මේ වන විට ඉන්දියාවෙන් හඳුනාගෙන ඇති නව කොරෝනා වෛරස ප්‍රභේදය ලොව පුරා විද්‍යාඥයින් විසින් විමර්ශනය කෙරෙමින් පවතී. කෙසේ වෙතත්, මේ වන විට එය කොතරම් දුරට ව්‍යාප්ත වී ඇත් ද? යන්නත්, එය ඉන්දියාව මාරාන්තික සිව් වන රැල්ල දක්වා තල්ලු කරමින් සිටින බවත් ලොවට ම පැහැදිලි වී ඇත. පසුගිය සතිය වන විට ඉන්දියාවෙන් හමු වූ මුළු රෝගීන් ගණන 17,313,163ක් වූ අතර මරණ ගණන 195,123කි. ඔවුන් සිටින්නේ එක් දිනක් තුළ මිනිසුන් 5,000කටත් වඩා මිය යමින් සිටින අතිභයානක වාතාවරණයක් තුළ ය.
ඉන්දියාවේ නව ප්‍රභේදය කුමක් ද?
සාමාන්‍යයෙන් වෛරස සෑම විට ම විකෘති වෙමින් පවතින අතර, ඒ හරහා විවිධ අනුවාදයන් හෝ ප්රභේදයන් නිපදවයි. මෙම විකෘතිතා බොහොමයක් නොවැදගත් ඒවා වුව ද ඇතැමක් හේතුවෙන් වෛරසය තරමක් භයානක තත්වයකට පත් විය හැකිය.
වර්තමානයේ පැතිර යමින් පවතින නව කොවිඩ් 19 වෛරස ප්‍රභේදය නිළ වශයෙන් “B.1.617” ලෙස හැඳින්වෙන අතර එය පසුගිය ඔක්තෝම්බර් මාසයේ දී ප්‍රථම වරට ඉන්දියාවෙන් අනාවරණය විය.
එය කෙතරම් දුරට ව්‍යාප්ත වී තිබේ ද?
අදාළ ප්‍රභේදය කොතරම් දුරට හෝ ඉක්මණින් ව්‍යාප්ත වේ ද? යන්න තීරණය කිරීම සඳහා නියැදි පරීක්ෂණ ඉන්දියාව පුරා සිදු කෙරෙමින් පැවතුණ ද ඒවා ප්‍රමාණවත් නොවන බව පර්යේෂකයන්ගේ අදහස යි.
බටහිර ඉන්දියාවේ මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ ජනවාරි සිට මාර්තු දක්වා කාලය තුළ එකතු කරන ලද කොවිඩ් සාම්පල 361න් 220ක් තුළ ම මෙම නව ප්‍රභේදය අනාවරණය වූ බවට සාක්ෂි තිබේ. මේ අතර, GISAID ගෝලීය දත්ත ගබඩාවට අනුව ලොව පුරා අවම වශයෙන් රටවල් 21ක් තුළ එම නව වෛරසය ම හඳුනාගෙන තිබේ.
අන්තර්ජාතික සංචාරයකයින් විසින් මෙම ප්‍රභේදය එක්සත් රාජධානිය තුළට ගෙන එන ලද අතර, පෙබරවාරි 22 සිට මේ දක්වා එම ප්‍රභේදයට අයත් රෝගීන් 103 දෙනෙකු හඳුනාගෙන ඇත. එහෙයින් ඉන්දියාවේ සංචාරකයින්ට මේ වන විට බොහෝ රටවල්වලට ඇතුළ වීමට තහනම් කර ඇත.
ඉන්දියානු මහජන සෞඛ්‍යය ආයතනයට අනුව අදාළ ප්‍රභේදය “විමර්ශනයට ලක් කොට ඇති” ප්‍රභේදවලින් එකක් ලෙස ලැයිස්තුගත කර ඇති නමුත්, තවමත් ඔවුන් එය “භයානක ප්‍රභේදයක්” ලෙස වර්ගීකරණය කිරීමට තරම් බැරෑරුම් ලෙස සලකන්නේ නැත. එනමුත් දිල්ලි නගරයේ තත්ත්වය සැලකිල්ලට ගැනීමේ දී භයානක බව ඔප්පු කිරීම සඳහා තවත් ඉතිරි ව ඇත්තේ කුමක්දැයි සිතා ගත නොහැකි ය.
