Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

අරගලකරුවන් ත්‍රස්තවාදීන්ද?

පසුගිය අගෝස්තු 18 වන දින සවස 4 ට අත්අඩංගුවට ගත් අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ ඇතුලු තිදෙනෙකු මේවන විට ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවා තබාගෙන අද, අගෝස්තු 22 උදෑසන 9 වනවිට පැය 93 ක් ගෙවී ගොස් ඇතැයි ක්‍රියාකාරීහු පවසති.

ආර්ථික අර්බුදය හමුවේ ගොඩ නැඟුණු විරෝධතා ඉතිහාසය සැකෙවින්

බලයෙන් පහ කළ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ අසාර්ථක අර්ථික කළමනාකරණය හේතුවෙන් දිනෙන් දින ශ්‍රී ලංකාවේ ආර්ථිකය පරිහානියට පත් වූ බව බොහෝ ශ්‍රී ලාංකිකයිගේ මතයයි.

ඔහුගේ පාලන කාලය තුළ විදේශ සංචිත වේගයෙන් පහත වැටුණු අතර අදූරදර්ශී හා අමනෝඥ කෘෂි ප්‍රතිපත්ති හේතුවෙන් ගොවිතැන් ඇතුලු කෘෂි කර්මාන්තය කඩා වැටිම්කට ලක්වූ බව ආර්ථක විශ්ලේෂකයෝ පවසති.

පැය ගණනක විදුලි කප්පාදුව මැද, ඉන්ධන මිල ද අධික ලෙස ඉහළ දැමීම හේතුවෙන් භාණ්ඩ මිල ගණන් ද සීග්‍රයෙන් ඉහළ යාමෙන් ශ්‍රී ලංකාව දරුණු ආර්ථික අර්බුදයකට ගොදුරු විය.

ජනතාවගේ එකී පීඩනය පුපුරායමේ ආරම්භක සන්ධිස්ථානයක් වුයේ මාර්තු 31 වැනිදා ගෝඨාභය රාපක්ෂගේ මිරිහාන පෞද්ගලික නිවස ඉදිරිපිට ඇතිවු සාමකාමී ජන විරෝධතාවයයි.

ඉන් නොනැනවතුණු ජනතාව ජනාධිපතිවරයාට හා ආණ්ඩුවට ගෙදරයන ලෙස බලකර ගාලු මුවදොර ජනාධිපති කාර්යාලය ඉදිරිපිට ‘ගෝඨාගෝගම’ නමින් විරෝධතා ස්ථානයක් නිර්මාණය කළ අතර එය පුළුල් වශයෙන් පොදු ජනයා විසින් ‘අරගල භූමිය’ සහ ‘අරගලය’ ලෙස නාමකරණය කරන ලදී.

ආරම්භයේ සිටම අරගල පරිශ්‍රය සාමකාමී මුහුණුවරක් ගත් අතර, පොලිසිය ඇතුලු ආරක්ෂක අංශ වලින්ද අරගලකරුවන්ට බාධාවක් නොවීය.

ප්‍රථමාධාර මධ්‍යස්ථාන, පුස්තකාලයක්, නීති ආධාර මධ්‍යස්ථානයක්, මහජන සරසවියක් ඇතුලු අංශ කිහිපයකින් ගෝඨාගෝගම අරගල භූමිය විවිධත්වයක් ගනු ලැබීය.

Gota GoGama - Protest Site map

එසේ තිබූ අරගල භූමියට ප්‍රචණ්ඩ ප්‍රහාරයක් එල්ලවූයේ මැයි 09 වැනිදාය.

අරලියගහ මන්දිරයට එදින උදෑසන රැස්වූ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රාදේශීය දේශපාලනඥයින්, පාක්ෂිකයින් හා ආධාරකරුවන් පළමුව අරලියගහ මන්දිරය ඉදිරිපිට ඉදිරිකර තිබු විරෝධතා ස්ථානයක් වන ‘මයිනාගෝගමට’ පහර දෙනු ලැබීය.

