Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

ආනන්ද විජේපාල දරන මහජන ආරක්ෂක ඇමති ධූරය සහ ඔහුගේ මන්ත්‍රී ධූරය අහෝසි කරන්නැයි පෙත්සමක්

මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාලගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය බලරහිත කිරීමේ අඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා අභියාචනාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කර තිබේ.

එම පෙත්සම ඉදිරිපත් කරනු ලැබුවේ, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාලක ලේකම් රේණුක පෙරේරා විසිනි.

එහි වග උත්තරකරු ලෙස අමාත්‍ය ආනන්ද විජේපාල, පාර්ලිමේන්තු මහ ලේකම් සහ නීතිපතිවරයා නම් කර තිබේ.

පෙත්සම්කරු කියා සිටින්නේ, ජනාධිපතිවරයා විසින් වග උත්තරකාර ආනන්ද විජේපාල, මහජන ආරක්ෂක අමාත්‍යවරයා ලෙස ඉකුත් නොවැම්බර් මස 18 වන දා පත්කරනු ලැබූ බව ය.

පසුව, ඉකුත් දෙසැම්බර් මස 19 වන දා නිකුත් වූ සන්ඩේ ටයිම්ස් පුවත්පත මගින් ආනන්ද විජේපාල ජනාධිපතිවරයාගේ කාර්ය මණ්ඩල ප්‍රධානියා වශයෙන් පත් කර තිබෙන බව වාර්තා කර තිබූ බවත් පෙත්සමේ සඳහන් වෙයි.

පසුව, මේ පිළිබඳව තමන් තොරතුරු දැනගැනීමේ පනත යටතේ ඉල්ලීමක් කළ අතර, එහිදී අමාත්‍ය ආනන්ද විජේපාල ජනාධිපතිවරයාගේ කාර්ය මණ්ඩල ප්‍රධානියා වශයෙන් පත්කර ඇතැයි තහවුරු කර ගත් බව ද පෙත්සම්කරු සඳහන් කරයි.

පෙත්සමේ තර්කය

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 91 වන ව්‍යවස්ථාව යටතේ රාජ්‍ය සේවයේ නිරත අයෙකු පාර්ලිමේන්තුවේ අසුන් ගැනීමට හා ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් නොලබන බව දක්වා ඇතැයි පෙත්සම්කරු ප්‍රකාශ කරයි.

ජනාධිපතිවරයාගේ කාර්ය මණ්ඩල ප්‍රධානියා යනු රාජ්‍ය තනතුරක් යැයි පෙන්වා දෙන පෙත්සම්කරු, ඒ අනුව එවැනි තනතුරක් දරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයක් දැරීමට අමාත්‍ය ආනන්ද විජේපාලට සුදුසුකමක් නොමැති බව පැවසීය.

ඒ අනුව, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ප්‍රකාරව ආනන්ද විජේපාල අමාත්‍යවරයාට පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයක් දැරීමට සුදුසුකම් නොමැති බවට තීන්දුකොට ඔහුගේ මන්ත්‍රී ධූරය බලරහිත කිරීමේ තීන්දුවක් ලබා දෙන ලෙසත් පෙත්සම්කරු අධිකරණයෙන් ඉල්ලා තිබේ.

ඊට අමතරව, මෙම පෙත්සම විභාග කොට අවසන් තීන්දුවක් ප්‍රකාශයට පත් කරන තුරු ආනන්ද විජේපාල පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වශයෙන් අසුන් ගැනීම හා පාර්ලිමේන්තුවේ ඡන්දය ප්‍රකාශ කිරීම වළක්වාලමින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙසත් පෙත්සමෙන් ඉල්ලා සිටී.

එසේ ම, ආනන්ද විජේපාල මහජන ආරක්ෂක අමාත්‍ය ධුරයේ කටයුතු කිරීම වළක්වාලන අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙසත් පෙත්සමෙන් වැඩිදුරටත් ඉල්ලා තිබේ.

About The Author