එය වඩාත් බෝවනසුලු ද?
මෙම ප්‍රභේදය වඩාත් බෝවනසුලු ද යන්න හෝ එන්නත්වලට ප්‍රතිරෝධී ද? යන වග පිළිබඳ පර්යේෂකයෝ තවමත් නොදනිති.
ලුසියානා ප්‍රාන්ත විශ්ව විද්‍යාලයේ, වෛරස පිළිබඳ විද්‍යාඥ, වෛද්‍ය ජෙරමි කමිල් පවසන්නේ එහි එක් විකෘතියක් දකුණු අප්‍රිකාවේ සහ බ්‍රසීලයේ දී හඳුනාගෙන ඇති ප්‍රභේදවලට සමාන බව යි. කෙසේ වුවත් මෙම විකෘතිය, සාමාන්‍ය වෛරසයට එරෙහි වීම සඳහා මිනිස් ප්‍රතිශක්තිකරණ පද්ධතිය තුළ නිපදවෙන ප්‍රතිදේහවලින් යටපත් කළ හැකි බව පෙනේ. එහෙයින් පෙර දී රෝගය වැළඳී හෝ එන්නත් කිරීම සිදු කරගෙන ඇත්නම් රෝගයට ගොදුරු වීම තරමක් අඩු වනු ඇත.
මේ වන විට වඩාත් කනස්සල්ලට පත් වීමට සිදු ව ඇති කරුණ වන්නේ එක්සත් රාජධානියෙන් හඳුනාගෙන ඇති ප්‍රභේදයකි. එය එරට තුළ ආධිපත්‍යය දරන අතර තවත් රටවල් 50කට වැඩි ගණනක් පුරා ව්‍යාප්ත වී ඇත. එම ප්‍රභේදය ලංකාවට ද පැමිණ තිබෙන බව කියවේ.
“ඉන්දියානු ප්‍රභේදය එක්සත් රාජධානියේ ප්‍රභේදයට වඩා බෝවනවාදැයි මට සිතේ. එනමුත් අප කලබල නොවිය යුතුයි.” වෛද්‍ය කමිල් පවසයි.
ඒ පිළිබඳ ජනතාවට දැනුමක් නැත්තේ ඇයි?
ඉන්දියානු ප්‍රභේදය පිළිබඳ ඇති දත්ත බොහොමයක් අසම්පූර්ණ බව විද්‍යාඥයෝ පවසති. සාම්පල ලැබී ඇත්තේ ද ඉතා ස්වල්පයකි. ඒ, ඉන්දියාවෙන් 298ක් සහ ලොව පුරා 656ක් වශයෙනි. ඉන්දියාවෙන් ප්‍රථම වරට වාර්තා වූ සිද්ධි කිහිපයෙන් පසු ලොව පුරා මෙම නව ප්‍රභේදය සහිත ආසාදිතයින් 400ක පමණ සංඛ්‍යාවක් අනාවරණය වී ඇති බව වෛද්‍ය කමිල් පවසයි.
නව රැල්ලට හේතුව කුමක් ද?
අප්‍රේල් 15 දින සිට ඉන්දියාව තුළ දිනකට කෝවිඩ් රෝගීන් 200,000ක් පමණ වාර්තා වන බව පෙනේ. එය පසුගිය වසරේ දිනකට වාර්තා වූ ආසාදිතයින් 93,000ට වඩා බෙහෙවින් වැඩි ය. එපමණක් නොව මරණ සංඛ්‍යාව ද ඉහළ යමින් තිබේ.
කේම්බ්‍රිජ් විශ්ව විද්‍යාලයේ සායනික ක්ෂුද්රජීව විද්‍යාව පිළිබඳ මහාචාර්ය, රවී ගුප්තා පවසන්නේ ඉන්දියාවේ අධික ජනගහණය හා දේශගුණික තත්ත්වය මෙම වෛරසයේ විකෘති ප්‍රභේද පැතිර යාම සඳහා සුදුසු ම වාතාවරණයක් සපයන බව යි.