අනතුරුව පොලිසියේ බාධා කිරිමකින් තොරව ඔවුහු ගාලුමුවදොර දක්වා ගොස් ගෝඨාගෝගම පරිශ්‍රයට ද පහර දෙනු ලැබීය. එහි ප්‍රතිඵලයක් වශයෙන් රටපුරාම ප්‍රචණ්ඩ ක්‍රියා ඇතිවිය.

දේශපාලනඥයින් රැසකගේ නිවාස ගිනිබත් වූ අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පොලොන්නරුව දිස්ත්‍රික් මන්ත්‍රී අමරකීර්ති අතුකෝරලට ජීවිතයෙන් වන්දි ගෙවීමට තරම් එම ප්‍රචණ්ඩ ක්‍රියා බිහිසුණු විය.

මාස 3ක් පුරා ගාලුමුවදොර අරගලකරුවෝ ගෝඨාභය රාජපක්ෂ ධුරයෙන් පහ කිරීම සඳහා ගෙන ගිය විරෝධතාවයට රටපුරාම බහුතර ජනතාවක් එක්වුයේ ජුලි 09 වනදාය.

ශ්‍රී ලංකාව: පැන ගිය ගෝඨාභය රාජපක්ෂ, අරගලය සහ වත්මන් අර්බුදය

ඉන්ධන හිඟය මෙන්ම හා ප්‍රවාහන දුෂ්කරතා නොතකා දහස් සංඛ්‍යාත පිරිසක් එදින කොළඹට රැස්වී ජනාධිපති මන්දිරය වැටලීම හමුවේ ගෝඨාභය රාජපක්ෂට කොටුව ජනපති මන්දිරයෙන් පලා ගොස් නාවික හමුදා යාත්‍රාවක රැකවරණ ලැබීමට සිදුවිය.

ජූලි 14 වැනිදා ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති ධුරයෙන් නිල වශයෙන් ඉල්ලා අස්වීමත් සමඟ ජුලි 21 වැනිදා පාර්ලිමේන්තුවේ මන්ත්‍රීන්ගේ වැඩි ඡන්දයෙන් රනිල් වික්‍රමසිංහ විධායක ජනාධිපති ධුරයට පත්වු අතර ඔහු ජනපති ධුරයේ දිවුරුම් දී පැය කිහිපයක් ඇතුළත, ගාලුමුවදොර ජනාධිපති ලේකම් කාර්යයාලය ඉදිරිපිටදී ආරක්ෂක අංශ විසින් එල්ල කළ ප්‍රහාර වලින් අරගලකරුවන් මෙන්ම මාධ්‍යවේදීන්ද තුවල ලැබීය .

එය අන්තර්ජාතික වශයෙන් ජනාධ්පතිවරයා දැඩි දෝෂ දර්ශනයට ලක්වූ සිදුවීමක් විය.

එතැන් පටන් ගෙවී ගිය කාල පරාසය තුළ නීතිවිරෝධී ජනරාශියක සාමාජිකයින් වීම, අධිකරණ නියෝග කඩ කිරීම, පොලිස් නිලධාරීන්ට සාපාරාධී බලහත්කාරය පෑම, පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කිරීම යන හේතූ මත හා අධිකරණ වරෙන්තු මත අරගලයට සෘජු හෝ වක්‍ර සම්බන්ධතා සහිත පුදගලයින බොහෝ දෙනෙකු පොලිස් අත්අඩංගුවට පත්විය.

සාමකාමී විරෝධතාකරුවන් මර්දනය නොකරන ලෙසත් ඒ සඳහා හදිසි නීතිය යොදා නොගන්න ලෙසත් හියුමන් රයිට්ස් වොච්, ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් මෙන්ම එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිල විශේෂඥ කණ්ඩායමක් ද ශ්‍රී ලංකා බලධාරීන්ගෙන් මේ කාලය තුළ විටින් විට ඉල්ලීම් කොට තිබේ.

