Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

එනත්කරණය සහ රාජ්‍යකරණය

ආණ්ඩුවේ එන්නත්කරණ දත්ත පිළිබඳ සංඛ්‍යා ලේඛණ පිළිබඳ සැකයක් !

කොරෝනා මර්ධන එන්නත ලබා ගැනීම සඳහා ජනතාවගේ වැඩි උනන්දුවක් ඇති බව මේ වන විට පැහැදිලිව පෙනෙන කරුණක්.

බොහෝ ප්‍රදේශවල ජනතාව දිගු පෝලිම් වල පැය ගණනක් රැදෙමින් එන්නත ලබා ගැනීම සඳහා රැඳී සිටින අයුරු නිරීක්ෂණය කිරීමට අප මාධ්‍ය කණ්ඩායමට හැකි වුණා.

ප්‍රධාන වශයෙන්ම බස්නාහිර පළාතේ සහ තවත් ප්‍රදේශ කිහිපයක එන්නත් කරන ක්‍රියාවලිය අගය කළ යුතු මට්ටමින් සිදු වුව ද දිවයිනේ ප්‍රදේශ රැසකින්ම වාර්තාවන්නේ ඉතා අවලස්සන, අශෝභන මෙන්ම අපිලිවෙලට ක්‍රියාත්මක එන්නත් කරන මධ්‍යස්ථාන පිළිබඳ තොරතුරුයි.

බොහෝ එන්නත්කරණ මධ්‍යස්ථානවල මීටර් ගණන් දිගු පෝලිම් දක්නට ලැබෙන අතර එම කිසිදු පෝලිමක මීටරයේ පරතරය තියා අඟල් කිහිපයක පරතරයක් හෝ දක්නට නොලැබීම කණගාටුදායක තත්වයක්.

මේ වන විට පැතිර යන ඩෙල්ටා සහ ඇල්ෆා ප්‍රභේද වලින් ආරක්ෂා වීම සඳහා අවම වශයෙන් මීටර් දෙකක පරතරයක් පවත්වා ගැනීම අත්‍යවශ්‍ය බව අදාළ වගකිව යුතු අංශ අවධාරණය කර තිබියදී පැය ගණනක් ජනතාව මෙලෙස පෝලිම් වල රැඳී සිටීමට සිදුවීම බරපතල සෞඛ්‍ය අවධානමක් බවට පත්ව තිබෙනවා.

අනෙක් කනගාටුදායක තත්වය වන්නේ එලෙස රැඳී සිටින භොහෝ දෙනෙකු වයස අවුරුදු 60 ඉක්මවූ ‌ජ්‍යෙෂ්ඨ පුරවැසියන් වීමයි.

එන්නත් “නම්” වලට වෙනම ආකර්ෂණයක්

මේ වන විට මෙරට පුරවැසියන් සඳහා ඇස්ට්‍රාසෙනිකා, සයිනොෆාම් ,ස්පුට්නික්. ෆයිසර් සහ මොඩර්නා යන එන්නත් ලබා දීම සිදු කරන අතර සමාජයේ පැතිර යන විවිධ මත වාද හේතුවෙන් ජනතාව ඇතැම් එන්නත් වර්ග ප්‍රතික්ෂේප කර ඒ වෙනුවට වෙනත් එන්නත් වර්ග ලබා ගැනීම සඳහා දරන උත්සාහයන් වාර්තා වී තිබෙනවා.

උදාහරණයක් ලෙස සයිනොෆාම් එන්නත ප්‍රතික්ෂේප කරන ඇතැම් පුද්ගලයින් ඒ වෙනුවට ෆයිසර් එන්නත් ලබා ගැනීමට දරන උත්සාහය දැක්විය හැකියි.

