Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

අගමැති රනිල් ජනපතිධුරයට : නීතිපති මතය අග්‍රාමාත්‍ය ලේකම්වරයා වෙත යොමු කරයි

ලබන 13 වනදා ගෝඨාභය රාජපක්ෂ සිය ජනපති තනතුරින් ඉවත්වීමෙන් පසු අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපතිධුරයට ලෙස ඉබේම පත්වන බවත් පාර්ලිමේන්තුව මගින් ව්‍යවස්ථානුකූලව නව ජනාධිපතිවරයකු තෝරා පත් කර ගන්නා තුරු අග්‍රාමාත්‍යවරයා ජනපති තනතුරේ රැදී සිටිනු ඇති බවටත් වාර්තා වනවා.

අනතුරුව පාර්ලිමේන්තුව මගින් කතානායකවරයා විසින් ජනපති හා අගමැති තෝරාගන්නා අතර එම ක්‍රමය සම්බන්ධ පක්ෂ නායක එකඟතාව අද පස්වරුවේ හිමිව තිබෙනවා.

ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති ධූරයෙන් ඉවත් වන බව මේ වන විට ප්‍රකාශ කර ඇති නමුත් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සිය ධුරයෙන් ඉවත්වන බව මෙතෙක් නිලවශයෙන් ප්‍රකාශ කර නැහැ.

ඒ අනුව ඔහු ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 40 වන වගන්තිය අනුව වැඩ බලන ජනාධිපතිවරයා ලෙස නිතැතින්ම පත් වීමට නියමිතයි.

අද 11 පස්වරු 2 ට පැවති පක්ෂ නායක හමුවේදී ද අගමැති ඉල්ලා අස්නොවීම ගැන විශාල මත ගැටුමක් නිර්මාණය වී ඇති අතර එහිදී නීතිපතිවරයාගේ මතය විමසීමට පියවර ගෙන ඇති බව සඳහන්.

අදාළ කාරණය සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය ලේකම්වරයා නීතිපතිවරයාගෙන්  කළ විමසීමකට අනුව  දන්වන ලද නීතිපති මතය මෙසේය.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙි 38(1)ව්‍යවස්ථාව අනුව  ජනාධිපතිවරයා මියගියහොත්, කතානායකවරයා වෙත තමාගේ අත්සනින් යවනු ලබන ලිපියකින් ජනාධිපතිවරයා තම ධුරයෙන් අස් වුවහොත් ,ජනාධිපතිවරයා ශ්‍රී ලංකාවේ පුරවැසියකු ව සිටීම නතර වුවහොත් ජනාධිපති ධුරය හිස් වෙයි. එසේම ජනාධිපති ධුරයේ හිස් වන තවත් අවස්ථා තුනක් ද එම අනු ව්‍යවස්ථාව  යටතේ දැක්වේ.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 40 වන ව්‍යවස්ථාවේ හිස් වූ ජනාධිපති ධුරය අනුප්‍රාප්තික ජනාධිපතිවරයෙක් පත් කරගන්නා ආකාරය සඳහන් කර ඇත.

ජනාධිපතිවරයාගේ ධුර කාලය අවසන් වීමට ප්‍රථම ජනාධිපති ධූරය හිස් වුවහොත් පාර්ලිමේන්තුව විසින් එහි මන්ත්‍රීවරුන් අතරින් ජනාධිපති ධුරයට තෝරා පත් කර ගැනීමට සුදුසුකම් ඇති යම් මන්ත්‍රීවරයෙක් ජනාධිපතිවරයා ලෙස තෝරා පත් කළ යුතුය. එසේ පත්වන  ජනාධිපතිවරයා ධුර කාලයෙන් ඉතිරි කාලය සඳහා පමණක් ධුරය දැරිය යුතුය.එම තෝරා ගැනීම ජනාධිපති ධුරය හිස් වී මාසයකි ගතවීමට ප්‍රථම සිදුකළ යුතුය. ඒ සඳහා රහස් ඡන්දයක් පවත්වා වැඩි ඡන්දයෙන් තෝරා පත් කළ යුතුය.

ජනාධිපති ධුරය පුරප්පාඩු වූ දා සිට නව ජනාධිපතිවරයකු පත් වන තාක් අතරතුර වූ කාලය තුළ අග්‍රාමාත්‍යවරයා ජනාධිපති ධුරයේ වැඩ බලනු ඇත. පත්වූ නව ජනාධිපතිවරයා එවිට අමාත්‍ය මණ්ඩලයේ අමාත්‍යවරයකු වන කෙනෙකු අග්‍රාමාත්‍ය ධුරයට පත් කළ යුතුය.

මෙම කාරණයේදී 1981 අංක 2 දරන ජනාධිපතිවරයා තෝරාපත් කර ගැනීමේ විශේෂ විධි විධාන පනත ද අදාළ වන බව නීතිපතිවරයා විසින් පෙන්වා දී ඇත. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙ 38(1) අනු ව්‍යවස්ථාව අනුව ජනාධිපති ධූරය හිස් වූ වහාම ජනාධිපතිවරණ පනතේ තෙවන වන වගන්තිය ක්‍රියාත්මක වෙි. ඒ අනුව ජනාධිපති ධූරය හිස් වූ පසු දින තුනක් ඇතුළත පාර්ලිමේන්තු මහලේකම්වරයා විසින් පාර්ලිමේන්තුව රැස් කළ යුතුය.
එසේ පාර්ලිමේන්තුව රැස්වූ විට දී ජනාධිපති ධුරයේ පුරප්පාඩුවක් ඇති වී තිබෙන බව මහලේකම්වරයා විසින් පාර්ලිමේන්තුවට දන්වා සිටිය යුතුය. ඒ රැස්වීම් දිනයේ සිට පැය 48කට කලින් නොවන්නාවූ සහ දින හතකට පසු නොවන්නා වූ දිනයක තමා විසින් නාමයෝජනා බාර ගනු ලබන දිනයක් හා වේලාවක් නියම කළ යුතුය.

එසේම මෙම  කාරණයේ දී ජනාධිපතිවරයකු තෝරා පත් කර ගැනීම යන අංක 7 දරණ පාර්ලිමේන්තු ස්ථාවර  නියෝගයටද නීතිපතිවරයා විසින් අවධානය යොමුකරයි. 

ඒ අනුව අගමැති තනතුරේ 06 වතාවක් විවිධ අයුරින් කටයුතු කරමින් වාර්තාවක් තබා ඇති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති ධුරය දරමින් ශ්‍රී ලංකාවේ පමණක් නොව ලෝක දේශපාලනයේ ද නව වාර්තාවක් පිහිටුවීමට බොහෝ දුරට ඉඩකඩ ඇති බවයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරනවා.

About The Author