Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

දෙවන ලෝක යුද්ධයේ දී අත්හදාබැලුණු අමානුෂිකත්වය.

නාසි හමුදාවේ නිළධාරියෙකු වූ වෛද්‍ය මැන්ගෙල් විසින් කරන ලද යුදෙව් මිනිසුන් පිළිබඳ බිහිසුණු අත්හදා බැලීම් පිළිබඳ අපි බොහෝ දෙනෙක් අසා ඇත්තෙමු. එනමුත් මිනිසුන් යොදා ගනිමින් කුරිරු අත්හදා බැලීම් සිදු කළ එකම කණ්ඩායම නාසීන් පමණක් නොවේ. දෙවන ලෝක යුද්ධය තුළ දී ජපන් හමුදාවේ 731 ඒකකය හරහා එතරම් ප්‍රසිද්ධ නොවූ අපරාධ බොහොමයක් සිදු විය. කෙටියෙන් කියතොත් මෙම ඒකකයේ ක්‍රියාකාරකම් පිළිබඳ සමහර තොරතුරු තවමත් අනාවරණය වී ද නොමැත.

731 ඒකකය ප්‍රථමයෙන් ආරම්භ කෙරුණේ පර්යේෂණ ඒකකයක් ලෙස ය. එයින් සොයා බැලුණේ ත්‍රිවිධ හමුදාවක සටන් හැකියාව කෙරෙහි රෝග හා තුවාලවල බලපෑම පිළිබඳ යි. මෙම ඒකකයට අයත් එක් අංශයක් “මරුටා” යනුවෙන් හැඳින්විණි. එයට සම්බන්ධ පර්යේෂකයින් සාමාන්‍ය වෛද්‍ය ආචාර ධර්මවල සුපුරුදු සීමාවන්ට වඩා මඳක් ඉදිරියට ගිය අතර හොඳින් සිටින මිනිසුන් හට වුවමනාවෙන් තුවාල සිදු කරමින් ඒවාට ඔවුන්ගේ ශරීරය දක්වන ප්‍රතිචාර අධ්‍යයනය කිරීමට උත්සාහ කෙරිණි.

මුල් අවස්ථාවේ දී, මෙම රෝගීන් හමුදාවේ ස්වේච්ඡා සේවකයන් වූ නමුත්, අත්හදා බැලීම් වඩ වඩාත් දරුණු වන්නට වන්නට ස්වේච්ඡා සේවකයන්ගේ සැපයුම අඩු වී ගියේ ය. 731 ඒකකය චීන බලඇණිවලින් පැහැරගත් සිරකරුවන් සහ සිවිල් වැසියන් වෙත යොමු වූයේ ඉන් පසු ය.

ඒ සඳහා සිරකරුවන්ගේ කැමැත්ත කිසිසේත් වැදගත් වූයේ නැත. මඳින් මඳ ඒකකයේ වැඩකටයුතු පර්යේෂණ අරමුණුවලින් ඔබ්බට ගොස් සිරකරුවන්ගෙන් පළි ගැනීම දක්වා දිගු විය. එහෙයින් අදාළ පර්යේෂණ ද පළිගැනීම උදෙසා සිදු කළ ක්‍රියාවන් බවට පත් විය. මෙම පර්යේෂණ විෂයයන් ජපන් භාෂාවෙන් “ලොග්” හෝ “මරුටා” ලෙස හැඳින්වීමට පටන් ගත්තේ මේ කාලයේ දී ය. 

731 ඒකකයේ අත්හදා බැලීම්වල අධ්‍යයන ක්‍රම වචනයේ පරිසමාප්ත අර්ථයෙන් ම ම්ලේච්ඡ විය. නිදසුනක් ලෙස “විවිසෙක්ෂන්” යනුවෙන් හැඳින්වුණු ක්‍රමය පෙන්වා දිය හැකි ය. එහි දී නිර්වින්දනය කිරීමකින් තොරව මිනිස් සිරුරු විකෘති කොට, ශරීර පද්ධතියේ ක්‍රියාකාරිත්වය අධ්‍යයනය කෙරිණි. තවත් පරීක්ෂණයක් වශයෙන් සිරකරුවන් හට හිතාමතා ම කොළරාව, ඇන්ත්‍රැක්ස් සහ වෙනත් මාරාන්තික වසංගත රෝග එන්නත් කරන ලදී. දිනෙන් දින ඔවුන්ගේ සිරුරු තුළට වසංගතය ඇතුළු වන අයුරුත්, ඒ හේතුවෙන් එම සිරකරුවන් ටිකෙන් ටික මිය යන ආකාරයත් නිරීක්ෂණය කෙරිණි. මරණයෙන් පසු සිරුර වියෝජනය වන අන්දම නැරඹීමට අවශ්‍ය වූ බැවින් දස වධ දී මරා දැමුණු සිරකරුවන්ගේ මළ සිරුරුවලටවත් සැනසිල්ලක් නොලැබිණි. මෙහි දී පිරිමින් සහ ගැහැනුන් දහස් ගණනක් පර්යේෂණාගාර මීයන් වශයෙන් යොදා ගැනුණු අතර වැඩිපුර ම සිටියේ චීන කොමියුනිස්ට් සිරකරුවන් ය.

