Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

Uber භාවිත කරමින් ගමන් යන භාණ්ඩ ඇණවුම් කරන ඔබ අනිවාර්යෙන්ම කියවන්න

පැමිණිලි, වංචා, පහරදීම් මැද ‘ගමනේ යන’ ශ්‍රී ලංකාවේ Uber අත්දැකීම් සහ ප්‍රතිචාර

Uber Sri Lanka
ඡායාරූප ශීර්ෂ වැකිය,ඌබර් ඊට්ස් හරහා ආහාර බෙදා හැරීම් සිදු කරන අතර, අවන්හල සහ පාරිභෝගිකයා අතර අතරමැදි සේවාවක් ලෙස ඌබර් ක්‍රියාත්මක වේ

‘Uber Eats’ (ඌබර් ඊට්ස්) සහ ඌබර් කුලී රථ රියදුරන් කීපදෙනෙක් මගීන්ට සිදු කළ විවිධ වංචා, පහරදීම්, බැනවැදීම් මෙන්ම ඒ සම්බන්ධයෙන් අදාළ සමාගමේ ප්‍රතිචාරය ගැන බීබීසී සිංහල සේවය විමසීමක් කළේය.

මෙම බොහෝ සිද්ධීන්වලට රියදුරන් සෘජුව සම්බන්ධ අතර, අදාළ මගීන්ගේ පැමිණිලිවලට ප්‍රතිචාර දැක්වීමට ඌබර් සමාගම බොහෝ කාලයක් ලබා ගන්නා බවට ද චෝදනා එල්ල වේ.

වංචා හේතුවෙන් අහිමි වූ මුදල් නැවත ලබා ගැනීම ද කල් ගතවන ඉතා අපහසු ක්‍රියාවලියක් බව පුද්ගලයන් කීපදෙනෙක්ම සිය අත්දැකීම් හෙළිකරමින් පැවසූහ.

“ඌබර් ඊට්ස් සහ සහ කුලී රථ යන දෙකම සම්බන්ධයෙන් මට ඉතා නරක අත්දැකීම් තිබෙනවා. එක දවසක් මම ඌබර් ඊට්ස් හරහා ඕඩර් කරපු කෑම පරක්කු නිසා රියදුරුට ඇමතුමක් ගත්තා. ඔහු කියනවා මම ඉන්න තැනට ඇවිත් ඉන්නේ කියලා. නමුත් ඇප් එකේ පෙන්වන්නේ ඔහු ටිකක් එහායින් ඉන්නේ කියලා,” ශානි සිය අත්දැකීම් හෙළි කරමින් පැවසීය.

මම හරි තැන ගැන දිගටම කියද්දී ඒක අහන්නේ නැතුව ඔහු මාව සොයාගන්න බැහැ කියලා ඉතා උස හඬින් පරුෂ වචනෙන් බැන්නා. ඔහු වැරදි ස්ථානයක ඉන්නේ කියලා පිළිගන්න එක ප්‍රතික්ෂේප කළා. අවසානයේ මට වුණේ ඕඩර් කරපු කෑම පවා නැති වුණ එකයි.”

මේවා ‘සුළු සිද්ධීන්’ ලෙස බොහෝ දෙනෙකු සැලකුව ද ශානිට සහ ඇය දන්නා තවත් බොහෝ දෙනෙකුට මේ හා සමාන අත්දැකීම් ගණනාවකට මුහුණ දීමට සිදු වූ බව ඇය පැවසුවාය.

නම හෙළි කිරීමට අකමැති තවත් පුද්ගලයෙකු පැවසුවේ ඌබර් ත්‍රී රෝද රථ රියදුරෙකු තමන්ට පරුෂ වචනයෙන් බැනවදිමින් පහර දීමට උත්සහ කළ බවය.

ඌබර් රියදුරන් මගීන්ට පහර දීමේ බරපතල සිද්ධි දෙකක් 2019 සහ 2020 වසරවල දී වාර්තා විය. ඉන් එක් සිදුවීමක දී රියදුරු මගියාගේ හිසට පහර දී ඔහු පාරට ඇද දමා පළා ගොස් තිබිණි. මේ සම්බන්ධයෙන් අදාළ පුද්ගලයා පොලීසියට පැමිණිලි කළ අතර, ඌබර් රියදුරන් ගැන සමාජ මාධ්‍ය ජාල ඔස්සේ විශාල කතිකාවක් ඇති විය.