කෙසේ වෙතත්, ඉන්දියාවේ කොවිඩ් රැල්ල ජනතාව විශාල වශයෙන් රැස්වීම නිසා සිදුවිය හැකි ය. තව ද මෙම වසරේ මුල සිට ක්‍රියාත්මක වෙමින් පැවතුණු එන්නත් ලබා දීමේ වැඩපිළිවෙළ හරහා ජනතාවගේ බිය අතුරුදන් වී ගොස් තිබේ. එහෙයින් මුඛ ආවරණ පැලඳීම හා සමාජ දුරස්ථ භාවය පවත්වාගෙන යාම කෙරෙහි ජනතාව තුළ එතරම් සරලකිල්ලක් නොමැති වීම ද අදාළ රෝගී තත්ත්වය තවදුරටත් ව්‍යාප්ත වීමට හේතුවක් වී ඇත.
නව කොවිඩ් රැල්ල ඉන්දියාව විනාශ කරයි ද?
“වෙල්කම් සැන්ගර්” ආයතනයේ ආචාර්ය, ජෙෆ්රි බැරට් පවසන්නේ නව ප්‍රභේදය හා රටක පසුබෑම අතර හේතු ඵලවාදී සම්බන්ධතාවක් තිබෙන බව යි. කෙසේ වුවත් මෙම තත්ත්වය මත ඉන්දියාව විනාශ වනු ඇත්ද? යන්න උපකල්පනය කිරීම සඳහා තවමත් සාක්ෂි නොමැත.
ඔහු පෙන්වා දෙන්නේ නව ඉන්දියානු ප්‍රභේදය පසුගිය වසරේ අග භාගයේ සිට පැවත එන බවයි.
“එම ප්‍රභේදය ඉන්දියාවේ නව රැල්ලට හේතු වී තිබේ නම් වර්තමාන තත්ත්වය දක්වා පැමිණීම සඳහා ගත වී ඇත්තේ මාස කිහිපයක් පමණි. එයින් කියැවෙන්නේ අදාළ ප්‍රභේදය B.117 ප්‍රභේදයට වඩා බලවත් බවයි.”
එන්නත් ලබා දීමේ වැඩපිළිවෙළ තවමත් ක්‍රියාත්මක වේද?
විද්‍යාඥයින් විශ්වාස කරන්නේ පවතින එන්නත් සියල්ල නව ප්‍රභේදය දරුණු වීම පාලනය කිරීම සඳහා උපකාරී වනු ඇති බව යි.
මහාචාර්ය ගුප්තා සහ ඔහුගේ සෙසු පර්යේෂකයන් විසින් “නේචර්”හි පළ කරන ලද ලිපියකට අනුව සමහර ප්රභේදයන් වර්තමාන එන්නත්වලින් අනිවාර්යයෙන් ම ගැලවී යනු ඇත. එහි ප්‍රතිඵලයක් වශයෙන්, දැනට සොයාගෙන තිබෙන එන්නත් වඩාත් ඵලදායී කිරීම සඳහා එනනතෙහි සැලසුම වෙනස් කිරීම අවශ්‍ය වේ.
කෙසේ වෙතත්, දැන් ලබා දී ඇති එන්නත් මඟින් නව ප්‍රභේදයේ පැතිරීම ද මන්දගාමී වනු ඇති බව දැන ගැන්මට ලැබීම සතුටට කරුණකි.
“මෙම එන්නත් හේතුවෙන් ආසාදිතයින් මිය යාමේ අවදානම අඩු වී ඇත. එනමුත් එයින් පවසන්නේ එන්නත ලබා ගත් සියලු දෙනාට කොවිඩ් 19 වෛරසය වැළඳෙන්නේ නැති බව නොවේ.” යනුවෙන් වෛද්‍ය කමිල් පවසයි.
“එබැවින් කරුණාකර ඔබට ලබා ගත හැකි පළමු එන්නත ලබා ගන්න. වඩාත් පරමාදර්ශී එන්නතක් ලබා ගැනීම වෙනුවෙන් බලා සිටීමේ වැරැද්ද නොකරන්න. කොවිඩ් 19 වසංගතයෙන් ලෝකය ගලවා ගැනීමට අපට සහාය වන්න.” වෛද්‍ය කමිල් ආයාචනා කරයි.
ශ්‍රීනි ලංකා ජයකොඩි
අත නොහැර කියවන තැන
ඉන්දියාවේ උමගක් තුළ සිරවුණු කම්කරුවන් බේරා ගැනීම ඇරඹෙයි
සිවු දින සටන් විරාමයකට කැමැත්ත
ඊශ්‍රායල් – හමාස් යුද්ධයට සටන් විරාමයකට යෝජනාවක්