පසුගිය ජුලි 21 වැනිදා සිට මේ දක්වා කාලය තුළ අරගල ක්‍රියාකාරීන් 60කට ආසන්න පිරිසක් පොලිස් අත්අඩංගුවට පත්ව තිබේ.

පරපුර (Hashtag Generation) සංවිධානයට අනුව පසුගිය ජුලි 21 වැනිදා සිට අරගලකරුවන් 59 දෙනෙකු පොලිස් අත්අඩංගුවට ගෙන ඇත. තවත් 18 දෙනෙකුගේ විදෙස් ගමන් තහනම් කර ඇත.

අගොස්තු 18 වැනිදා කොළඹදී අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය සංවිධානය කළ විරෝධතාව අතරතුර අත්අඩංගුවට ගත් 19 දෙනගේ පිරිස අතර භික්ෂූන් වහන්සේලා සිව් නමක් ද වෙති.

පොලිස් මාධ්‍ය කොට්ඨාශය සඳහන් කළේ කුරුඳුවත්ත, කොම්පඤ්ඤ වීදිය, බොරැල්ල පොලිස් ස්ථාන මඟින් හා කැලණිය කොට්ඨාස අපරාධ විමර්ශන අංශය විසින් එම සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇති බවයි.

අත්අඩංගුවට ගත් සැකකරුවන්ගෙන් 16 දෙනෙකු අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු 15 දෙනෙකු ඇප මත මුදා හැරුණි. සිවිල් සමාජ ක්‍රියාකාරිකයෙකු වන චින්තක රාජපක්ෂ අගෝස්තු 26 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත.

අනෙක් සැකකරුවන් තිදෙනා සම්බන්ධයෙන් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ පොලිස් අධිකාරිවරයකු විසින් ලබාදෙන පැය 72 ක රැඳවුම් නියෝග මත තවමත් රඳවාගෙන සිටියි. මේ වන විට ඔවුන් පැය 93 කට වැඩි කාලයක් රැඳවුම් භාරයේ සිට තිබේ.

කෙසේ වෙතත් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ, හෂාන්ත ගුණතිලක සහ පුජ්‍ය ගල්වල සිරිධම්ම හිමියන් ත්‍රස්තවාදය වැලැක්වීමේ පණත යටතේ, දින 90 ක් රඳවා තබා විමර්ශනය කිරීමට ආරක්ෂක අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහගෙන් කළ ඉල්ලීමට අනුමැතිය ලැබී ඇතැයි, පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිතීඥ නිහාල් තල්දූව අද සවස (අගෝස්තු 22දා) පැවසීය.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නීතීඥ නිහාල් තල්දූව පැවසුවේ අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ, හෂාන්ත ගුණතිලක සහ පුජ්‍ය ගල්වල සිරිධම්ම හිමියන් කිසියම් ත්‍රස්තවාදී ක්‍රියාවකට සම්බන්ධ බවට සැක කෙරේ නම් ත්‍රස්ත විමර්ශන කොට්ඨාශයට (TID) භාරදෙන ලෙස පොලිස්පතිවරයා උපදෙස් දී තිබෙන බවයි.අප්‍රේල් 09 වැනිදා ඇතිවූ සිද්ධීන්ට අදාළව සිදුවීම් 800 කට වැඩි ප්‍රමාණයක් වාර්තාවී ඇති බවත්, එහිදී මනුෂ්‍ය ඝාතයනයක් ඇතුලුව නිවාස ගිනිතැබීම් හා රාජ්‍ය දේපල වලට හානි සිදුවීමේ සිද්ධින් වලට හා ඉන් අනතුරුව පැවති විරෝධතාවන්ට මොවුන්ගේ සම්බන්දයක් ඇති බවට සැකකරන බැවින් කිසියම් ත්‍රස්තවාදී ක්‍රියාවකට හෝ රාජ්‍ය විරෝධි ක්‍රියාවකට මොවුන්ගේ යම් සම්බන්ධයක් ඇතිදැයි පිළිබඳව විමර්ශනය කිරීම සඳහා ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රැඳවුම් නියෝග ලබාගෙන ඔවුන්ට එරෙහිව ක්‍රියාකරන බවට පොලිස් ප්‍රකාශකවරයා පැවසීය.