අනෙක් සිද්ධියේ දී ක්‍රෙඩිට් කාඩ් ගෙවීමකට අකමැතිවීමේ හේතුව මත ඌබර් රියදුරෙකු මගීන් දෙදෙනෙකුට පිහි පහර එල්ල කිරීමට තැත් කර තිබිණි.

Uber Sri Lanka
ඡායාරූප ශීර්ෂ වැකිය,ලොව වටා මිලියන 4කට වැඩි රියදුරන් පිරිසක් ඌබර් හා සම්බන්ධ වී ඇති අතර, බොහෝ දෙනෙකුට මෙය අමතර ආදායම් මාර්ගයකි

බීබීසී සිංහල සේවයට අදහස් දැක්වූ බොහෝ දෙනෙකු පැවසුවේ විවිධ සිද්ධීන් සම්බන්ධයෙන් ඌබර් ආයතනයට පැමිණිලි කිරීම ‘ඵල රහිත’ ක්‍රියාවක් බවය. මෙයට ප්‍රධානතම හේතුව වී ඇත්තේ ඌබර් සමාගමේ පැමිණිලි විමර්ශන අංශයක් ශ්‍රී ලංකාව තුළ නොමැති වීම බව ඔවුහු තවදුරටත් පැවසූහ.

“දවසක් මම ගිය ඌබර් කුලී රථ ගමනට සම්පූර්ණයෙන් ගෙව්වා, නමුත් රියදුරා ඒ ගැන ඇප් එකේ අප්ඩේට් කරලා නැහැ. ඒකෙන් සිද්ධ වුණේ පෙර ගමන් ගාස්තුව සම්පූර්ණයෙන් නොගෙවා මට නව ගමනක් යන්න බැරි වුණ එක. මම මේ සම්බන්ධයෙන් ඌබර් ආයතනයට කීපවරක් පැමිණිලි කළා. දැන් මාස තුනකට වැඩි කාලයක් ගතවෙලා තවමත් මට පිළිතුරක් ලැබුණේ නැහැ,” දෙහිවල ප්‍රදේශයේ කාන්තාවක බීබීසී සිංහල සේවයට පැවසීය.

මොකක් ද මේ ඌබර්?

2009 වසරේ ඇමරිකාවේ සැන් ෆ්‍රැන්සිස්කෝවෙන් ආරම්භ වූ ‘ඌබර් ටෙක්නොලොජීස්’ සමාගම මේ වන විට ලොව පුරා රටවල් 71ක 900කට ආසන්න නගරවල සිය සේවාවන් ක්‍රියාත්මක කරයි. කුලී රථ සේවා, පාර්සල් බෙදා හැරීම, ආහාර බෙදා හැරීම, භාණ්ඩ ප්‍රවාහනය, විද්‍යුත් බයිසිකල් සහ යතුරුපැදි කුලියට දීම වැනි දේ මෙම ආයතනයෙන් සිදු කෙරේ.

අදාළ ඌබර් යෙදවුම (app) සිය ස්මාර්ට් ජංගම දුරකථනයට බාගත කරගත් පසු තමන්ට අවශ්‍ය සේවා ඒ හරහා ඇණවුම් කළ හැකිය.

ඌබර් ඊට්ස් හරහා ආහාර බෙදා හැරීම් සිදු කරන අතර, අවන්හල සහ පාරිභෝගිකයා අතර අතරමැදි සේවාවක් ලෙස ඌබර් ක්‍රියාත්මක වේ.

මෙම සේවාවන් සඳහා රියදුරෙකු ලෙස සුදුසුකම් ඇති ‘ඕනෑම පුද්ගලයෙකුට’ සම්බන්ධ විය හැකි බව ඌබර් ආයතනය පවසයි. මේ වන විට ලොව වටා මිලියන 4කට වැඩි රියදුරන් පිරිසක් ඌබර් හා සම්බන්ධ වී ඇති අතර, බොහෝ දෙනෙකුට මෙය අමතර ආදායම් මාර්ගයකි.

