Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

අරගලයේ සුරංගනාව

මියන්මාරයේ විරෝධතා දරුණු වී තිබේ. මේ මස මුල් භාගයේ දී පමණ පොලිසිය විසින් විරෝධතාකරුවන් විසුරුවා හැරීමට ගත් උත්සාහයක දී තවමත් 20 වියටවත් පත් නොවූ මයා ත්වී ඛායින්ගේ හිසට වෙඩි තැබිණි. දින 10ක් තිස්සේ ජීවිතයත් මරණයත් අතර සටන් වැදුණු අරගලයේ සුරංගනාව පසුගිය දා මිය ගියා ය. 

මයාගේ අවමංගල උත්සවයේ දී මෙන් ම ඉන් පසුත් මියන්මාර විරෝධතාකරුවන් වඩ වඩාත් ප්‍රචණ්ඩ වී ඇති බව පෙනේ. අදටත් ආරක්ෂක අංශ විසින් බලහත්කාරයෙන් සිදු වූ මෙම හමුදා පවරා ගැනීමට එරෙහි ව විරෝධතා පවත්වමින් සිටින පෙළපාලිකරුවන් හට වෙඩි තබා ඝාතනය කරමින් සිටිති. මේ වන විට එම උණ්ඩවලින් අවම වශයෙන් 70 දෙනෙකු මිය ගොස් තිබෙන බව ඇසින් දුටු සාක්ෂිකරුවෝ සහ ප්‍රාදේශීය මාධ්‍ය වාර්තා කරති.

ආසන්නතම දිනක දී රටේ දෙවන විශාලතම නගරය වන මැන්ඩලේහි මරණ හතරක් සහ දකුණු මැද මියන්මාරයේ පිහිටා තිබෙන පයෙයි නගරයෙහි මරණ දෙකක් වාර්තා විය. මෙම ස්ථාන දෙකෙහි ම මියගිය හා තුවාල ලැබූවන්ගේ ඡායාරූප සමඟ විවිධ වාර්තා සමාජ මාධ්‍ය තුළ පළ විය. දේශපාලන සිරකරුවන් සඳහා වූ සහායක සංගම් උපදේශක කණ්ඩායම (ඒ.ඒ.පී.පී.) පවසන්නේ රට අල්ලාගෙන සිටින 8-8-88 නම් වන ව්‍යාපාරයට අයත් හමුදා නිළධාරීන් වඩාත් කුපිත වී ඇත්තේ මියන්මාරය තුළ ප්‍රජාතන්ත්‍රවාදය යථා තත්ත්වයට පත් කිරීම සඳහා එක්සත් ජනපදය, ඉන්දියාව, ඕස්ට්‍රේලියාව සහ ජපානය යන රටවල නායකයින් එක්ව කටයුතු කරන බවට පොරොන්දු වීමත් සමඟ බව යි. මින් පෙර 1962 වසරේ දී ඇති වූ හමුදා පාලනය ද සැලකිල්ලට ගතහොත් අද දක්වා අසාධාරණ හමුදා පාලනයට එරෙහිව විරෝධතා දැක්වූ සිවිල් වැසියන්ගෙන් 3000ක් පමණ මිය ගොස් තිබේ.

මේ සියලු කාරණාවල දී දණ්ඩනයට හසු වූ අවුන් සාන් සූ කී දශක දෙකකට ආසන්න කාලයක් නිවාස අඩස්සියේ පසු වූවා ය. ඇයට නිදහස ලැබුණේ 2008 වසරේ දී ය. එතුවක් රට පාලනය කළ මිලිටරි නායකයින් විසින් ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රතිසංස්කරණ ආරම්භ කිරීමත් සමඟ 2015 දීත්, පසුගිය වසරේ නොවැම්බරයේදීත් සුකී ප්‍රමුඛ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා වූ ජාතික ලීගය මැතිවරණ ජයග්‍රහණය කළේ ය. 2021 වසරේ පෙබරවාරි 1 වන දින නැවත හමුදා ජෙනරාල්වරුන් විසින් ඇයට අයත් රජය පෙරළා දැමුණු අතර අවුන් සාන් සූ කී සහ ඇගේ කැබිනට් සගයෝ රැසක් අත්අඩංගුවට ගන්නා ලදහ.

ජාත්‍යන්තරයේ මැදිහත්වීම.

චීනය සමඟ සමීප සබඳතා පවත්වන මියන්මාරය තුළ සිදු වෙමින් පවතින මෙම කුමන්ත්‍රණය නව එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩෙන් හට අභියෝගයක් වී තිබේ. කලාපීය ආරක්ෂාව තහවුරු කිරීම සඳහා එක්සත් ජනපදයෙන් ගන්නා ලද නව පියවරක් වශයෙන් “ක්වාඩ්” නමින් හැඳින්වෙන කණ්ඩායමේ පළමු නිළ සමුළුව පසුගිය සිකුරාදා පැවැත්විණි. එහි දී බයිඩෙන් විසින් ඉන්දියානු, ජපන් හා ඕස්ට්‍රේලියානු නායකයින් සමඟ මෙම මියන්මාර ගැටලුව පිළිබඳ සාකච්ඡා කර තිබේ.

