Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

විදෙස් සංචිත හිස් වෙයි – ආර්ථිකය බිමට ම සමතලා වන ලකුණු

ඒක පුද්ගල ණය ප්‍රමාණය රුපියල් ලක්ෂ 06 ආසන්නයේ

මෙරට විදේශ සංචිත ප්‍රමාණය කඩිනමින් වැඩි කර නොගතහොත් රට ආර්ථික ගැටලු රැසකට මුහුණපානු ඇති බව ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ව්‍යාපාර ආර්ථික විද්‍යා අංශයේ මහාචාර්ය ජනක් කුමාරසිංහ පවසයි.

මෙරට ඒක පුද්ගල ණය ප්‍රමාණය රුපියල් ලක්ෂ 06කට ආසන්න වී ඇති බවද මෙරට විදේශ සංචිත ගැටලුව හේතුවෙන් ඉදිරියේදී විදේශයන්ගෙන් ණය ගැනිමට යාමේදි පවා වැඩි කොන්දෙසී ප්‍රමාණයකට යටත් වීමට සිදු විය හැකි බව ඔහු කියා සිටියි.

රට තුළ පවතින විදේශ සංචිත සම්බන්ධයෙන් ඉකුත් දින කිහිපයේදී සුවිශේෂී අවධානයක් යොමුව ඇත.

ඉන්ධන මිල වැඩි කිරීමට හේතුවක් ලෙස ද ප්‍රකාශ කෙරුණේ භාණ්ඩාගාරයේ මුදල් නොමැති කමයි.

බලශක්ති අමාත්‍යංශයේ ජුනි 15 දා පැවති මාධ්‍ය හමුවේදී උදය ගම්මන්පිල අමාත්‍යවරයා ප්‍රකාශ කර සිටියේ,
ඉන්ධන මිල ඉහළ දැමීමට බලපෑ ප්‍රධානතම හේතුව ලෝක වෙළදපොලේ ඉන්ධන මිල ගණන් ඉහළ යාම නොව මෙරට පවතින විදේශ විනිමය ගැටළුව බවයි.

මෙම තත්ත්වය මත විදේශ විනිමය තවදුරටත් ප්‍රවේශම් කරගැනීම සඳහා ඉන්ධන ඉතා අරපිරිමැස්මෙන් පාවිච්චි කරන්නැයි ඔහු එහිදී ජනතාවගෙන් ඉල්ලා සිටියේය.

ඩොලරයේ අගය තවදුරටත් ඉහළ යාමේ අවදානමක් :

රුපියලට සාපේක්ෂව අමෙරිකානු ඩොලරයේ අගය තවදුරටත් ඉහළ යාමේ අවදානමක් පවතින බවට ද බොහෝ පාර්ශව මත පළ කර තිබේ.

ශ්‍රී ලංකා මහ බැංකුවේ දත්තවලට අනුව ඉකුත් වසර අවසන් වනවිට මෙරට සතුව අමෙරිකානු ඩොලර් බිලියන 5.7 විදේශ සංචිත ප්‍රමාණයක් පැවැති අතර එය මෙම වසරේ මුල් භාගයේදී 4.6 ක් දක්වා අඩුවී තිබේ.

ඉකුත් මාර්තු මාසය වනවිට මෙරට සතු විදේශ සංචිත ප්‍රමාණය අමෙරිකානු ඩොලර් බිලියන 4.1 ක් දක්වා පහත වැටී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.

About The Author