නමුත් නීතීඥ නුපන් බෝපගේ මීට ස්වල්ප මොහොතකට පෙර සමාජ මාධ්‍ය වෙත නිකුත් කළ පොස්ටුවක දක්වා තිබුණේ අදාළ සිදුවීම සම්බන්ධයෙන් ත්‍රස්ත විමර්ශන ඒකකයෙන් ඔවුන් කළ විමසීමේදී ඔවුන් ඒ පිළිබඳව නොදන්නා බවත් රැඳවුම් නියෝගයක් ඔවුන් සතුව නොමැති බවත් ත්‍රස්ත විමර්ශන ඒකකය පැවසු බවයි.

“පසුගිය 18 වන දින සවස 4 ට අත්අඩංගුවට ගත් මේ තිදෙනා මේ වනවිට පැය 72කට වඩා රඳවාගෙන තිබෙනවා.එබඳු රඳවා ගැනීමක් සිදු කිරීම සඳහා කිසිදු නෛතික හැකියාවක් නැහැ. මන්ද මේ වන විට ඔවුන් සම්බන්ධයෙන් රැඳවුම් නියෝගයක් භාරදීමක් සිදුකොට නොමැති තත්ත්වයක් තුළ නීත්‍යානුකූල රදවා තබා ගැනීමක් තවදුරටත් නැහැ. ඒ වගේම නීතිඥවරුන්ට සහ ඥාතීන්ට ඔවුන් වෙත ප්‍රවේශයක් මේ වනවිට සම්පූර්ණයෙන්ම අහිමි කළ තිබෙනවා. ඒ අනුව මෙය නීති විරෝධී පැහැර ගැනීමක් විදියට තවදුරටත් සලකන්න පුළුවන්” වැඩි දුරටත් ඔහු එහි දක්වා තිබුණි.

නීතීඥ නුපන් බෝපගේ සමාජ මාධ්‍ය වෙත නිකුත් කොට තිබු ලිපිය
ඡායාරූප ශීර්ෂ වැකිය,නීතීඥ නුපන් බෝපගේ සමාජ මාධ්‍ය වෙත නිකුත් කොට තිබු ලිපිය

මේ අතර අරලිය ගහ මන්දිරයට ඇතුලු වී එහි දේපොළ වලට අලාභ හානි කළ තවත් සැකකරුවන් 50 දෙනෙකු හඳුනා ගැනීමට පොලීසිය මහජන සහයා පතා තිබේ.

පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිවේදනය කළේ, කොළඹ දකුණ කොට්ඨාසයයේ අපරාධ විමර්ශන අංශය මඟින් ඊට අදාළ විමර්ශන සිදු කරන බවය.

මර්දනයෙන් පුටුව ආරක්ෂා කරගන්න පුලුවන්ද?

ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිසානායක අගෝස්තු 20 වැනිදා නුගේගොඩ පැවති ජනරැලියක් අමතමින් විමසා සිටියේ ‘මර්දනයෙන් බලය රැකගත හැකිද’ යන්නයි.

“රනිල් වික්‍රමසිංහ හිතනවා එයාගේ පැවැත්ම තියෙන්නේ මර්දනය මත කියලා. මර්දනය මත පැවැත්මක්? ඒ ඉතිහාසය අවසන් වෙලා දශක ගණනාවක් ගෙවිලා ඉවරයි. තවදුරටත් රටක් බය කරලා, භීතියට පත් කරලා, සමාජ ක්‍රියාකාරීන් මර්දනය කරලා, දේශපාලන ක්‍රියාකරීන් මර්දනය කරලා, රනිල් වික්‍රමසිංහගේ පුටුව ආරක්ෂා කරගන්න පුළුවන් ද, ඒවා ඉතිහාසය.” ඔහු අවධාරණය කළේය.