තවත් ක්‍රමයක් වූයේ පණපිටින් සිටින පුද්ගලයෙකුගේ අත් පා කපා දමා ශරීරයේ අනෙක් පැත්තට නැවත සම්බන්ධ කොට, ඒවායේ ක්‍රියාකාරිත්වය අධ්‍යයනය කිරීම යි. කිසියම් හේතුවක් නිසා අත් පා පොඩි වී හෝ ශීතල වී ගිය පුද්ගලයින්ගේ ගැන්ග්‍රීන්වල (රුධිර සංසරණයේ අඩුවක් හෝ බැක්ටීරියාවක් හේතුවෙන් මිය ගිය පටක) ප්‍රගතිය නිරීක්ෂණය කිරීම සඳහා එම අවයවවලට සම්බන්ධ නහර අමු අමුවේ කපා දැමිණි.

සිරකරුවෙකුගේ සම්පූර්ණ ශරීරය ම නොයෙකුත් අත්හදාබැලීම් සඳහා භාවිත කොට අවසන් වූ පසු සාමාන්‍යයෙන් මාරාන්තික එන්නතක් ලබා දී හෝ වෙඩි තබා හෝ ඔවුන් මරා දමනු ලැබිණි. කෙසේ වුවත් ඇතැම් සිරකරුවන් පණපිටින් වළලනු ලැබූ බවට ද සාක්ෂි තිබේ. එකල 731 වන ඒකකයට අනුයුක්ත කර තිබුණු චීන, මොන්ගෝලියානු, කොරියානු හෝ රුසියානු සිරකරුවන්ගෙන් කිසිවෙකු ඔවුන්ගේ පර්යේෂණවලින් බේරී, සැනසිල්ලේ මිය ගියේ නැත.

ආයුධ පරීක්ෂණ

විවිධ ආයුධවල ඵලදායීතාව පිළිබඳ ජපන් හමුදාව පැහැදිලිව ම උනන්දු වූ බව පෙනේ. එහෙයින් ඒවායේ ඵලදායිතාව තීරණය කිරීම සඳහා, ඒකක 731ට අයත් පර්යේෂණාගාර භාවිත කෙරිණි. මෙහි දී සිරකරුවන් පෙළට සිටුවනු ලැබූ අතර වෙඩි තැබීම සඳහා එක් එක් දුරවල් අතර ඔවුන් රඳවනු ලැබිණි. පසුව පණපිටින් සිටියදී ම වෙඩි තබනු ලැබිණි. විවිධ පරාසයන්ගෙන් යුත් ජපන් අවි ආයුධ මෙම පර්යේෂණය සඳහා භාවිත විය. එහි දී විශේෂයෙන් අධ්‍යයනය කෙරුණේ විවිධ ආයුධවලින්, විවිධ දුර ප්‍රමාණවල දී ඇති විය හැකි තුවාලවල රටාව, බුලට්ටුවලින් සිරුර විනිවිද යාමේ ගැඹුර, ලේ ගලා යන ප්‍රමාණය හා මිය යාමට ගත වන කාලය යි. වෙඩි තැබුණු සිරකරුවන් ලේ ගලා මිය යන තුරු එසේ ම තබා සංසන්දනය කෙරිණි.

ජපන් හමුදාවෙන් අල්ලා ගන්නා ලද සිරකරුවන් හට සාමාන්‍යයෙන් මෙම පරීක්ෂණ සඳහා බැඳී සිටීමට සිදු විය. බයිනෙත්තු, කඩු සහ පිහි ද මේ ආකාරයට ම පර්යේෂණයට භාජනය කරන ලදී. ආවරණය වූ මෙන් ම නිරාවරණය වූ සම මතත් ගිනි විදින ආයුධවලින් ඇති විය හැකි පිළිස්සීම් සම්බන්ධයෙන් පරීක්‍ෂාවට ලක් කෙරුණේ ද මෙලෙස ම ය. එයට අමතර ව, ස්නායු කම්පනය කරන වායූන් හා සිරුර පුරා බිබිළි ඇති කරවන වායු කාරකයන්ට නිරාවරණය කොට පරීක්ෂණ සිදු කිරීම සඳහා ගෑස් කුටි ද සකස් කරන ලදී.

