Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

ඉඟසුඟ ගත හැක මිටින.

මධකාලීන යුගයේ හිසකෙස් වර්ණ ගැන්වූ හැටි.

ඔබට හිසකෙස් සම්බන්ධ ගැටලු තිබේ ද? අද වන විට වෙළෙඳපොළෙහි එවැනි දේ සඳහා නොයෙක් ආකාරයේ ඖෂධ වර්ග මෙන් ම ආලේපන වර්ග ද දක්නට ලැබේ. 11 වන ශතවර්ෂයේ සාලර්නෝහි විසූ ට්‍රොටුලා ඩි රග්ගීරෝ විසින් “ඩි ඔර්නාටු මුලියෙරම්” නමින් ග්‍රන්ථයක් ලිවී ය. හිසකෙස් වැවීමට, පැළීමට, වැටීමට, අකලට හිසකෙස් පැසීමට යනාදී වශයෙන් හිසකෙස්වලට අදාළ බොහෝ ගැටලු සඳහා සිදු කළ හැකි අමුතු ආකාරයේ ප්‍රතිකර්ම පිළිබඳ එහි සඳහන් විය. එම යුගයේ විසූ තුන් වන රිචඩ් රජු ද රග්ගීරෝගේ ග්‍රන්ථය අනුගමනය කරමින් තම හිසකෙස් වර්ණ ගන්වා ගත් බවට සාක්ෂි තිබේ.

කොණ්ඩය වර්ණ ගැන්වීම සඳහා ඇග්‍රිමෝනියා සහ බක්සස් (බොක්ස්වුඩ්) වැනි පැළෑටි වර්ග භාවිත කළ හැකි බව අපි දනිමු. තව ද පිළිස්සූ මිදි, අළු, කිඹුලන්, ඩ්‍රැගන් ෆෘට්, එල්ඩර්බෙරි, සෙලන්ඩයින්, මැඩර්, මර්ට්ල් බෙරී, ඕට් සහ කුංකුම භාවිතා කිරීමෙන් හිසකෙස් සඳහා වඩා රන්වන් පැහැයක් ලබා ගත හැකි බව එම ග්‍රන්ථයේ සඳහන් විය. මෙම ශාකවලින් නිස්සාරණය කර ගත් යුෂ බොහෝ විට මත්පැන් සමඟ මිශ්‍ර කර ගනිමින් ෂැම්පූ ලෙස භාවිත කරන ලදී. සාමාන්‍ය හිසකෙස් දිගු, මෘදු හෝ කැරලි හිසකෙස් බවට පත් කිරීම සඳහා ඔලිව් තෙල් සමඟ මිශ්‍ර කර ගත් වෙනත් ශාක වර්ග ද පිළියම් ලෙස යොදා ගන්නා ලදී. මෙම වට්ටෝරුවලින් බොහොමයක් ශතවර්ෂ ගණනාවකට පසු වුව ද රූපලාවණ්‍ය අත්පොත්වල දක්නට ලැබේ. අදාළ පැළෑටි ද බොහෝ දුරට වෙළෙඳපොළෙන් සොයා ගත හැකි ය.

ඒ හැරුණු විට එකල විසූ ජනතාව හිසකෙස් වර්ණ ගැන්වීම සඳහා ද ඉතා වුවමනාවෙන් උත්සාහ ගත් බව පෙනේ. ඔවුන් දැඩි ලෙස ආශා කළේ තම කෙස් ලා පැහැ ගැන්වීමට ය. කාන්තාවන් පමණක් නොව පුරුෂයින් ද එවැනි කටයුතුවල නියැළුණාහ. මුල් කාලයේ දී විලාසිතාවක් වශයෙන් සිදු කළ ද පසුව, පළමුවන එලිසබෙත් රැජිනගේ පාලන සමයේ දී, රැජිනට පක්ෂපාතී බව සංකේතවත් කිරීම සඳහා ඉහළ පෙළේ මිනිසුන් විසින් ඔවුන්ගේ හිසකෙස් සහ රැවුල් සායම් කරන ලදී. 