“පසුගියදා ඕගොල්ලන්ට මතක ඇති රනිල් වික්‍රමසිංහ පාර්ලිමේන්තුවේ කතාවක් පවත්වලා කිව්වා. අරගලයක් තිබුණා. අරගලයේ සාමාකාමී කට්ටිය හිටියා. අරගලයේ ත්‍රස්තවාදීන් හිටියා කියලා. අරගලයේ ත්‍රස්තවාදීන්.”

“අපිත් බලන් හිටියා රනිල් වික්‍රමසිංහ අත්අඩංගුවට ගන්න ත්‍රස්තවාදීන් කවුද කියලා. එක්කෙනෙක් පූල් එකේ නානකොට සබන් ගෑව කියලා ත්‍රස්තවාදියෙක්. තව කෙනෙක් ජනාධිපතිගේ වැසිකිලිය පාවිච්චි කළා කියලා ත්‍රස්තවාදීයෙක්. තව කෙනෙක් ජනාධිපතිගේ කොඩියේ නිදාගත්තා කියලා ත්‍රස්තවාදියෙක්, තව කෙනෙක් ෆ්‍රිජ් එකේ තිබ්බ ගස්ලබු බෑය කෑවා කියලා ත්‍රස්තවාදියෙක්. තව කෙනෙක් ජනාධිපති මන්දිරයේ තිබ්බ සල්ලි ගණන් කෙරුවා කියලා ත්‍රස්තවාදියෙක්. තව කෙනෙක් ජනාධිපති මන්දිරයට ඉස්සෙල්ලාම ඇතුල් වෙච්ච කෙනා ත්‍රස්තවාදියෙක්. රනිල් වික්‍රමසිංහ හිතනවා මේ අරගලයට මැදිහත්වුණ, ඒකට නායකත්වය දුන් කණ්ඩායම් මර්දනය කරලා එයාගේ පාලනය ගෙනියන්න පුළුවන් වේවි කියලා.” අනුර කුමාර දිසානායක එහිදී අවධාරණය කළේය.

ඔහු වැඩි දුරටත් කියා සිටියේ “18 වැනිදා අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය, සිසුන් එක්ක පෙළපාලියක් ගියා. ටවුන්හෝල් එකෙන් පටන් අරන් කොටුවේ රැස්වීමක් තියන්න. මොකද කළේ, යූනියන් පෙදෙස මඟ රැකලා හිටියා පොලිසිය. බැරියර් දාලා තිබුන්නේ නැහැ. ජනාධිපති මන්දිරයට හැරුණා නෙමේ. ජනාධිපති ලේකම් කාර්යාලයට හැරුණා නෙමේ, අගමැතිගේ ගෙදරට හැරුණා නෙමේ, පාර්ලිමේන්තුවට හැරුණා නෙමේ. ලිප්ටන් සිට කොටුවට පා ගමනක් යනවා. යූනියෙන් පෙදෙසෙන් ඒ පා ගමන මඟ රැකලා පොලිසිය විසින් පහර පිට පහර එල්ල කොට පලවා හැරියා. රනිල් නිකං මංපහරන්නෙක් වගේ නේ. මඟ රැකලා පහර දෙනවා.”

“අද අරගලයේ නියුතු තරුණ තරුණියන් අත්අඩංගුවට ගන්නවා. කවුරු සතුටු කරන්නද? රාජපක්ෂලා.” ඔහු කියා සිටියේය.

වත්මන් ආණ්ඩුව ජනතාව බිය වැද්දීමට කටයුතු කරමින් ඇති බවටද ඔහු චෝදනා කළේය.