“මියන්මාරයේ සහ එහි ජනතාවගේ දිගුකාලීන මිත්‍රයන් වශයෙන්, ඔවුන්ගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් යථා තත්ත්වයට පත් කිරීමේ හදිසි අවශ්‍යතාව සහ ඔරොත්තු දීමේ හැකියාව ශක්තිමත් කිරීම සඳහා මූලිකත්වය ගෙන කටයුතු කිරීම සියලුදෙනාගේ ම යුතුකම බව අපි අවධාරණය කරමු.” යනුවෙන් එම නායකයන් සිව්දෙනා ප්‍රකාශ කළ බව ධවල මන්දිරය විසින් නිකුත් කළ නිවේදනයක දැක්වේ.

තමන් ඇතුළු මියන්මාර බලධාරීන් විරෝධතාකරුවන් සම්බන්ධයෙන් අතිශය සංයමයෙන් කටයුතු කරන බවට මියන්මාරයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු විසින් සිදු කළ විකාර ප්‍රකාශය එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් විමර්ශන කණ්ඩායම් නිළධාරී, තෝමස් ඇන්ඩෲස් විසින් ප්‍රතික්ෂේප කරන ලදී. ජිනීවාහි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය අමතමින් ඔහු කියා සිටියේ මෙම අත්තනෝමතික ක්‍රියාකලාපය මැඬපැවැත්වීම සඳහා සියලු රටවල් එක්සත් ව සහය දැක්විය යුතු බව යි.

බ්‍රිතාන්‍යය ද දැනට මියන්මාරයේ ජීවත් වන බ්‍රිතාන්‍ය පුරවැසියන් හට රටින් ඉවත් ව යන ලෙස අනතුරු ඇඟවා තිබේ. ඔවුන් පවසන්නේ මියන්මාරයේ සිදු ව තිබෙන බලහත්කාරී හමුදා පවරා ගැනීම හේතුවෙන් ප්‍රචණ්ඩත්වය ඉහළ යමින් තිබෙන බැවින් දේශපාලන ගැටුම් හා ජනතා නොසන්සුන්තාව පුළුල් වී ඇති බව යි. ඒ හරහා සිය පුරවැසියන් හට සීරීමක්වත් සිදු වනු දැකීමට තමන් අපේක්ෂා නොකරන බව ඔවුහු පවසා සිටිති.

පැතිර යන ප්‍රචණ්ඩත්වය හේතුවෙන් පසුගිය දා සාකච්ඡා කෙරුණු පරිදි සිදු කිරීමට නියමිත ව තිබෙන ආරක්ෂක හුවමාරුව අත්හිටුවන බවත් සංවර්ධන ආධාර ලබා දීම පිළිබඳ නැවත සලකා බැලීමට සිදු වන බවත් දකුණු කොරියාව පැවසීය.

රුසියානු ක්‍රෙම්ලිනය පැවසුවේ මියන්මාරයේ මිලිටරිය සමඟ සමීප සබඳතා පැවැත්වුව ද වැඩි වෙමින් යන ප්‍රචණ්ඩත්වය පිළිබඳ තමන් සැලකිල්ලෙන් සිටින බව යි. ඒ අනුව පෙර සාකච්ඡා කළ පරිදි මිලිටරි – තාක්‍ෂණික සහයෝගීතාව ලබා දීම අත්හිටුවිය යුතු ද? නැද්ද? යන්න ගැන විශ්ලේෂණය කරමින් සිටින බව ඔවුහු කීහ.

පෝලන්තයේ විදේශ අමාත්‍යංශය පැවසුවේ මියන්මාර පොලිසිය විසින් අසාධාරණ අන්දමින් පෝලන්ත මාධ්‍යවේදියෙකු අත්අඩංගුවට ගෙන ඇති බව යි. එපරිදි ම විරෝධතාවක් ආවරණය කරමින් සිටි ජපන් මාධ්‍යවේදියෙකු ද අත්අඩංගුවට පත් විය. එහෙයින් මියන්මාර හමුදා පාලකයින් කෙතරම් ශක්ති සම්පන්න ව සිටීමට උත්සාහ දැරුව ද ඔවුනට සිවිල් වැසියන්ගෙන් පමණක් නොව ජාත්‍යන්තරයෙන් ද වැඩි කලක් ගැලවී සිටීමට ඉඩ නොලැබෙනු ඇත.

ශ්‍රීනි ලංකා ජයකොඩි.

About The Author