Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

බැසිල් සැපත්වෙයි – ජනතාව දිනාගෙන ඉදිරි පිම්මකට සැරසෙයි

මාස එක හමාරකට ආසන්න කාලයක් ඇමෙරිකාවේ රැඳී සිටි බැසිල් රාජපක්ෂ මහතා දිවයිනට පැමිණ තිබෙනවා.

ඔහු දිවයිනෙන් බැහැරව ගියේ ඉකුත් මැයි මස 12 වනදායි.

අභ්‍යන්තර තොරතුරු වාර්තා කරන ආකාරයට ඉදිරියේ දී බොහෝ දුරට බැසිල් රාජපක්ෂ මහතාට රජයේ ප්‍රධාන අමාත්‍යධුරයක් හිමි වනු ඇති.

එය බොහෝ විට දැනට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් දරනු ලබන මුදල් අමාත්‍ය ධූරය විය හැකි බවටයි වාර්තා වන්නේ.

මේ තත්ත්වය තුළ බැසිල් රාජපක්ෂ මහතාට ජනප්‍රසාදයක් ඇතිකර ගැනීම සඳහා විශේෂ වැඩපිළිවෙලක් පොදුජන පෙරමුණ අභ්‍යන්තරයේ නිර්මාණය වී ඇති බවත් මේ වන විටත් එය ආරම්භ කර ඇති බවත් සඳහන්.

මේ යටතේ බොහෝ විට ඉන්ධන මිල ඉහළ දැමීමේ තීරණය නැවත සමාලෝචනය කිරීමට ද ඉඩ ඇති බවයි අභ්‍යන්තර ආරංචි මාර්ග වාර්තා කරන්නේ.

කොරෝනා මර්ධන ජනාධිපති කාර්ය සාධක බලකායේ මෙන්ම ආර්ථික පුනර්ජීවන පිළිබඳ ජනාධිපති කාර්ය සාධක බලකායේ ද ප්‍රධානත්වය දරන බැසිල් රාජපක්ෂ මහතා ශ්‍රී ලංකාවේ සහ ඇමරිකාවේ ද්විත්ව පුරවැසිකුද වනවා.

ද්විත්ව පුරවැසියන්ට මෙරට පාර්ලිමේන්තුව තුළ මන්ත්‍රීවරුන්‌ ලෙස කටයුතු කිරීම වළක්වාලමින් දහනව වන ව්‍යවස්ථා සංශෝධනය හරහා ඇති කර තිබු විදි විධානද වත්මන් ආණ්ඩුව බලයට පත්වීමෙන් පසු සම්මත කරන ලද විසිවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය හරහා ඉවත් කෙරුණා.

ඒ අනුව බැසිල් රාජපක්ෂ මහතාට අවශ්‍ය ඕනෑම මොහොතක ජාතික ලැයිස්තුව හරහා පාර්ලිමේන්තුව නියෝජනය කිරීමේ කිසිදු නෛතික බාධාවක් නැහැ.

ඒ අනුව බොහෝ විට ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් දරණ පුද්ගලයෙකු එම ධුරයෙන් ඉවත් කොට ඒ වෙනුවට බැසිල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස පත් කිරීමේ සූදානමක් ඇති බවයි වාර්තා වන්නේ.

මීට පෙර ද බැසිල් රාජපක්ෂ මහතාට පාර්ලිමේන්තුවට පැමිණීම සඳහා පොදුජන පෙරමුණ නියෝජනය කරමින් ජාතික ලැයිස්තුවෙන් මගින් පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයට පත්කරන ලද ජයන්ත කැටගොඩ මහතා එම ධුරයෙන් ඉවත් වීමේ සුදානමක් පිළිබඳව සාකච්ඡාවට ලක් වුණා.

About The Author