රට බරපතල අභියෝගයකට මුහුණ පා ඇති අවස්ථාවක GSP + සහනය අහිමි කර ගැනීමට යාම තුළ විශාල අර්බුදයකට රටට මුහුණ දීමට සිදුවනු ඇති බව සමගි ජනබලවේගය පක්ෂය පවසනවා.
ඒ ශ්‍රී ලංකාව පිළිබඳ යුරෝපා සංගමයේ යෝජනා සම්මතය පිළිබඳ ප්‍රකාශනය යන තේමාව යටතේ මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින්.
දුර දිග නොබලා රට තුලසිදුකරමින් යන මානව අයිතිවාසිකම් සහ ප්‍රජාතන්ත්‍රීය අයිතීන් අභියෝගයට ලක් කිරීම වහා නතර කොට නැවත රට ප්‍රජාතන්ත්‍රවාදී මාවතට අවතීරණය කරවීම සඳහා ආණ්ඩුව කටයුතු කළ යුතුව ඇති බවයි ඔවුන් එම මාධ්‍ය නිවේදනය හරහා අවධාරණය කර තිබෙන්නේ.
අදාළ සම්පුර්ණ මාධ්‍ය නිවේදනය පහළින්.
මාධ්‍ය නිවේදනය
ශ්‍රී ලංකාව පිළිබඳ යුරෝපා සංගමයේ යෝජනා සම්මතය පිළිබඳ ප්‍රකාශනය
2021 ජුනි මස 9වන දින ‘ශ්‍රී ලංකාවේ තත්ත්වය, විශේෂයෙන් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත් අඩංගුවට ගැනීම්’ සම්බන්ධව යුරෝපා පාර්ලිමේන්තුව විසින් සම්මත කරන ලද යෝජනාව පිළිබඳ සමගි ජන බලවේගයේ අවධානය යොමුව ඇත.
මෙම යෝජනාව තුළ ‘නව රජය විසින් පසුගිය රාජ්‍ය පාලනයන් යටතේ සාක්ෂාත් කරගන්නා ලද සීමිත ප්‍රගතිය සීඝ්‍ර ලෙස ආපසු හරවමින් පවත්නා තත්ත්වයක, ශ්‍රී ලංකාවේ මානව හිමිකම් සම්බන්ධ තත්ත්වය නොකඩවා පිරිහෙමින් පවතින’ බවට නිරීක්ෂණය කරනු ලබයි. එතුළ ශ්‍රී ලංකාවේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත (PTA) හා බරපතල මානව හිමිකම් උල්ලංඝනයන් ඇති කරන සුළු ලෙස එය අපයෝජනය කරනු ලබන තත්ත්වය පිළිබඳව නිශ්චිත වශයෙන් සඳහන් කෙරේ. හිජාස් හිස්බුල්ලා වැනි ප්‍රකට නීතිවේදීන් හා ආනාෆ් ජෂීම් කවියා වැනි කලාකරුවන්ද ඇතුළත්ව රජය විවේචනය කරන්නන් ඉලක්ක කරගනිමින් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ක්‍රියාත්මක කරන ආකාරය එතුළ විශේෂයෙන් සඳහන්වන අතර, 2021 මාර්තු මාසය තුළ නිකුත් කරන ලද නව රෙගුලාසි මගින් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත තවදුරටත් පුළුල් කිරීම පිළිබඳවද සටහන් කරනු ලබයි. සුළු ජන කොටස් ඉලක්ක කරගනිමින් සිදු කෙරෙන වෙන්කොට සැළකීම් හා හිංසනය; ඊනියා සාවද්‍ය තොරතුරු සැපයීම සම්බන්ධයෙන් යයි පවසමින් පීඩනකාරී නීති හඳුන්වාදෙනු පිණිස වූ නව යෝජනා; යල්පිනු අපරාධ නීතිය නොකඩවා යොදා ගැනීම; ශ්‍රී ලංකාව තුළ සිවිල් රාජ්‍ය කටයුතු හමුදාකරණය වේගවත් කිරීම; හා ජාත්‍යන්තර නීතිමය ප්‍රමිතීන් ප්‍රකාර 2019 පාස්කු ඉරුදින බෝම්බ ප්‍රහාාරය සම්බන්ධ දැඩි, අපක්ෂපාතී හා සම්පුර්ණ විමර්ශනයක් සිදු කිරීමට පැහැදිලි ලෙසම අපොහොසත් වීම යන කරුණුද ඇතුළත්ව සැලකිල්ලට ලක්වන වෙනත් ප්‍රධාන කරුණු ගණනාවක්ද එතුළ අවධාරණය කරනු ලබයි.
