Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

රජය ඉදිරිපත් කරන ලද නව මුදල් පනත දූෂිතයින්ට උඩගෙඩි දීමක් – නීතිඥ ශිරාල් ලක්තිලක

එය රාජපක්ෂ අණ්ඩුවේ තවත් එක් ‘බනානා රිපබ්ලික් ව්‍යාපෘතියක්’

රජය විසින් ඉදිරිපත් කර ඇති නව මුදල් පනත දූෂිතයින් හට උඩ ගෙඩි දෙන පනතක් බව ජ්‍යේෂ්ඨ නීතිඥ ශිරාල් ලක්තිලක මහතා පවසයි. ඒ මහතා මේ බව සඳහන් කරන ලද්දේ 43 වන සේනාංකයේ මාධ්‍ය හමුවක් අමතමිනි.

හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා සහ නීතිඥ ශිරාල් ලක්තිලක මහතා සහභාගී වූ එම මාධ්‍ය හමුවේදී රජය විසින් ඉදිරිපත් කර ඇති නව මුදල් පනත මගින් ලබාදීමට යන බදු සහන පිළිබඳව අවධානය යොමු කරන ලදී.

එහිදී වැඩි දුරටත් අදහස් දක්වන ලද නීතිඥ ශිරාල් ලක්තිලක මහතා ප්‍රකාශ කර සිටියේ වත්මන් රජය විසින් සිදුකරමින් යන ‘බනානා රිපබ්ලික්’ පන්නයේ වැඩ අතර තවත් එක් කාර්යයක් බවට මුදල් පනත පත්ව ඇති බවයි.

බනානා රිපබ්ලික්ස් යනු ලෝකයේ දූෂණය සහ ගජමිතුරු කල්ලිවාදය මත පදනම්ව අධිකාරීවාදී ස්වභාවයකින් කටයුතු කරන රාජ්‍යයන් වේ.

ශ්‍රී ලංකාවේ වත්මන් රජයද එවනි බනානා රිප්බලික් එකක් බවට පත්වී තිබෙන බව පෙන්වා දෙන ශිරාල් ලක්තිලක මහතා නව මුදල් පනත මගින් රාජපක්ෂ පවුලට සම්බන්ධ අයවලුන් හට තමන්ගේ කළු සල්ලි සුදු කර ගැනීමට ඉඩප්‍රස්ථාව උදාවන බව ප්‍රකාශ කරන ලදී.

තවද මෙම පනත මගින් බදු වංචා කරන ලද අයට 1% ක අයකිරීමක් යටතේ කලුසල්ලි මෙරටට ගෙනෙ ඒමට අවසර ලබාදෙන බව පෙන්වා දෙන ඒ මහතා එය බදුවංචා කිරීම සම්බන්ධව ශ්‍රී ලංකාවේ පවතින නීතියත් කලාපයේ ඉන්දියාව ඇතුළු සෙසු රටවල පවතින නීතියත් අභිබවා ක්‍රියාකිරීමක් බව ප්‍රකාශ කරන ලදී.

සාමන්‍යයෙන් ලෝකයේ අවි ජාවාරම, මත්ද්‍රව්‍ය ජාවාරම, නීතිවිරෝධී උපයාගැනීම්, බදු වංචා කිරීම් කළු සල්ලි ලෙස හඳුන්වනු ලබයි. මීට පෙරද 13 න් වතාවක් විවිධ රජයන් මේ ආකරයේ බදු සහන ඉදිරිපත් කිරීමට උත්සහ කරත් ඒ අවස්ථා සියල්ල අසාර්ථක වූ බව පෙන්වා දෙන ඒ මහතා, මෙම මුදල් කිසියම් අයකු විසින් ලංකාවේ ආයෝජනය කරයි නම් හෝ ලංකාවේ බැංකුවල තැන්පත් කරයි නම් 1% ක අයකිරීමක් පමණක් කර නිදහස් කිරීමට මෙම පනත මගින් අවස්ථාව ලබාදී තිබීම මත සත්‍යවශයෙන්ම සිදුවන්නේ සත්‍ය ජාවරම්කාරයන්ගේ මුදල් රටට ගලා ඒම නොව පාලකයින්ට සම්බන්ධ යම් යම් කළු සල්ලි සුදුකරගැනීමට අවශ්‍ය අයගේ මුදල් නීත්‍යානුකූල කිරීම බව ද පෙන්වා දෙයි.

මෙම පනත් කෙටුම්පත ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ අභියෝගයට ලක් කල අවස්ථාවේදී පාර්ලිමේන්තුවේ සාමාන්‍ය බහුතරය මගින් මෙම පනත් කෙටුම්පත සම්මත කරගැනීමට අවසරය ලබාදී ඇත්තේ වගන්තීන් 13ක් පිළිබඳව සංශෝධන කිරීමටත් එක් වගන්තියක් සම්පූර්ණයෙන් ඉවත් කර ගැනීමටත් නීතිපතිවරයා මගින් පනත් කෙටුම්පත ගෙන ආ පාර්ශවය එකඟ වූ නිසා බව ප්‍රකාශ කර ශිරාල් ලක්තිලක මහතා වැඩි දුරටත් ප්‍රකාශ කර සිටින්නේ කෙසේ වෙතත් මෙම පනත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12(1) ව්‍යවස්ථාව මගින් තහවුරු කර ඇති වෙනස්කොට සැලකීමෙන් වැලැක්වීමේ මූලික අයිතිවාසිකම උල්ලංඝණය කරන පනතක් වන බවයි.

ඒ කෙසේද යත් නීත්‍යානුකූලව ව්‍යාපාර කරමින් නිසි පරිදි බදු ගෙවමින් කටයුතු කරන ව්‍යාපාරික ප්‍රජාවට මේ මගින් වෙනස්කොට සැලකීමක් සිදුවන බැවිනි.

එම නිසා රජයේ තවත් එක් බනානා රිපබ්ලික් ව්‍යාපෘතියක් වන මෙම පනතට තමන් ඇතුළු ව්‍යාපාරය විරෝධය පළකරන බව ඒ මහතා දැඩිව අවධාරණය කරන ලදී.

© 43 සේනාංක මාධ්‍ය ඒකකය

About The Author