Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

“ඇතුලේ කචල් එකක් නෑ” කියා සජබය සම්මත කළ අමුතු යෝජනාව

අභ්‍යන්තර ගැටුම් වැළැක්වීම සඳහා, එම පක්ෂයේ නායකත්වය ලෙස සජිත් ප්‍රේමදාස මහතාට ඉදිරියටත් කටයුතු කිරීම සඳහා කොන්දේසි විරහිත සහයෝගය ලබා දිය යුතු බවට යෝජනාවක් එම බලවේගයේ පාර්ලිමේන්තු කණ්ඩායම ජුනි 07 වැනිදා රැස් වූ අවස්ථාවේ සම්මත කරගෙන ඇති බව වාර්තවනවා.

වෙබ් අඩවිවලින් සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයට එරෙහිව ව්‍යාජ අදහස් පතුරුවන බවත් අභ්‍යන්තර භේද ඇතැයි මතවාද පතුරුවන බවත් ඒවා සත්‍ය නොවන බවත් සමගි ජන බලවේගයේ සහ එම පක්ෂය සමග සන්ධානගත වී සිටින අනෙකුත් පක්ෂවල කොන්දේසි විරහිත සහයෝගය සජිත් ප්‍රේමදාස මහතාට ලැබෙන බවත් එම යෝජනාවේ සඳහන්.

එම යෝජනාව පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායමට ඉදිරිපත් කර ඇත්තේ ලක්ෂ්මන් කිරිඇල්ල, රවුෆ් හකීම්, පාඨලී චම්පික රණවක සහ මනෝ ගනේෂන් යන මන්ත්‍රීවරුන් විසින්.

සරත් ෆොන්සේකා, රාජිත සේනාරත්න, රංජිත් මද්දුමබණ්ඩාර සහ අශෝක් අබේසිංහ යන මන්ත්‍රීවරුන් විසින් එම යෝජනාවට එකඟතාව පළ කර තිබෙනවා.

කෙසේ වෙතත් විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා නිරෝධායනයේ පසු වීම හේතුවෙන් එම රැස්වීමට සහභාගි වී නැහැ.

මෙම යෝජනාවට එරෙහිව අදහස් ඉදිරිපත් වී නොමැති අතර, සියලු දෙනාගේ එකඟතාවෙන් යෝජනාවට සම්මත වී තිබෙනවා.

අප කළ විමසීම්වලදී සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකු ප්‍රකාශ කළේ මෙම යෝජනාව සම්මත වීමට හේතු වුණේ මීට පෙර පක්ෂයේ අභ්‍යන්තර සාකච්ඡාවකදී සිදු වූ උණුසුම් අදහස් හුවමාරුවක් බවයි.

මන්ත්‍රීවරුන්ට වාහන ආනයනය සඳහා අවසර දීමේ යෝජනාව පිළිබඳ පක්ෂය අභ්‍යන්තරයේ සාකච්ඡාවක් පැවති බවත්, එහිදී උණුසුම් අදහස් හුවමාරු වූ නමුත් පක්ෂයේ අභ්‍යන්තර ගැටුමක් ඇති වීමට තරම් එය උත්සන්න නොවූ බවත් එම මන්ත්‍රීවරුන් පෙන්වා දුන්නා.

කෙසේ වෙතත් වෙබ් අඩවිවල පක්ෂයේ අභ්‍යන්තර ගැටුමක් ඇතැයි ප්‍රවෘත්ති පළ වීමෙන් පසු පක්ෂයේ ඇතැම් මන්ත්‍රීවරුන් පවා එම පුවත සත්‍යයක්දැයි නොදැන කලබල වී සිටි බව එම මන්ත්‍රීවරුපෙන්වා දුන්නා.

පක්ෂයට සහයෝගය දක්වන පුද්ගලයන් පවා චම්පික රණවක, සරත් ෆොන්සේකා ඇතුළු වෙනත් නායකයන්ට සහයෝගය දක්වමින් සජිත් ප්‍රේමදාස මහතාට විරුද්ධව අදහස් දක්වා තිබුණු බවද ඔවුන් සඳහන් කළා.

ඒ අනුව පක්ෂයේ සියලු පාර්ශ්වයන්ගේ නායකයන් එක්ව යෝජනාවක් සම්මත කර ගැනීමෙන් පහළ මට්ටමේ ක්‍රියාකාරීන් අතර අභ්‍යන්තර ගැටුම් ඇති නොවන ආකාරයට සමනය කරගැනීම මෙම යෝජනාවේ අරමුණ බවද ඔවුන් පැවසුවා.

© අනිද්දා

About The Author