Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

උතුරු කොරියාවට නව නීතියක්.

උතුරු කොරියාව විසින් මෑතක දී නව නීතියක් හඳුන්වා දී ඇති අතර එයින් සිදු වන්නේ ඕනෑම ආකාරයකින් ඇති විය හැකි විදේශීය බලපෑමක් මැඩපැවැත්වීමට උත්සාහ කිරීම යි. විදේශීය චිත්‍රපට, ඇඳුම් පැලඳුම් හෝ ඕනෑම දෙයක් භාවිත කරන ඕනෑම කෙනෙකුට දැඩි දඬුවම් නියම වේ. මෙය මෙතුවක් පවත්වාගෙන ආ නීතියේ ම තවත් දිගුවක් බව පෙනේ.

දකුණු කොරියානු නාට්‍යයක් නරඹමින් සිටියෙ දී හසු වූ පුද්ගලයෙකු ඝාතනය කිරීම දකින විට උතුරු කොරියානු වැසියෙකු වූ යූ මි සෝගේ වයස අවුරුදු 11ක් පමණක් විය. එම පුද්ගලයාගේ සියලු අසල්වැසියන්ට එම දර්ශනය නැරඹීමට අණ කරන ලදී.

“ඔබ එසේ නොකළේ නම් එය රාජද්‍රෝහී ක්‍රියාවක් ලෙස වර්ග කෙරෙනු ඇත.” ඇය පවසා සිටින්නී ය.

මේ පිළිබඳ පැහැදිලි කිරීමේ දී උතුරු කොරියානු ආරක්ෂකයින් සහතික වන්නේ නීතිවිරෝධී වීඩියෝ ජාවාරම් කිරීම සඳහා දඬුවම මරණය බව සියලු දෙනා දැන සිටින බව යි. 

එදා දෑස් පියාගෙන සිටි මිනිසා පිළිබඳ මට තදබල මතකයක් ඇත. ඔහුගේ කඳුළු ගලා බසින ආකාරය මට තවමත් දැකගත හැකිය. එය මට කම්පනයකි. ඔවුහු ඔහුව කණුවකට තබා බැඳ, ඔහුට වෙඩි තැබූහ.” යූ පවසන්නීය.

ආයුධ නැති යුද්ධයක්.

රාජ්‍ය පාලිත රූපවාහිනී නාලිකා කිහිපයක් හැර අන් සියලු නාලිකා ද අන්තර්ජාලය සහ සමාජ මාධ්‍යය ද නිරන්තරයෙන් වසා දමා ඇති රටක් පිළිබඳ සිතන්න. ඒ අනුව ඔබ දැන ගත යුතු දේ තීරණය කරන්නේ රටෙහි නායකයින් ය. එයින් පරිබාහිර ව කිසිවක් ඔබට දැන ගත නොහැකි ය. මෙය උතුරු කොරියාවේ සාමාන්‍ය ජීවිතයයි.

එහි නායක කිම් ජොන් උන් රටෙහි ජනතාව තව දුරටත් මර්දනය කරමින්, ඔවුන් විසින් “ප්‍රතිගාමී චින්තනය” වශයෙන් විස්තර කරන දෙයට එරෙහිව පුළුල් නව නීතියක් හඳුන්වා දී තිබේ. ඒ අනුව දකුණු කොරියාව, එක්සත් ජනපදය හෝ ජපානය යනාදී වශයෙන් ඕනෑම විදෙස් රටකට අයත් යැයි සැලකෙන ඕනෑම භාණ්ඩයක් හෝ වචනයක් භාවිත කරන සියලු පුද්ගලයින් හට මරණ දඬුවම නියම වේ.  

ඊට ආළ වන්නේ මිනිසුන් විසින් නරඹන දේ පමණක් නොවේ.

යෞවනයන් අතර පවතින “අප්‍රසන්න, පුද්ගලවාදී, සමාජ විරෝධී හැසිරීම්” මැඩපැවැත්වීම සඳහා කිම් මහතා විසින් මෑතකදී රටේ යෞවන ලීගයට ලිපියක් ලිවීය. ඔහු විසින් “භයානක විෂ” ලෙස විස්තර කරන ලද විදේශීය කතා, කොණ්ඩා මෝස්තර සහ ඇඳුම් පවා තහනම් කෙරෙන බව එයින් දන්වා තිබිණි.