සමගි ජන බලවේගය විසින් වර්තමාන රජය මගින් සීඝ්‍රයෙන් ශ්‍රී ලංකාවේ මානව හිමිකම් තත්ත්වය අයහපත් අතට හරවමින් පවත්නා තත්ත්වය හා එම රජයේ ජාතිවාදී, විදේශිකයන් නුරුස්සන සුළුවූ, හා වෙන්කොට සැළකීම් සහිත ප්‍රතිපත්ති සම්බන්ධ සිය අවධානය නැවත නැවතද ඉස්මතු කොට ප්‍රකාශ කරන ලදී. විසිවන සංශෝධනය හඳුන්වා දෙමින් විපක්ෂයේ දේශපාලනඥයින් ඉලක්ක කරනු පිණිස පරීක්ෂණ කොමිෂන් සභාවන් ස්ථාපනය මගින් ශ්‍රී ලංකාවේ ප්‍රජාතාන්ත්‍රික ආයතනයනට ක්‍රමිකව එල්ල කරමින් පවත්නා ප්‍රහාරයන් අපි හෙළා දුටුවෙමු. සාවද්‍ය තොරතුරු සැපයීම වළකාලීමට යයි පවසමින් එ් සඳහා වූ නීති හඳුන්වාදීම මගින් ප්‍රජාතන්ත්‍රික නිදහස තවදුරටත් සීමා කිරීමට ගනු ලබන උත්සාහයන්ද රජය විසින් ගනු ලබමින් පවතී. මෙකරුණු ජනතාවගේ භාෂණයේ නිදහස තවදුරටත් සීමා කරනු හා මර්දනය කරනු පිණිස ගනු ලබන නින්දා සහගත ප්‍රයත්නයකට වැඩි යමක් ලෙස අපි නොදකිමු. පාස්කු ඉරුදින ප්‍රහාරයන්හි සැබෑ මහ මොළකරු හෙළිදරවු කිරීමට අපොහොසත් වීම සම්බන්ධයෙන්ද අප විසින් මෙම රජය හෙළා දකිනු ලැබූ අතර, මෙම ප්‍රහාරයන් සම්බන්ධ පූර්ණ හා අපක්ෂපාතී පරීක්ෂණ සිදුකරන ලෙසද නැවත නැවතද ඉල්ලා සිටියෙමු.
ශ්‍රී ලංකාව තුළ මෙසේ සීඝ්‍ර ලෙස අයහපත් අතට පෙරළෙමින් පවත්නා තත්ත්වය හමුවේ, ‘අවසන් තීරණයක් වශයෙන් ශ්‍රී ලංකාවේ ජී.එස්.පී. ප්ලස් තත්ත්වය සහ ඒ හා බැඳි ප්‍රතිලාභද තාවකාලිකව ඉවත් කිරීම සඳහා වූ ක්‍රියා පරිපාටියක් අරම්භ කිරීමට තරම් ප්‍රමාණවත් හේතු සාධක පවත්නේද යන කරුණ ප්‍රවේශමින් තක්සේරු කොට බලා හැකි විගස මේ සම්බන්ධ කරුණු පාර්ලිමේන්තුවට වාර්තා කරන ලෙස’ යුරෝපා සංගම් යෝජනා සම්මතය මගින් යුරෝපා සංගමයෙන් ඉල්ලා සිටිනු ලබයි. එබැවින්, මෙම යෝජනාවෙන් අනතුරුව ශ්‍රී ලංකාවට ජී.එස්.පී. ප්ල්ස් සහනය අහිමිවන තත්ත්වයක් පවතී.