Uber London
ඡායාරූප ශීර්ෂ වැකිය,ලන්ඩන් නගරය තුළ ඌබර් මගී බෝට්ටු සේවාවක් ද ක්‍රියාත්මක වේ

සිය ජීව දත්ත සහ අදාළ ලිපි ලේඛන අන්තර්ජාලය ඔස්සේ ඌබර් සමාගම වෙත ලබා දීමෙන් පසු ඔවුන්ගේ ඇප් එක සිය ස්මාර්ට් ජංගම දුරකතනයට බාගත කරගැනීමට අවසර ලැබෙනු ඇත. මෙය රියදුරන් සඳහා වන ඇප් එක වන අතර, එය මෙහෙයවීම සම්බන්ධයෙන් අන්තර්ජාලය ඔස්සේ කෙටි පුහුණුවක් ලබා දෙනු ලැබේ.

ඊට අමතරව අදාළ රියදුරා සහ ඌබර් සමාගම අතර ස්ථීර රැකියා ගිවිසුමක් ක්‍රියාත්මක වන්නේ නැත.

“මම ස්වයං ව්‍යාපාරයක නිරත වන පුද්ගලයෙක්. හැබැයි වැඩ නැති වෙලාවට මගේ වාහනයෙන් ඌබර් දුවනවා . ඒකෙන් මම අමතර ආදායමක් සොයා ගන්නවා. මේ දේ වගකීමෙන්, වෘත්තීමය විදිහට සිද්ධ කරනවා නම් ඉතා හොඳ ආදායම් මාර්ගයක්. නමුත් සමහර අවස්ථාවල දී නොමනා විදිහට හැසිරෙන රියදුරන් වගේම පාරිභෝගිකයන් නිසා අපිටත් ප්‍රශ්න වැටෙනවා,” කොළඹ දිවිගෙවන සිය නම හෙළි කිරීමට අකමැති වූ තරුණයෙකු පැවසීය.

2015 වසරේ දී ඌබර් ශ්‍රී ලංකාව තුළ ද සිය ව්‍යාපාර කටයුතු ආරම්භ කළ අතර, 2021 වන විට රියදුරන් 110,000ක් එම ආයතනයට සම්බන්ධ වී ඇත. එමෙන්ම, ශ්‍රී ලංකාව තුළ පාරිභෝගිකයන් මිලියන දෙකකට ආසන්න ප්‍රමාණයක් ගමන් වාර මිලියන 53ක් පමණ ඌබර් කුලී රථ හරහා සිදු කර ඇත.

‘ආහාර සොරකම්’

“මගේ රෙස්ටුරන්ට් එකෙන් හදපු ආහාර වගයක් පාරිභෝගිකයෙකුට යවන්න මට ඌබර් සේවාව ලබා ගන්න සිද්ධ වුණා. රියදුරා ගැනවත් වාහනේ ගැනවත් ලොකු අවධානයක් දෙන්න මට බැරි වුණා. ඉක්මනට ඇණවුම මගේ පාරිභෝගිකයන්ට යවා ගන්න මට ඕනේ වුණේ,” කොළඹ ආපනශාලාවක් හිමි පුද්ගලයෙකු සිය අත්දැකීම් හෙළි කරමින් පැවසීය.

රියදුරා කෑම ඇණවුම 7 වෙද්දී අදාළ තැනට ඩිලිවර් කරනවා කියලා ඌබර් ඇප් එකේ පෙන්නුවා. හැබැයි ඊට හුඟක් කලින් ඔහු ගමන සම්පූර්ණ කළා කියලා පෙන්නුවා. මගේ පාරිභෝගිකයාට ඇණවුම ලැබිලත් නැහැ. ඇප් එකේ රියදුරාගේ ගමන් මාර්ගය බැලුවාම ඒක මඟින් නතර වෙලා. ඇප් එක හරහා ඔහුව සම්බන්ධ කර ගන්න හෝ දුරකථන අංකයක් තිබුණේ නැහැ.

Uber app

මනුස්සයෙකුට යවන කෑම ටික පවා මේ විදිහට සොරකම් කරන එක ගැන තියෙන්නේ පුදුම කලකිරීමක්. ඒ මදිවට හැම අතින්ම පාඩු සිද්ධ වෙනවා. මේ වගේ සිද්ධි තව කීපයක් වුණා ඌබර් රියදුරන් එක්ක. ඌබර් කියන්නේ ජාත්‍යන්තර ආයතනයක්. රියදුරන් බඳවා ගනිද්දී අඩුම තරමේ වෘත්තීමය හැසිරීම ගැනවත් පුහුණුවක් දෙන්න බැරි ද?” යැයි ඔහු පැවසුවේය.

