Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

ඉදිරි එන්නත්කරණ සැලසුම ජනපති හෙළි කරයි – රැකියා අහිමි ජනතාව ගැනත් සංවේදී වෙයි

සැප්තැම්බර් මාසයට පෙර සමස්ත ජනගහණයෙන් වැඩි ප්‍රතිශතයකට කොවිඩ් එන්නත ලබාදීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පුළුල් වැඩපිළිවෙළක් ඉදිරිපත් කර තිබෙනවා.

කොවිඩ් පැතිර යාමේ අවදානම හඳුනාගෙන ඇති දිස්ත්‍රික්කයන්ට ප්‍රමුඛතාව දෙමින් ජුලි මාසය ඇතුළත ලැබෙන එන්නත් මාත්‍රා සංඛ්‍යාව ජනතාවට ලබාදීමට ඒ අනුව සැලසුම් කර ඇති බවයි ජනාධිපති මාධ්‍ය අංශය වර්තකරන්නේ.

ඒ අනුව ජුලි 11 වන දින ලැබීමට නියමිත සයිනෝෆාම් එන්නත් මිලියන දෙකෙන්, කොළඹ දිස්ත්‍රික්කයට ලක්ෂ දෙකක්, ගම්පහට ලක්ෂ පහක් සහ කළුතරට ලක්ෂ තුනක් බැඟින් වෙන්කර බස්නාහිර පළාතේ වයස 30ට වැඩි සියලු දෙනාට එන්නත් දීම මේ මස 30 වන දිනට පෙර අවසන් කළ යුතු බවට ජනාධිපතිවරයා විසින් උපදෙස් ලබා දී තිබෙන්නේ එන්නත්කරණය සහ ඉදිරි මෙහෙයුම් සම්බන්ධයෙන් කොවිඩ් මර්ධන විශේෂ කමිටුව සමඟ අද (09) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති හමුවකට එක්වෙමින්.

ගාල්ල, මාතර, හම්බන්තොට, අනුරාධපුර, නුවරඑළිය, රත්නපුරය, බදුල්ල, මාතලේ දිස්ත්‍රික්ක සඳහා එන්නත් ලක්ෂය බැඟින් සහ කුරුණෑගල දිස්ත්‍රික්කයට එන්නත් ලක්ෂ දෙකක් වෙන්කර තිබෙන බවද මෙහිදී හෙළි වුණා.

මෙම එන්නත් විධිමත්ව සහ කඩිනමින් ලබාදීමේ අවශ්‍යතාව ජනාධිපතිවරයා විසින් සෞඛ්‍ය අංශ වෙත අවධාරණය කර තිබෙනවා.

ඇස්ට්‍රාසෙනිකා එන්නත් මිලියන 1.47ක් ඉදිරි දෙසතිය තුළ ලැබීමට නියමිතව ඇති අතර ඉන් ලක්ෂ හයක් පළමු මාත්‍රාව ලබාගෙන ඇති කොළඹ දිස්ත්‍රික්කයට වෙන් කිරීමට තීරණය වී තිබෙනවා.

ඉතිරිය කෑගල්ල දිස්ත්‍රික්ක‍යේ පළමු සහ දෙවන මාත්‍රා සඳහා ලබාදෙන ලෙස ජනාධිපතිතුමා උපදෙස් දුන්මේ බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරන්නේ.

මේ විට ලැබී ඇති ෆයිසර් එන්නත මන්නාරම හා වව්නියා දිස්ත්‍රික්කයන්ටත්, මොඩර්නා එන්නත මහනුවර දිස්ත්‍රික්කයටත් ලබාදීමට සැලසුම් කර තිබෙනවා.

ඉදිරියට ලැබීමට නියමිත එන්නත් කොවිඩ් පැතිර යාමේ තත්ත්වය සැලකිල්ලට ගෙන විද්‍යානුකූල ක්‍රමවේදයකට අනුව බෙදාහැරීමට අවශ්‍ය පියවර ගනු ඇති.

මේ වන විට සැලකිය යුතු ප්‍රතිශයකට එන්නත්කරණය සිදුව ඇති නිසා ආර්ථික ක්‍රියාකාරකම් වෙනුවෙන් වැඩි ඉඩක් ලබාදීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ද උපදෙස් ලබා දී ඇති ජනාධිපතිවරයා කොරෝනා හේතුවෙන් රැකියා අහිමි වූ ජනතාව පිළිබඳ සොයා බලා ඔවුන්ට සහන සැලසීම සඳහා පියවර ගැනීමට අවශ්‍ය වැඩපිළිවෙලක් සකසන ලෙස නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබෙනවා.

එමෙන්ම එන්නත්කරණය පිළිබඳව සහ රටේ වත්මන් තත්ත්වය පිළිබඳව තානාපති කාර්යාල දැනුවත් කිරීමේ අශ්‍යතාව ද මෙහිදී සාකච්ඡාවට ලක්වූ බවයි ජනාධිපති මාධ්‍ය අංශය වාර්තා කළේ.

About The Author