Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

අත්‍යවශ්‍ය ආහාර හිඟයක් ඇතිවන්නේ නැහැ – ව්‍යාජ කතා වලට හසුවෙන්න එපා

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කරයි

රට තුළ සහල් සහ සීනි ඇතුළු අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය හිඟයක් උද්ගතව ඇති බවට පැතිර යන වාර්තාවල කිසිදු සත්‍යතාවක් නොමැති බවත් ජනතා ඉල්ලුම සපුරාලීමට ප්‍රමාණවත් ආහාර ද්‍රව්‍ය තොග රජය සතුව පවතින බවත් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනයක් මගින් දැනුම් දී තිබේ.

අදාළ නිවේදනයෙන් රජය දැනුම් දී ඇත්තේ, ඇතැම් දේශීය, විදේශීය මාධ්‍ය සහ සමාජ මාධ්‍යත් විපක්ෂයත් ශ්‍රී ලංකාවේ බරපතළ ආහාර හිඟයක් හටගෙන ඇතැයි ප්‍රචාරය කරන නමුත් ඒවායේ කිසිදු පදනමක් නොමැති බවය.

ඇතැම් කූට වෙළෙඳුන් පසුව වැඩි මිලට විකුණා අධික ලාභ උපයා ගැනීමේ අරමුණ ඇතිව වී, සහල්, සීනි ඇතුළු අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය තොග වශයෙන් සඟවා තැබීමෙහි නිරත වන බවට තොරතුරු ලැබී ඇති බව රජය එම නිවේදනයෙන් දන්වා තිබේ. 

එවැනි වෙළෙඳුන්ගේ ජනතා විරෝධී ප්‍රයත්නය පරාජය කිරීමට මහජන ආරක්ෂක පනතේ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය සම්පාදනයට අදාළ වගන්ති පසුගිය සඳුදා බලාත්මක කළ බව ද සඳහන් කර ඇත.

සැඟවූ ආහාර ද්‍රව්‍ය තොග අත්අඩංගුවට ගෙන සාධාරණ මිලට බෙදාහැරීම සඳහා සතොස ඇතුළු රාජ්‍ය ආයතන වෙත භාරදීම එහි අරමුණ වූ බවත් කෘත්‍රීම ලෙස ආහාර හිඟයක් ඇති කිරීමට ගත් උත්සාහය ව්‍යාර්ත කිරීමට එමගින් හැකි වූ බවත් සඳහන් කර තිබේ.

එබැවින් ආහාර හිඟයක් ඇති වේ යැයි බිය නොවන ලෙස රජය ජනතාවගෙන් ඉල්ලා සිටියි

About The Author