ඌබර් ඊට්ස් රියදුරන් ආහාර ඇණවුම ද සමග ගමන අතරමග දී ‘අතුරුදහන්’ වීම හා සම්බන්ධ තවත් සිද්ධීන් කීපයක් ගැන විස්තර පසුගිය දා සමාජ මාධ්‍ය ජාලවල සංසරණය විය. ඉන් එක් සිදුවීමක දී රියදුරු ඇණවුම බාර ගැනීමට පැමිණ තිබුණේ ඌබර් ඇප් එකේ ලියාපදිංචි කර ඇති වාහනයට වෙනස් අංකයක් ඇති වාහනයකිනි. ඒ හේතුවෙන් ආහාර ඇණවුම් සමග මග දී අතුරුදහන් වූ රියැදුරාව නිශ්චිතව හඳුනාගැනීමට නොහැකි වී තිබිණි.

ලිංගික අතවර තර්ජන

ඌබර් සේවය භාවිත කළ කාන්තාවන් කීපදෙනෙකුට එම රියදුරන්ගේ ලිංගික අතවර තර්ජනවලට මුහුණ පෑමට ද සිදු වූ බව දැනගැනීමට ලැබිණි.

“මම ගිය ඌබර් කැබ් එකේ රියදුරු ගමන ඉවර වෙනකම් මගෙන් අනවශ්‍ය ප්‍රශ්න ඇහුවා. ඊට පස්සේ මට දිගටම මැසේජ් කරන්න ගත්තා. ඒවා ලිංගික දර්ශන, වචන ඇතුළත් මැසේජස්. මම මේ පුද්ගලයා ගැන ඌබර් සමාගමට පැමිණිලි කළා. ඒ අය ඔහු ගැන පරීක්ෂණයක් පවත්වන්නම් කිව්වා. හැබැයි ඊට පස්සේ කිසි උත්තරයක් නැහැ,” නම හෙළි කිරීමට අකමැති වූ කාන්තාවක පැවසීය.

Uber Sri Lanka

තවත් රියදුරෙකු එක්තරා කාන්තාවක් ලිංගික අතවරයකට ලක් කරන බවට තර්ජනය කරමින් කෙටි පණිවිඩ යවා තිබිණි. එම පණිවිඩවල ‘ස්ක්‍රීන්ෂොට්’ ද සමගින් අදාළ කාන්තාව එම සිද්ධිය සමාජ මාධ්‍ය ජාල ඔස්සේ ප්‍රසිද්ධ කර තිබිණි.

ඌබර් සමාගම එම සිද්ධියට ප්‍රතිචාර දක්වමින් අදාළ රියදුරාව ‘තාවකාලික වැඩ තහනමකට’ යටත් කළ බව දන්වා තිබිණි.

‘කලහකාරී’ මගීන්

රියදුරන් මෙන්ම ඇතැම් මගීන් ද ඉතා කලහකාරී ලෙස හැසිරෙන බව ඌබර් ත්‍රී වීලර් රථ රියදුරෙකු පැවසීය.

“ෆේස්බුක්වල හැම වෙලාවේම කතා වෙන්නේ රියදුරන් අතින් වෙන වැරදි. ඒවා ගොඩක් ලියවෙන්නේ ඉංග්‍රීසියෙන්. ඒ මිනිස්සු ලියලා, කියලා අපේ රස්සා පවා නැති කරනවා. නමුත් අපිටත් සෑහෙන වැරදි සිද්ධ වෙනවා මගීන්ගෙන්. සමහරු හේතුවක් නැතුවම අපිට කුණුහරුපෙන් බැනගෙන තමයි බැහැලා යන්නේ,” ප්‍රසන්න නම් රියදුරකු පැවසීය.

ඌබර් ආයතනය පවසන්නේ කුමක් ද?

ඌබර් කුලී රථ සේවා සහ සේවකයන් සම්බන්ධයෙන් සෘජුව පැමිණිලි ඉදිරිපත් කිරීමට දුරකථන අංකයක් හෝ ශාඛාවක් ශ්‍රී ලංකාව තුළ පිහිටුවා නොමැති අතර, ආයතනයේ අදාළ විමර්ශන අංශය පිහිටා ඇත්තේ ඉන්දියාවේය. මේ හේතුවෙන්, බොහෝ විට පැමිණිලි විමර්ශනය නොකෙරෙන තත්ත්වයක් දක්නට ඇති අතර, ඉංග්‍රීසි භාෂාව නොදන්නා අයෙකුට පැමිණිලි ලිඛිතව යැවීමට නොහැකි වී තිබේ.