“අන්තරේ කැඳවුම්කරු වසන්තව අත්අඩංගුවට ගත්තා. දැනට පැය 72ක් රැඳවුම් නියෝග නිකුක් කරලා තියෙනවා. සාමාන්‍ය නීතිය මොකද්ද ? ඕනෑම කෙනෙක් අත්අත්අඩංගුවට ගත්තාම පැය 48ක් යන්න මත්තෙන් අධිකරණයට ඉදිරිපත් කරලා එක්කෝ අධිකරණයෙන් ඇප මත එලියට එන්න ඕනේ. එහෙම නැත්තනම් බන්ධනාගාර ගත වෙන්න ඕනේ. හැබැයි මෙතන එහෙම නෙමෙයි සිද්ධ වුණේ, උපයෝගී කර ගත්තා ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත. ත්‍රස්තවාදය වැළක්වීමේ පනතේ නීති උපයෝගි කර ගෙන රැඳවුම් නියෝග ගහලා තියෙනවා පැය 72කට. තව ඕනේ නම් ඒ පනත අනුව තව දීර්ඝ කරන්න පුලුවන් මාස 03ක් දක්වා, දින 90ක් දක්වා. මොකද්ද මේ කරමින් තිබෙන්නේ. ජනතාව බිය වැද්දීම.” යයි හෙතෙම කියා සිටියේය.

Police use water canon and tear gas to disperse sri lankan university students during a demonstration. August 18, 2022 Colombo, Sri Lanka

කවුද ත්‍රස්තවාදියෝ කියන්නේ?

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත භාවිත කරමින් විරෝධතාකරුවන් අත්අඩංගුවට ගැනීම සහ රඳවා තබා ගැනීම සම්බන්ධයෙන් නීතියේ ආධිපත්‍ය සඳහා වූ නීතිඥයෝ සංවිධානයේ නීතිඥ චන්දන ගලප්පත්ති අදහස් පළ කළේය.

“ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ඇත්තටම භාවිත කළ යුත්තේ ත්‍රස්තවාදීන්ගෙන් ජනතාව ආරක්ෂා කරන්න. දැන් මොකද්ද රනිල් වික්‍රමසිංහ කරන්නේ ජනතාවගෙන් ත්‍රස්තවාදීන් ආරක්ෂා කිරීම සඳහා මේ නීතිය භාවිත කරන බවක් පෙනෙන්න තියෙනවා.”

ඔහු කියා සිටියේ “කවුද ත්‍රස්තවාදීන් කියන්නේ රටේ ධනය විනාශ කරන වරායවල් වලින්, ගුවන් තොටුපළවල් වලින් කුළුණු වලින් රටේ ධනය ගසා කාපු දේශපාලන තක්කඩියෝ ත්‍රස්තවාදීන්. ඒ වගේම රටේ වෙනත් ආකාරයකට සීනි බදු වංචා, සුදුළූනු වංචා වගේ දේ වලින් රටේ ධනය විනාශ කරලා, ජන ජීවිත සම්පූර්ණයෙන්ම විනාශ කරලා ත්‍රස්තවාදීන්” යනුවෙනි.

මේ අතර විපක්ෂ ක්‍රියාකාරීන්ද විමසා සිටින්නේ,ආර්ථිකයට විශාල විනාශයක් කළ හිටපු මහ බැංකු අධිපතිවරුන් වන අර්ජුන් මහේන්ද්‍රන් හා අජිත් නිවාඩ් කබ්රාල්ට මෙන්ම හිටපු මුදල් අමාත්‍යවරුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක නොකරන්නේ මන්ද යන්න පිළිබඳවයි.

එමෙන්ම මැයි 09 වැනි දින ‘ගෝඨාගෝගමට’ පහර දීම ඇතුලු ප්‍රචන්ඩ ක්‍රියා සම්බන්ධයෙන් ඊට සෘජුව වගකිව යුතු හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ ඇතුලු පිරිසට එරෙහිව විමර්ශනවල ප්‍රගතිය පිළිබඳව ද අරගලකරුවෝ ප්‍රශ්න කර සිටිති.