මේ සඳහා කුංකුම සහ සල්ෆර් කුඩු මිශ්‍රණයක් යොදා ගත් බව පෙනේ. කෙසේ වුවත් එය ඉතා දිගු කාලීන ක්‍රියාවලියක් විය. අදාළ ක්‍රියාවලිය සඳහා මිශ්‍රණ වර්ග දෙකක් යොදා ගත් අතර ඉන් පළමු මිශ්‍රණය හිසෙහි ගල්වා, හිස සම්පූර්ණයෙන් ම කොළ වර්ගවලින් ඔතා දින දෙකක් පමණ තිබෙන්නට හරිනු ලැබිණි. පසුව දෙවන මිශ්‍රණය ද ගල්වා  නැවත කොළවලින් ආවරණය කොට තවත් දින හතරක් පමණ තබා, සෝදා හරිනු ලැබිණි. මෙලෙසින් අද වන විට මිනිත්තු කිහිපයක් ඇතුළත සිදු කෙරෙන හිසකෙස් වර්ණ ගැන්වීමේ කටයුත්ත අතිශය වෙහෙසකර එකක් බවට පත් ව තිබිණි.

ඉඟසුඟ ගත හැක මිටින.

මධ්‍යකාලීන යුගයේ සිතුවම් හොඳින් අධ්‍යයනය කළහොත් එහි සිටින කාන්තාවන්ගේ ඉණ පෙදෙස ඉතා සිහින් බව ඔබට වැටහෙනු ඇත. සැබැවින් ම මෙය ඉතා භයානක මෙන් ම දිගුකාලීන ක්‍රියාවලියක ප්‍රතිඵලයක් ලෙස ලබා ගත්තකි. 

16 වන සියවසේ සිට 19 වන සියවස දක්වා ම ඒ සඳහා යොදා ගැනුණේ කෝර්සෙට් (corset) නම් වූ යට ඇඳුමකි. ඇතැමි පිරිමින් ද සිය සිරුරේ අනවශ්‍ය මාංශපේශි අඩු කර පෙන්වීම සඳහා කෝර්සෙට් ඇඳ සිටි බව පෙනේ. මළ මිනිසෙකුගෙන් ලබා ගත් අස්ථි හෝ ලෝහ කම්බි වර්ග කිහිපයක් ඇතුළු කොට, ශක්තිමත් රෙදිවලින් වැසීමෙන් කෝර්සෙට් සාදන ලදී. ඇඳුමෙහි ඉදිරිපසින් කොකු සවි කර තිබුණු අතර, පිටුපසින් ඇද සකස් කළ හැකි ලේස්වලින් වසා තිබිණි. ප්‍රංශ ඇඳුම් නිර්මාණකරුවන් විසින් 1828 වසරේ දී පමණ කෝර්සෙට් ලේස් වෙනුවට ලෝහ අයිලට් හඳුන්වා දෙන ලදී. මෙම තාක්ෂණික නවෝත්පාදනය මගින් ඉණ වඩාත් තදින් තද කර ගැනීමට ඉඩ සැලසිණි. විශේෂයෙන් වංශවත් කාන්තාවෝ නිවසින් පිටතට යන විට පමණක් නොව නිවස තුළ දී පවා කෝර්සෙට් ඇඟ ලා සිටියහ.

එනමුත් දීර්ඝ කාලයක් තිස්සේ මෙම ඇඟලුම ඇඳ සිටීම නිසා බොහෝ විට කාන්තාවන්ගේ හුස්ම ගැනීම සීමා වී තිබුණු අතර එහෙයින් ඇතැම්හු පුරුද්දක් වශයෙන් ක්ලාන්ත වීමට පටන් ගත්හ. උදරයේ අවයව සම්පීඩනය වීම නිසා ආහාර ජීරණ ක්‍රියාවලිය දුර්වල විය. කාලයත් සමඟ පිටුපස මාංශ පේශි ක්ෂය විය. දිගු කාලීන ව තදින් බැඳ තැබීම නිසා ඉළ ඇට විකෘති විය. කෝර්සෙට් ඇඟලුම හේතුවෙන් මෙලෙස විකෘති වූ ඉළ ඇටයක් සහිත ඇටසැකිල්ලක් හන්ටේරියන් කෞතුකාගාරයේ ප්‍රදර්ශනය කොට තිබේ. කෝර්සෙට් ඇඳි කතුන්ට හට ගත් මෙම රෝග වෛද්‍යවරුන් විසින්  ක්ලෝරෝසිස්, ‘හරිත අසනීප’ සහ රක්තහීනතාවය ආදී වශයෙන් නම් කරන ලදී. කෝර්සෙට් හේතුවෙන් හටගත් අසනීපවලට ප්‍රතිකාර කිරීම සඳහා ජීවිත කාලය පුරාම භාවිත කිරීම පිණිස පෙති වර්ග පවා ලබා දීමට සිදු විය.

ශ්‍රීනි ලංකා ජයකොඩි.

About The Author