මෙවැනි ගැටළු හේතුවෙන් ඇතැම් අවස්ථාවල එම එන්නත් ලබා දෙන වෙනත් පළාත් හෝ දිස්ත්‍රික්ක වෙත පළාත් සංචරණ සීමාද නොතකා පිරිස් ගමන් කරනු දැකිය හැකි අතර විවිධ පුද්ගලික හිතවත් කම් සහ බල පුළුවන්කාරකම් යොදා ගනිමින් එන්නත්කරණ සිදු කරන ආකාරය පිළිබඳ සිදුවීම් රැසක් දිවයින පුරා එනත්කරණ මධ්‍යස්ථාන රැසකින් වාර්තා වුණා.

මෙම තත්වයට විසදුම් ලබා දීමට රජය හෝ අදාළ අංශ කිසිවක් මේ දක්වා සමත්ව නොමැති අතර මෙය ශ්‍රී ලංකාවේ ජනතාවගේත් නිලධාරීන්ගේත් සැබෑ ගෝත්‍රික ආත්මාර්ථකාමී ලක්ෂණ යළි යළිත් සමාජය හමුවේ නිරාවරණය වීම දැක්වෙන කදිම නිදසුනක් වී තිබෙනවා.

වයස 30 වැඩි පුරවැසියන්ගෙන් 98% එන්නත් ලබා දී ඇති බව පවසන රජයේ වාර්තා අභියෝගයට

රජය මේ වන විට පවසන්නේ වයස අවුරුදු 30 ට වැඩි පුරවැසියන්ගෙන් 98% මේ වන විට එන්නත්කරණයට ලක් කර ඇති බවයි.

මෙය සත්‍ය කරුණක් නොවන බව මේ වන විට හෙළිවෙමින් පවතිනවා.

බොහෝ පළාත්වල එනත්කරණයට අදාලව රජය ඉදිරිපත් කරන තොරතුරු සහ පළාත් සෞඛ්‍ය අංශ ලබා දෙන තොරතුරු අතර බොහෝ පරස්පරතා ඇති බව මේ වන විටත් සනාථ වී අවසන්.

කාගේවත් ශිල්ප බැලීමට හෝ ශිල්ප දැක්වීමට එන්නත්කරණය අවස්ථාවක් නොවෙයි

එනන්ත්කරණය යනු ව්‍යාජ තොරතුරු වලින් අඩු වැඩි කර දැක්විය යුත්තක් නොවන බව අප සියලු දෙනාම මේ මොහොතේ අවබෝධ කර ගතයුතු යථාර්ථයයි.

එසේ නොමැතිව ජනාධිපතිවරයා පවා නොමග යැවීමට උත්සහ දරමින් “අපි තමයි හොඳටම කළේ” කියා පෙන්වීමට පවතින සැබෑ තත්වය හෝ තොරතුරු වෙනස් කිරීම මෙවැනි සංවේදී වසංගත තත්වයකදී නොකළ යුත්තක්.

මෙය කිසිවෙකුගේ හෝ කණ්ඩායමකගේ හෝ ජය පරාජයන් උරගා බැලෙන මොහොතක් නොව රටේ සමස්ථ ජනතාවගේ පමණක් නොව සතාසීපාවන්ගේද අනාගත ඉරණම තීරණය කරන මහා ව්‍යසනයක් බව අවබෝධ කර ගනිමින් සියලු පාර්ශව මෙම වසංගතයට මුහුණ දීම අත්‍යවශ්‍ය කටයුතක්.

පොදු සහ ජාතික තොරතුරු ජාලයක් අවශ්‍යතාවය

මේ වන විට රට හමුවේ ඇති බරපතලම අභියෝගය වන්නේ කොරෝනා වසංගතයට අදාළ සත්‍ය තත්වය නිවැරදිව අවබෝධ කර ගැනීම සඳහා පිළිගත් වෘත්තිමය පොදු, ජාතික තොරතුරු වේදිකාවක් නොමැති වීමයි.

කොරෝනා වසංගතයට රට මුහුණ දී වසර එක හමාරකට වැඩි කාලයක් ගත වී තිබියදී පවා අපට එවැනි පිළිගත හැකි තොරතුරු ජාලයක් නිර්මාණය කර ගත නොහැකි වී ඇති බවට සෞඛ්‍ය වෘත්තිකයන්ම නගන චෝදනාව අපට පහසුවෙන් බැහැර කළ නොහැක්කක්.