අමෙරිකානු කොංග්‍රස් සභිකයින් 10 දෙනෙකුගෙන් රාජ්‍ය ලේකම්ට ලිපියක්…

විරෝධතා දැක්වීමට ශ්‍රී ලංකාවේ වැසියන්ට ඇති අයිතිය ආරක්ෂා කිරීම‌ට සියලුම රාජ්‍යතාන්ත්‍රික මාධ්‍යයන් භාවිතා කරන ලෙස අමෙරිකානු කොංග්‍රස් සභිකයින් පිරිසක් එරට රාජ්‍ය ලේකම්වරයා වෙත ලිපියක් යොමු කරමින් ඉල්ලා ඇත.

සාමකාමී පෙළපාලිකරුවන්ට සහ මාධ්‍යවේදීන්ට එරෙහිව ප්‍රචණ්ඩත්වය භාවිතා නොකිරීමට සහ විරෝධතා දැක්වීමට පුරවැසියන්ට ඇති අයිතිය ශ්‍රී ලංකා රජය ආරක්ෂා කිරීම, සහතික කිරීම සඳහා පවතින සියලුම රාජ්‍යතාන්ත්‍රික මාධ්‍යයන් භාවිතා කරන ලෙස අමෙරිකානු කොංග්‍රස් සභිකයින් 10 දෙනෙකු අමෙරිකානු රාජ්‍ය ලේකම්වරයාගෙන් ඉල්ලා තිබේ.

අමෙරිකානු රාජ්‍ය ලේකම් ඇන්ටනි බ්ලින්කන් සහ USAID පරිපාලක සමන්තා පවර් වෙත යොමු කරන ලද ලිපියකින් කොංග්‍රස් සභිකයින් ඉල්ලා සිටින්නේ ශ්‍රී ලංකාවට අවශ්‍ය අවස්ථාවන්හිදී අර්ථවත් සහයක් ලබා දෙන ලෙසය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ හදිසි නීතිය ප්‍රකාශයට පත් කිරීම, ඇඳිරි නීතිය පැනවීම, විරෝධතා හෙළා දකිමින් ඒවා මැඩපැවැත්වීම සඳහා ජීව උණ්ඩ පවා භාවිතා කරන ලෙස යෝජනා කළ බව පෙන්වා දුන් කොංග්‍රස් සභිකයන් පවසන්නේ සාමකාමී පෙළපාලිකරුවන්ට සහ මාධ්‍යවේදීන්ට එරෙහිව ප්‍රචණ්ඩත්වය යොදා නොගත යුතු අතර දුක්විඳින පුරවැසියන්ට සාමකාමීව විරෝධතා දැක්වීමට ඇති අයිතිය ශ්‍රී ලංකා රජය ආරක්ෂා කිරීම සහතික කිරීම සඳහා රාජ්‍ය තාන්ත්‍රික ක්‍රම තිබෙන බව ය.

මේ අතර එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් ආරක්ෂකයින් සම්බන්ධ විශේෂ වාර්තාකාරිනී මේරි ලෝලර් ඊයේ දින ට්වුටර් පණිවිඩයක් නිකුත් කරමින් මෙසේ කියා සිටියාය.

“මානව හිමිකම් ආරක්ෂකයෙකු වන වසන්ත මුදලිගේ, හෂාන් ජීවන්ත සහ ගල්වැව සිරිදම්ම හිමි ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගැනීම ගැන මම දැඩි කනස්සල්ලට පත්ව සිටිමි. ඔවුන්ගේ රැඳවුම් නියෝගයට අත්සන් නොකරන ලෙස මම ජනාධිපති රනිල්ගෙන් ඉල්ලා සිටිමි, එසේ කළොත් එය ශ්‍රී ලංකාවට අඳුරු දිනයක් වනු ඇත”

ජාත්‍යන්තර නීතියට පටහැනියි…

අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ ත්‍රස්වාදය වැළැක්වීමේ පනත යටතේ රඳවා තබා ගැනීම පිළිබඳ ජාත්‍යන්තර ක්ෂමා සංවිධානයද දැඩි කනස්සල්ලට පළ කළේය.