දකුණු කොරියාවේ සෝල් නුවර අන්තර්ජාල ප්‍රකාශනයක් වන “ඩේලි එන්කේ” වාර්තා කළේ බටහිර ක්‍රමයට හිසකෙස් කැපීම සහ කලිසම වළලුකරට ඉහළින් නවා තැබීමේ වරද වෙනුවෙන් යෞවනයන් තිදෙනෙකු නැවත අධ්‍යාපන කඳවුරකට යවා ඇති බවයි.  

විශ්ලේෂකයින් පවසන්නේ ඔහු විසින් උතුරු කොරියාවේ ජනතාව බාහිර තොරතුරු ලබා ගැනීම නැවැත්වීමට උත්සාහ කරන බැවින් රටේ ජීවිතය එන්න එන්නම දුෂ්කර වන බවයි.

මිලියන ගණනක් දෙනා කුසගින්නෙන් පෙළෙන බව විශ්වාස කෙරේ. ආසියාවේ ධනවත්ම නගරවලින් එකක් වන සෝල්හි දේශ සීමාවට දකුණින් පිහිටුවා ඇති දකුණු කොරියානු රූපරාමුවලට අනුව ජීවිතය පිළිබඳ අවබෝධයක් ලබා ගැනීමට වඩා, ඔවුන් තවමත් රජය විසින් පරෙස්සමින් සකස් කරන ලද තොරතුරුවලින් පෝෂණය කරමින් සිටින බව සහතික වීමට කිම් මහතාට අවශ්‍යය.

තව ද මේ අතර උතුරු කොරියාව පවන්නේ සිය රටෙහි අනාථ දරුවන් පතල් කම්කරුවන් ලෙස ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වන බව යි.

උතුරු කොරියාවේ මානව හිමිකම් අර්බුදය

පැතිර යන කොවිඩ් වසංගතයට ප්‍රතිචාර වශයෙන් පසුගිය වසරේ දී සිය දේශ සීමාව මුද්‍රා තැබීමෙන් පසු වෙන කවරදාටත් වඩා රට බාහිර ලෝකයෙන් වෙන් වී ඇත. අසල්වැසි චීනයේ සිට පැමිණෙන අත්‍යවශ්‍ය සැපයුම් සහ වෙළඳාම පාහේ නතර වී ඇත. සමහර සැපයුම් ලබා ගැනීමට පටන් ගෙන ඇතත්, ආනයනය තවමත් සීමා සහිත ය.

මෙම ස්වයං හුදකලා කිරීම හරහා තන්ත්‍රයේ න්‍යෂ්ටික අභිලාසයන් වෙත පමණක් මුදල් එකතු වන අතර රට දැනටමත් අසාර්ථක ආර්ථිකයක් උරුම කර ගෙන තිබෙන බව පෙනේ. මේ වසර මුල දී කිම් මහතා පිළිගත්තේ තම ජනතාව “වැටිය හැකි නරකම තත්වයට” මුහුණ දී ඇති බවයි.

නීතියෙන් කියන්නේ කුමක්ද?

නීතියේ පිටපතක් මුලින්ම සොයා ගෙන තිබුණේ ඩේලි එන්කේ ය.

“වැරදි කරන සේවකයෙකු හසු වුවහොත් කර්මාන්තශාලාවේ ප්‍රධානියාට ද දඬුවම් කළ හැකි බවත්, දරුවෙකු ගැටලු සහගත නම් දෙමව්පියන්ට ද දඬුවම් කළ හැකි බවත් එහි සඳහන් වේ. උතුරු කොරියානු තන්ත්‍රය විසින් දිරිමත් කරන ලද අන්‍යෝන්‍ය අධීක්ෂණ ක්‍රමය මෙම නීතිය තුළ ආක්‍රමණශීලී ලෙස පිළිබිඹු වේ.” යනුවෙන් එහි ප්‍රධාන කර්තෘ ලී සාං යොං පවසයි. ඔහුට අනුව දකුණු දෙසට යාමට සිහින දකින ඕනෑම පුද්ගලයෙකු මෙයින් බිඳ වැටෙනු ඇති බව යි.