එබැවින් වහා එම තොරතුරු වේදිකාව තැනීම සඳහා අදාළ අංශ වහා කටයුතු කළ යුතුයි.

එනත්කරණය ප්‍රවර්ධනය සඳහා දුර්මත සමාජ ගත කරන පුද්ගලයන්ගේ අදහස් විද්‍යාත්මකවම බැහැර කිරීමේ ක්‍රමවේදයක් සකස් කිරීම

පැණිවල සහ මුට්ටිවල කරක් ගසමින් විද්‍යාව බැහැර කරමින් මෙරට ප්‍රධාන පෙළේ ජනමාධ්‍ය ජනතාවගෙන් උදුරා මරාදැමූ කාලය සහ බුද්ධිය නැවත ජනතාවට ලබාදීම වෙනුවෙන් සකස් කළ පුළුල් වැඩසටහනක් දියත් කිරීමේ අවශ්‍යතාව මේ වන විට මතුව තිබෙනවා.

විවිධ පුද්ගලයන් විසින් අදටත් කිසිදු විද්‍යාත්මක පදනමකින් තොරව විවිධ ඖෂධ වර්ග හ විවිධ ප්‍රතිකර්ම ජනතාවට ප්‍රසිද්ධ මාධ්‍ය හරහා ඉදිරිපත් කරමින් සිටින අතර මෙය වසංගතය පාලනය කිරීම සඳහා සහ ජනතාවගේ ජීවිත ආරක්ෂා කර ගැනීම සඳහා බරපතළ තර්ජනයක් වී තිබෙනවා.

සැබැවින්ම එම ඉදිරිපත් කිරීම මාධ්‍ය සංදේශ බවට පත්කිරීමට පෙර ඒවායේ විද්‍යාත්මක වලංගුභාවය තහවුරු කර ගැනීමටත් එසේ නොවන නිෂ්පාදන සහ නිෂ්පාදනය සිදු කරන්නන් මෙන්ම එවැනි තොරතුරු ජනතාවට ඉදිරිපත් කරන මාධ්‍ය සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීම සඳහා වගකීම් සහිත යාන්ත්‍රණයක් සකස් කිරීම අනිවාර්යයෙන් කළ යුත්තක්.

මෙරට ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ මූලික අයිතිවාසිකම් යටතේ දක්වා ඇති භාෂණයෙත්, තොරතුරු දැනගැනීමෙන් පළකිරීමේ නිදහස බුක්ති විදීමේ දී මහජන ආරක්ෂාව සහ මහජන සෞඛ්‍ය පිළිබඳ පනවා ඇති විධිවිධාන අනුව මෙම දුෂ් තොරතුරැ සමාජගත වීම වැලැක්වීමට අවශ්‍ය විධිමත් යාන්ත්‍රණයක් සකස් කිරීමට රජයට නෛතික හැකියාවක්ද තිබෙනවා.

එබැවින් මෙම සංවේදී අවස්ථාවේ ජනතාවට ඖෂධ සහ එන්නත් පිළිබඳ විධිමත් සහ පිළිගත් තොරතුරු ලබාදීම වෙනුවෙන් සහ කොරෝනා සම්බන්ධයෙන් නිෂ්පාදනය කෙරෙන දේශීය ආයුර්වේද ඖෂධ සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණ සිදුකිරීමේ යාන්ත්‍රණයක් සකස් කොට ඒවා ප්‍රසිද්ධියට පත් කිරීම රජයේ වගකීමයි.

ඉහත සඳහන් කළ කරුණු පිළිබඳ අවධානය යොමු කරමින් රටේ ජනතාවගේ ජීවිත සුරක්ෂිත කිරීම වෙනුවෙන් සියලු අංශ සංවේදී වීම මේ තීරණාත්මක මොහොතේ පැහැර හැරිය නොහැකි ජාතික වගකීමක් සහ වගවීමක් බව අප අවධාරණය කරමු.

© මී මැස්සා

About The Author