ඌබර් ඊට්ස් සහ රියදුරන් වෙනුවෙන් දුරකථන අංකයක් පළ කර තිබුණ ද ඌබර් කුලී රථ රියදුරන් සම්බන්ධයෙන් පැමිණිලි ඉදිරිපත් කළ හැකි වන්නේ ඇප් එක හරහා පමණි.

මෙම පැමිණිලි සඳහා බොහෝ විට එකම ආකාරයේ ‘රොබෝ පිළිතුරු’ ලැබෙන බව බොහෝ දෙනෙක් පැවසූහ.

සමාජ මාධ්‍ය ජාලවල ‘ඌබර් විරෝධී සංගම්’ ලෙස නම් කළ පිටු ගණනාවක් දක්නට ලැබෙන අතර, ඌබර් ශ්‍රී ලංකාව තුළ තහනම් කළ යුතු යැයි විවිධ පිරිස් ඉල්ලීම් කර තිබිණි.

කෙසේනමුත්, ශ්‍රී ලංකාවෙන් ලැබුණු පැමිණිලිවලට නිසි ප්‍රතිචාර දක්වා අදාළ විමර්ශන කටයුතු සිදු කළ බව අප කළ විමසුමක දී ඌබර් සමාගම පැවසීය.

Uber headquaters
ඡායාරූප ශීර්ෂ වැකිය,ඇමරිකාවේ සැන් ෆ්‍රැන්සිස්කෝවේ පිහිටා ඇති ඌබර් මූලස්ථානය

ශ්‍රී ලංකාවේ සමාජ මාධ්‍ය ජාල ඔස්සේ පළවන විරෝධයට ප්‍රතිචාර දක්වමින් ඌබර් සමාගම පසුගිය වසරේ දී කොළඹ දී මාධ්‍ය හමුවක් පැවැත්වීය. මගීන්ගේ සහ රියදුරන්ගේ ආරක්ෂාව වෙනුවෙන් නව පියවර කීපයක් හඳුන්වා දීමට සමාගම ක්‍රියා කරන බව එහි දී පැවසීය.

මෙම නව පියවර ඔවුන්ගේ වෙබ් අඩවිය ඔස්සේ ශ්‍රී ලාංකිකයන්ට හඳුන්වා දී තිබිණි.

Uber Safety Helpline: කුලී රථ ගමනක දී තවත් මගියෙකුගේ අයහපත් හැසිරීම වාර්තා කිරීමට, රියදුරකු සමග ආරවුලක් හෝ වාහනය බිඳවැටීමක් ගැන වාර්තා කළ හැකි බොත්තමක් ඇප් එකට එක් කර ඇත. එයින් වහාම ඌබර් ආයතනයේ ප්‍රතිචාර කණ්ඩායම සමඟ සම්බන්ධ විය හැකි අතර, ආරක්ෂාව ගැන විශේෂඥ සේවාවක් 24 × 7 පුරා ලබා ගත හැකි බව වෙබ් අඩවියේ සඳහන් වේ.

මීට අමතරව ගමන පිළිබඳ දත්ත සටහන් වන ‘RideCheck’ සහ PIN Verification යන අංග ද ශ්‍රී ලංකාවට හඳුන්වා දී ඇතැයි ඌබර් වෙබ් අඩවියේ සඳහන් වේ.

‘PIN Verification’ යනු තමන් කැටුව යාමට පැමිණියේ තෝරා ගත් මෝටර් රථයමද යන්න සහතික කර ගැනීම සඳහා භාවිත කළ හැකි ආරක්ෂිත යෙදුමකි. මෙහි දී මගියාට ඉලක්කම් 4 කින් යුත් ආරක්ෂිත යෙදුමක් ලැබෙන අතර එය අදාළ රියදුරුට වාචිකව පැවසිය යුතුය. ඉන් පසු රියදුරුට සිය ගමන ආරම්භ කළ හැකි වන්නේ නිවැරදිව මෙම යෙදුම සිය ඌබර් ඇප් එකට ඇතුළත් කළහොත් පමණි.

මේ සියලු අංග ඉදිරියේ දී වැඩි දියුණු කිරීමට අපේක්ෂා කරන බව ඌබර් සමාගම සිය වෙබ් අඩවියේ තවදුරටත් සඳහන් කර තිබිණි.