“වෙනත් වචනවලින් කිවහොත්, වෙනත් රටවල සංස්කෘතීන් හඳුන්වා දුනහොත් උතුරු කොරියානු පාලන තන්ත්‍රය පිළිබඳ තරුණයින් තුළ විරෝධතාවක් ඇතිවිය හැකි බව යි.” ඔහු පැවසීය.

පසුගිය වසරේදී රටින් පිටතට පැන ගැනීමට සමත් වූ කිහිප දෙනාගෙන් එක් අයෙකු වන චෝයි ජොං-හූන් පවසන්නේ “දුෂ්කර කාලයන්, දැඩි රෙගුලාසි, නීති හා දඬුවම් මධ්‍යයේ ගෙවුණු කාලය නපුරු සිහිනයක් මෙන් පෙනෙන” බවයි.

මර්දනය ආරම්භය

මුල් යුගවල දී තත්ත්වය මෙතරම් දරුණු වී තිබුණේ නැත. එවකට ජනතාව හොර රහසේ මෙන් එක් රැස් වී විදෙස් චිත්‍රපටි නරඹා තිබිණි.

එහෙත් පසුව මෙම විදෙස් බලපෑම ප්යොංයැං නගර තන්ත්‍රයේ අවධානයට ලක් විය. 2002 දී පමණ විශ්ව විද්‍යාලයක් වටලා සීඩී තැටි 20,000කට වැඩි ප්‍රමාණයක් සොයා ගැනිණි. මෙලෙස දිගහැරුණු නව රාජ්‍ය ආරක්ෂාව ගැන චෝයි මහතා සිහිපත් කරයි.

“මෙලෙස සොය ගැනුණේ එක් විශ්ව විද්‍යාලයකින් පමණයි. රට පුරා කී දෙනෙක් සිටියාදැයි ඔබට සිතාගත හැකිද? රජය කම්පනයට පත් විය. ඔවුන් දඬුවම දැඩි කළ විට තරුණයෝ තව තවත් විදෙස් රටවල් කෙරෙහි නැඹුරු වූහ.”

කිම් ජියුම්-හියොක් පවසන්නේ 2009 දී නීතිවිරෝධී වීඩියෝ බෙදාගන්නා ඕනෑම අයෙකු දඩයම් කිරීමට හා අත්අඩංගුවට ගැනීමට පිහිටුවා ඇති විශේෂ ඒකකයක ආරක්ෂකයින් විසින් අල්ලා ගන්නා විට ඔහුට වයස අවුරුදු 16 ක් වූ බවයි.

ඔහු තම පියා චීනයෙන් හොර රහසේ ගෙන ගිය දකුණු කොරියානු පොප් සංගීත ඩීවීඩී කිහිපයක් මිතුරෙකුට ලබා දී තිබුණි.

අත්අඩංගුවට ගැනීමෙන් පසු හියොක් හට වැඩිහිටියෙකු ලෙස සලකනු ලැබූ අතර ප්‍රශ්න කිරීම සඳහා රහසිගත කාමරයකට ගෙන යන ලදී. එහිදී ආරක්ෂකයින් ඔහුට නිදා ගැනීමට ඉඩ දුන්නේ නැත.  ඔහු පවසන්නේ දින හතරක් තිස්සේ ඔහුට නැවත නැවත පහර දුන් බවයි.

“මම හිතුවා මගේ ලෝකය අවසන් වෙනවා කියලා. ඔවුන්ට දැනගන්න ඕන වුණේ මම මේ වීඩියෝව ලබාගත්තේ කොහොමද සහ මම එය කීදෙනෙකුට පෙන්නුවා ද කියලා. මගේ තාත්තා ඒ ඩීවීඩී චීනයෙන් ගෙනාවා කියලා මට කියන්න බැහැ. මට මොනවා කියන්නද? ඒ මගේ තාත්තා. මම මුකුත් කිව්වේ නැහැ, මම කිව්වා, ‘මම දන්නේ නැහැ, මම දන්නේ නැහැ.  කරුණාකර මට යන්න දෙන්න.’ කියලා”

හියොක්, පියොංයැංහි ප්‍රභූ පවුලක සාමාජිකයෙක් වූ අතර ඔහුගේ පියාට ඔහුව නිදහස් කිරීම සඳහා මුරකරුවන්ට අල්ලස් දීමට හැකි විය. එය ද කිම් මහතාගේ නව නීතිය යටතේ කළ නොහැකි දෙයක් විය. එකල එවැනිම වැරදිවලට ​​හසු වූ බොහෝ දෙනෙකු කම්කරු කඳවුරුවලට යවා තිබිණි. 