සිරුර තලා දැමූ විට ඇති විය හැකි තුවාල අධ්‍යයනය කිරීම සඳහා සිරකරුවන් මතට බර වස්තූන් හෙළනු ලැබිණි. කිසියම් පුද්ගලයෙකු හට ආහාර නොමැති ව කොපමණ කාලයක් ජීවත් විය හැකිදැයි දැන ගැනීම සඳහා සිරකරුවන් කාමරයක් තුළට කොටු කර, අගුළු දමා ආහාර හා ජලය ලබා නොදී මිය යන්නට හරින ලදී. දිනෙන් දින අඟුළු හැර බලා, මිය ගොස් සිටින හා මිය යමින් සිටින මිනිසුන්ගේ හැඟීම් නිරීක්ෂණය කෙරිණි. එලෙස සාගින්නේ තබන ලද ඇතැම් සිරකරුවන් හට මුහුදු ජලය පමණක් පානය කිරීමට අවසර දෙන ලදී. එසේත් නැතහොත් නොයෙක් වර්ගයේ එන්නත් ලබා දෙන ලදී. එහි දී සත්ත්ව රුධිරය සිරුර තුළට යැවුණු අතර රුධිර පාරවිලයනය හා කැටි ගැසීමේ ක්‍රියාවලිය අධ්‍යයනය කෙරිණි.

මේ අතර, දීර්ඝ කාලීන ව එක්ස් කිරණවලට නිරාවරණය වීමෙන් දහස් ගණනක් සිරකරුවෝ මිය ගියහ. අදාළ පර්යේෂණ සඳහා යොදා ගැනුණු විමෝචන තහඩු වැරැදි ලෙස පිහිටුවා තැබීම නිසා හෝ තනපුඩු, ලිංගේන්ද්‍රිය හා මුහුණට සමීප ව තැබීම නිසා දරුණු පිළිස්සුම් තුවාල ද ඇති විය.

ගුවන් නියමුවන් හා අධික උසක සිට වැටෙන පැරෂුට් භටයන් වෙත ක්‍රියා කරන ගුරුත්වාකර්ෂණ බලවේගයන්ගේ බලපෑම අධ්‍යයනය කිරීම සඳහා, 731 වන ඒකකය විසින් දැඩි පරිශ්‍රමයක් දරනු ලැබිණි. ඒ අනුව මිනිසුන් නොයෙක් ආකාරයේ යන්ත්‍රවලට සවි කොට අධික කේන්ද්‍රාපසාරී බලයක් ඇති වන සේ ඉතා වේගයෙන් කරකවනු ලැබිණි. මෙය ඔහු මිය යන තුරු ම කරකවන ලදී. කුඩා දරුවෝ මෙම අධික වේගය හේතුවෙන් අතිශයින් පීඩාවට පත් වූහ. තව ද ගුවන් යානයක් මාර්ගයෙන් සිරකරුවන් අහසේ ඉතා ඉහළට ගෙන ගොස්, කිසිදු ආධාරකයකින් තොර ව පහළට තල්ලු කරනු ලැබිණි. මෙය ද එම සිරකරුවන් මිය යන තුරු ම වරින් වර සිදු කෙරිණි. අදාළ පරීක්ෂණය මඟින් හදිසි අනතුරකින් බිම ඇද වැටෙන ගුවන් නියමුවන් හට ඇති විය හැකි තුවාල පිළිබඳ නිගමනය කරන ලදී.

වසර 40 ක් තිස්සේ “731 ඒකකයේ” බිහිසුණු ක්‍රියාකාරකම් සියල්ල දෙවන ලෝක යුද්ධයේ වඩාත් රහසිගත කරුණු ලෙස සඟවා තැබිණි. මෙම චෝදනා සියල්ල දිගු කලක් තිස්සේ ප්‍රතික්ෂේප කරමින් සිටි ජපානය අවසානයේ 1984 දී ඒවා පිළි ගත්තේ ය.

ශ්‍රීනි ලංකා ජයකොඩි.

About The Author