්ශනය කිරීම සඳහා බහු අවුරුදු අධ්‍යයන පවා සිදු කෙරෙමින් පවතී. මෙම අධ්‍යයනයන් පශ්චාත් කොවිඩ් තත්ත්වයන් වඩා හොඳින් අවබෝධ කර ගැනීමට සහ දිගු කාලීන බලපෑම් ඇති රෝගීන්ට ප්‍රතිකාර කරන්නේ කෙසේද? යන්න තේරුම් ගැනීමට වඩාත් උපකාරී වනු ඇත.

ශ්‍රීනි ලංකා ජයකොඩි 

About The Author