“මුලදී දඬුවම කම්කරු කඳවුරක වසරක් ගත කිරීම විය. මේ වන විට එය වසර තුනක දක්වා වෙනස් වී ඇත. දැන්, ඔබ කම්කරු කඳවුරකට ගියහොත්, තරුණ තරුණියන්ගෙන් 50%කට වඩා වැඩි පිරිසක් එහි සිටින්නේ විදේශ මාධ්‍ය නැරඹූ නිසා පෙනෙනු ඇත.”චෝයි මහතා පවසයි.

“යමෙකු පැය දෙකක නීති විරෝධී වීඩියෝවක් නරඹන්නේ නම්, එය කම්කරු කඳවුරක වසර තුනක් බවට පත් වනු ඇත. මෙය විශාල ගැටලුවක්.”

මිනිසුන් තවමත් එය කරන්නේ ඇයි?

“අපට එම නාට්‍ය නැරඹීම අමතක කර දැමිය හැකි ව තිබුණි. නමුත් කිසිවෙකුට අපගේ කුතුහලය පරාජය කළ නොහැක. බාහිර ලෝකයේ සිදුවන්නේ කුමක්ද යන්න දැන ගැනීමට අපට අවශ්‍ය විය,” හියොක් පැවසීය.

අවසානයේ සිය රට පිළිබඳ සත්‍යය ඉගෙන ගැනීමෙන් පසු ඔහුගේ ජීවිතය වෙනස් විය. ඔහු අන්තර්ජාලයෙන් සොයාගත් බීජිංහි අධ්‍යාපනය ලැබීමට අවසර ලබා දුන් වරප්‍රසාද ලත් උතුරු කොරියානුවන් කිහිප දෙනාගෙන් කෙනෙකි.

“මුලදී මට එය විශ්වාස කළ නොහැකි විය . මම සිතුවේ බටහිර ජනයා බොරු කියන බවයි. විකිපීඩියාව බොරු කියනවා, මම එය විශ්වාස කරන්නේ කෙසේද? නමුත් මගේ හදවත සහ මොළය එක්නෙකට පරස්පර ව ක්‍රියාත්මක විය.”

මේ වන විට උතුරු කොරියානු දේශ සීමාවෙන් පිටතට යාමට කෙනෙකු උත්සාහ කළහොත් “වෙඩි තබා ඝාතනය කිරීමට” නියෝග ලැබී තිබේ. එහෙයින් රට හැර යාම කළ නොහැක්කකි. තම පවුල උතුරේ අතහැර යාමට සිදු වූ චෝයි මහතා විශ්වාස කරන්නේ නාට්‍ය එකක් හෝ දෙකක් නැරඹීමෙන් දශක ගණනාවක දෘෂ්ටිවාදාත්මක පාලනය පෙරළා නොයන බවයි.  කෙසේ වෙතත් ඔහු සිතන පරිදි උතුරු කොරියානුවෝ දැනටමත් රාජ්‍ය ප්‍රචාරණ සත්‍ය නොවන බව සැක කරමින් සිටිති.

පසුගිය වසර තුළ උතුරු කොරියාවේ සමහර බන්ධනාගාර කඳවුරුවල ප්‍රමාණය පුළුල් වී ඇති බව කියවෙන හෙයින් බාහිර ලොවට විශ්වාස කළ හැකි වනුයේ ඉහත කරුණ හැරුණු කොට දැඩි නව නීති ගණනාවක් ක්‍රියාත්මක වන බවයි.

ශ්‍රීනි ලංකා ජයකොඩි 

(බීබීසීය ඇසුරිනි.)

About The Author