යුරෝපා සංගමයේ ජී. එස්.පී. ප්ලස් වෙළඳ පහසුකම යටතේ වු සහනයන් 2017 මැයි මාසයේදී ශ්‍රී ලංකාවට නැවතත් ලබාගැනීමට හැකිවු බව සිහිපත් කරමු. මෙම පහසුකම යටතේ ලබාදුන් තීරු ගාස්තු සහනයන්හි සෘජු ප්‍රතිඵලයක් වශයෙන් ඇඟළුම් කර්මාන්තය විශේෂ කොටගත් ශ්‍රී ලංකාවේ බොහෝ අපනයනකරුවන් වෙත ඉමහත් සේ සෙත සැලසිණි. මෙම පහසුකම ලබාදීමේදී එකඟ වූ එක් කොන්දේසියක් වූයේ සිවිල් සහ දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුතිය සමගින් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතේ යම් ගැටළුකාරී වගන්ති ගණනාවක් ප්‍රතිශෝධනය කිරීමට ශ්‍රී ලංකාව විසින් පියවර ගත යුතු බවයි. මේ සම්බන්ධව යුරෝපා කොමිෂන් සභාව විසින් 2010 ජුනි මස 17වන දින හිටපු විදේශ කටයුතු අමාත්‍යවරයා වෙත එවන ලද ලිපියක් මගින් අදාළ නිශ්චිත වගන්ති සඳහන් කර තිබිණි. ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතේ එකී නිශ්චිත විධිවිධාන පරිච්ඡින්න කිරීමෙන් හෝ සංශෝධනය කිරීමෙන් හෝ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වෙනුවට ජාත්‍යන්තර යහ පරිචයන් සමගින් අනුගත වන්නාවූ නව ත්‍රස්ත විරෝධී පනතක් හඳුන්වා දීම මගින් දක්වනු ලබන ගෞරවාන්විත කැපවීමක් පාදක කරගනිමිනි 2017 වසර තුළ ජී.එස්.පී. ප්ලස් සහනයන් සාර්ථක ලෙස නැවතත් ලබාගැනීමට ශ්‍රී ලංකා රජයට හැකි විය.
එසේ බැඳී සිටින කොන්දේසිවලට ගරු කිරීමට වර්තමාන රජය විසින් අපොහොසත් වීම හේතුකොට මේවන විට ශ්‍රී ලාංකික ජනතාවට යුරෝපා සංගමයෙන් ලද එකී තීරණාත්මක සහාය අහිමි වීමට නියමිතව ඇත. ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ප්‍රතිශෝධනය කළ යුතුව පවත්නා බව විදේශ අමාත්‍යාංශයේ වර්තමාන ලේකම්වරයා විසින් ප්‍රකාශ කොට ඇත්තේ වුවද, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ප්‍රතිශෝධනය හෝ ජාත්‍යන්තර යහ පරිචයන් හා අනුගත වන්නාවූ නීතියක් එ් වෙනුවට හඳුන්වා දීම විෂයයෙහි කවර වූ හෝ අර්ථාන්විත ක්‍රියාවලියක් හඳුන්වා දීමට රජය අපොහොසත්ව ඇත. ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ප්‍රතිශෝධනය කරනු වෙනුවට, එහි විෂය පථය තවදුරටත් විකාශනය කරන්නාවූ රෙගුලාසි හඳුන්වා දෙමින් රජය විසින් අර්බුදය තවදුරටත් අයහපත් අතට හරවා ඇත. නිසි අධිකරණ බලය සහිත අධිකරණයක් ඉදිරියේ වරද සම්බන්ධයෙන් කිසිදු සාක්ෂි විමසීමේ අවශ්‍යතාවයකින් තොරව පුනරුත්ථාපන වැඩසටහන් යැයි පැවසෙන වැඩසටහන් තුළට සැකකරුවන් යොමු කරවීමේ අවසරයක් මෙකී නව රෙගුලාසි මගින් බලධාරීන් වෙත ලබාදෙන්නේය යන කරුණ පැහැදිලි වේ.