ජාත්‍යන්තර ක්ෂමා සංවිධානය අවධාරණය කළේ, විරෝධතාකරුවන්ට එරෙහිව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත (PTA) භාවිතා නොකරන ලෙස ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලා සිටින බවයි.

එමෙන්ම ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කිරීමට රජය කටයුතු කළ යුතු බවද ජාත්‍යන්තර ක්ෂමා සංවිධානය සඳහන් කර සිටියේය.

විරෝධතාකරුවන් අත්තනෝමතික ලෙස රඳවා තබා ගැනීම සහ ත්‍රස්තවාදය සම්බන්ධ චෝදනා වැනි යුක්ති සහගත නොවන, බරපතල අපරාධ වැරදි සම්බන්ධයෙන් ඔවුන්ට චෝදනා කිරීම ජාත්‍යන්තර නීතියට පටහැනි බවද එම සංවිධානය අවධාරණය කළේය.

මේ අතර විරෝධතාකරුවන් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවා තබා ගැනීම සම්බන්ධයෙන් අදහස් පළ කළ නීතිඥ සුනිල් වටගල “අපි කියනවා මේ ආණ්ඩුවට අපි මේකට බය නැහැ. නීතිඥ ප්‍රජාව හැටියට මේකෙ තියෙන අනීතික බව ශ්‍රේෂ්ඨාධිකරණයට ගිහිල්ලා ඔප්පු කරලා පෙන්නනවා. ඒ විතරක් නෙමේ අපි කියනවා මේ ආණ්ඩුවට දැනට මුදලිගෙට අරගෙන තියෙන රැඳවුම් නියෝගය පැය 72යි. දැන් ආණ්ඩුව උත්සහ කරන්නේ ආරක්ෂක ලේකම්ගේ අත්සන අරගෙන දින 90ට මේක දීර්ඝ කරන්න. අපි කියනවා එහෙම කළොත් එක ඉතාම භයානක අඩියකට පත් වෙයි” යැයි කියා සිටියේය.

“ජාත්‍යන්තරය කියනකම් ඉන්නෙපා මේ රටේ නීතිය බලය රකින්න. ජාත්‍යන්තරය කියනකං ඉන්න එපා මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය රකින්න. නීතියේ රාමුව ඇතුළේ කටයුතු කිරීම තමයි මේ වෙලාවේ මේ ආණ්ඩුවට ගොඩ යන්න තියෙන එකම මඟ” ඔහු වැඩි දුරටත් අවධාරණය කළේය.

මේ අතර ඊයේ (අගෝස්තු 21) කොළඹදී සිවිල් සංවිධාන, මානව හිමිකම් ක්‍රියාකාරීන්, වෘත්තය සමිති හා විශ්ව විද්‍යාල ආචාර්යවරුන් විසින් දිගින් දිගටම කෙරෙන මෙම අත්අඩංගුවට ගැනීම් සහ රඳවා තබා ගැනීම් අත්තොනෝමතික බවට පවසමින් මාධ්‍ය හමුවක් කැඳවා තිබු අතර කොළඹ කොටුවේදීද, උතුරු නැගෙනහිර එකාබද්ධ කම්ටුව විසින් මන්නාරමේදීද ත්‍රස්තවාදය වැළක්වීමේ පනත යොදා ගනිමින් අරගලකරුවන් අත්අඩංගුවට ගැනීමට එරෙහිව විරෝධතා සංවිධානය කොට තිබුණි.

© BBC සිංහල වෙබ් අඩවියෙන් උපුටා පල කරන ලදී

About The Author