මීට අමතරව මගියෙකුට සිය ආරක්ෂාව වෙනුවෙන් අනුගමනය කළ හැකි තවත් පියවර කීපයක් ඌබර් සමාගම ප්‍රකාශ කර තිබිණි.

  • වාහනය ඔබ කැටුව යාමට පැමිණීමත් සමග ඇප් එකේ පෙන්වා ඇති වාහන බලපත්‍ර අංකය, රියදුරුගේ නම සහ ඡායාරූපය දෙවරක් පරීක්ෂා කර බැලීම.
  • ඇප් එකේ සඳහන් රියදුරුගේ ශ්‍රේණිගත කිරීම සහ විස්තර කියවා, ඒ සියල්ල ඔබ ඉදිරියට පැමිණ සිටින රියදුරු සමග ගැලපෙන්නේදැයි සොයා බැලීම.
  • ඇප් එකේ සටහන් වන ගමනාන්ත වේලාව සහ නිශ්චිත ගමන් මාර්ගය ගැන සිය මිතුරන් හෝ පවුලේ අය දැනුවත් කිරීම.
  • ගමන අවසන් වූ පසු දෙපාර්ශවයම සිය අදහස් ඇප් එකේ අදාළ කොටසේ සටහන් කිරීම යම් ගැටලුවක් විසඳීමේ දී ප්‍රයෝජනවත් විය හැකිය.

‘ඌබර් අධිකරණයට’

ලන්ඩන් නුවර ඌබර් රියදුරන් කීපදෙනෙකු සමාගමට එරෙහිව 2016 සිට නඩු පවරා තිබූ අතර, 2021 පෙබරවාරි මාසයේ දී ශ්‍රේෂ්ඨාධිකරණය සිය තීන්දුව ප්‍රකාශයට පත් කළේය.

Uber London
ඡායාරූප ශීර්ෂ වැකිය,නඩුවේ පැමිණිලි පාර්ශවය – හිටපු ඌබර් රියදුරන් වන ජේම්ස් සහ ෆරාර් සහ යසීන් අස්ලාම්

ඌබර් රියදුරන් ස්වයං රැකියාවක නිරත වන්නන් ලෙස නොව ‘කම්කරුවන්’ සේ සලකන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දුව ප්‍රකාශ කරමින් පැවසීය. ඒ අනුව, තම රියදුරන්ට එක්සත් රාජධානියේ කම්කරු නීතිවලට අනුව අවම වැටුපක්, නිවාඩු වැටුප් සහ විශ්‍රාම වැටුප් ලබා දීමට ඌබර් සමාගමට සිදු වී ඇත.

ඊට අමතරව ඔවුන්ට අවම රැකියා අයිතිවාසිකම් ද හිමි වනු ඇත.

ප්‍රංශයේ ඉහළම අධිකරණයෙන් ද මේ හා සමාන නඩු තීන්දුවක් ලබා දී ඇති අතර, ජර්මනිය, එක්සත් ජනපදය ඇතුළු රටවල් කීපයක ඌබර් සමාගමට එරෙහිව නඩු කීපයක් විභාග වෙමින් පවතී.

මේ අතර, 2017 සහ 2018 වසරවල දී එක්සත් ජනපදය තුළ පමණක් ඌබර් රියදුරන් සිදු කළ ලිංගික අතවර 6000ක් වාර්තා වූ බව ඌබර් සමාගම වාර්තා කර තිබිණි.

කෙසේනමුත්, ලොව පුරා සිදුවන බිලියන ගණනක් ඌබර් ගමන්වාර අතරින් 99.9%ක් ආරක්ෂිතව සිදුවන බව එම වාර්තාවේ තවදුරටත් සඳහන් කර තිබිණි.

ශ්‍රී ලංකාවේ පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියට පැමිණිලි යොමු කළ හැකිද?

පිළිතුර: ඔව්!

ශ්‍රී ලංකාව තුළ ඇති වෙනත් භාණ්ඩ හා සේවා සම්බන්ධ පැමිණිලි සේම, ඌබර් සමාගමෙන් ක්‍රියාත්මක වන සේවා සම්බන්ධ පැමිණිලි ද ඔබට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියට 1977 ඔස්සේ ඔබේ පැමිණිල්ල ඉදිරිපත් කළ හැකිය.

© දැහැමි රණවීර – බී .බී .සී සිංහල

About The Author