නොකඩවා මෙසේ අසාර්ථකත්වයට පත්වීම හා සිය විදේශ සම්බන්ධතා ඵලදායී ලෙස කළමනාකරණය කරගැනීමේ අසමත්භාවය මෙන්ම රටේ නීතිය ක්‍රියාත්මක කිරීමෙහි ලා පවත්නා අසද්භාවයද මගින් ශ්‍රී ලාංකිකයන් හට මුහුණ දීමට සිදුව ඇති වර්තමාන අර්බුදය රජය විසින් නිර්මාණය කර ඇත. මෑතකදී සම්මත කරන ලද යුරෝපා සංගමයේ යෝජනා සම්මතය මගින් මෙම අසමත් ආණ්ඩුවේ තවත් විදේශ ප්‍රතිපත්තිමය අසමත්භාවයක් ගෙනහැර දක්වා ඇත. ආයෝජන සංසදයන් පිළිබඳ අපේක්ෂාවන් දල්වමින් සිටින අතරම, එක්සත් ජනපදය හා යුරෝපා සංගමය නමැති ශ්‍රී ලංකාවට දැනටමත් විවෘතව ඇති විශාලතම අපනයන වෙළඳපලවල් දෙකක් වේගයෙන් අහිමි කරගැනීමේ අභිප්‍රායක්ද වර්තමාන රජයට ඇති බව පෙනේ.
පාර්ලිමේන්තුවේ විපක්ෂයේ ප්‍රධාන පක්ෂය වශයෙන් සමගි ජන බලවේගය ප්‍රායෝගික විසඳුම් ඉදිරිපත් කිරීමකින් තොරව හුදෙක් වර්තමාන රජයේ අසාර්ථකත්වයන් පමණක් ගෙනහැර දැක්වීමට අදහස් නොකරයි. ත්‍රස්ත විරෝධී පනතක් හඳුන්වා දීම සඳහා පෙරදී ගනු ලැබූ උත්සාහය මතභේද තුළ ගිලී ගිය බව සිහිපත් කරමු. කෙසේ වුවද, ශ්‍රී ලංකාවේ නීති ක්ෂේත්‍රයේ ප්‍රවීණයන්ගෙන් සැදුම්ලත් ආයතනයක් වන ශ්‍රී ලංකා නීති කොමිෂන් සභාව ජාතික ආරක්ෂාව සුරැකීම සම්බන්ධ නීති කෙටුම්පතක් ඉදිරිපත් කර ඇති අතර, එය වූකලි ජාත්‍යන්තර යහ පරිචයන් හා අනුගත වන්නාවූ ලුහුඬු, ඵලදායී නීතිමය ලියවිල්ලකි. නීති කොමිෂන් සභාවේ යෝජනා මේවන විට අධ්‍යයනය කරමින් සිටින සමගි ජන බලවේගය විසින් මෙම යෝජනාවන් සැලකිල්ලට ගනු ලබන ක්‍රියාවලියක් පාර්ලිමේන්තුව තුළ ආරම්භ කිරිමට උත්සාහ කරනු ඇත.
අපගේ මානව හිමිකම් හා ප්‍රජාතන්ත්‍රවාදයද අවදානමට ලක් කිරීමකින් තොරව ප්‍රබල හා ඵලදායී ජාතික ආරක්ෂක රාමුවක් ගොඩනැගිය හැක්කේය යන්න සමගි ජන බලවේගයේ දැඩි විශ්වාසයයි.
මාධ්‍ය අංශය– සමගි ජන බලවේගය
අත නොහැර කියවන තැන
මහජන ආරක්ෂක අමාත්‍යධුරය ෆොන්සේකාට – දුන්නොත් භාරගන්නවා ඉල්ලන්න අයිතියක් නෑ ෆොන්සේකා කියයි
ආණ්ඩුවේ ආයතනයකින් විමල්ගේ “සඳේ ගින්දර” නිවන්න හදලා – නිවන්න දෙන්නේ නෑ, වෙන තැනක සිට අවුලුවන බව කියයි – බාධා කළ අයට නීති මාර්ගයෙන් පියවර
මාධ්‍යවේදීයෙකු පැහැරගෙන ගොස් මරා දැමීමට තැත්කළ බවට සැක හිටපු හමුදා බුද්ධි නිලධාරීන් දෙදෙනෙකු අත්අඩංගුවට