Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

කැස්සට හෙරොයින් සිරප්.

හෙරොයින් යනු මත්ද්‍රව්‍යයක් බවට ඔබ එකඟ වනවා ඇත. ඒවා ස්වල්පයක් ළඟ තබා ගැනීම ද දඬුවම් ලැබිය හැකි වරදකි. එනමුත් මෙයට කිසියම් කාලයකට ප්‍රථම ජනතාවට සිය රටේ සාමාන්‍ය ෆාමසියකට ගොස් හෙරොයින් ඇසුරෙන් නිපදවා ඇති කැස්ස සිරප් මාත්‍රාවක් ලබා ගත හැකි කාලයක් තිබිණි. කණගාටුවට කරුණ නම්, මේ වන විට එවැනි ඖෂධයක් නිකමටවත් සෑදීමට වෛද්‍ය පර්යේෂකයන් උත්සාහ නොකිරීම යි. 

වර්තමානයට සාපේක්ෂව 19 වන හා 20 වන සියවස්වල විසූ වෛද්‍යවරුන් විවිධ වෛද්‍ය ප්‍රතිකාර වෙනස් ආකාරවලින් රෝගීන් හට ලබා දුන් ආකාරය පිළිබඳ බොහෝ සාක්ෂි හමු වී තිබේ. ජර්මානු ඖෂධ සමාගමක් වන “බේයර්”, 1890 ගණන්වල අගභාගයේ දී ඇස්ප්‍රීන් සහ හෙරොයින් සංයෝග කිරීම මඟින් ළමුන් තුළ වර්ධනය වන කැස්ස, සෙම්ප්‍රතිශ්‍යාව වැනි රෝග මැඬලීම සඳහා ප්‍රතිකාරයක් සූදානම් කළේය. මෙම සිරප් වර්ගය 1912 දක්වා ම භාවිතයට ගත් බව පෙනේ. එසේ වුවත් වැඩි දුර සොයා බැලීමේ දී අදාළ ඖෂධය මඟින් රෝගීන් සුව වනවාට වඩා හෙරොයින් නමැති මත්ද්‍රව්‍යට ඇබ්බැහි වීමක් සිදු ව තිබෙන බව ඔවුනට දැන ගන්නට ලැබී තිබේ. 

එසේ නම් වහා ම ක්‍රියාත්මක වන පරිදි හෙරොයින් කැස්ස සිරප් ඖෂධය ෆාමසිවල රාක්කවලින් ඉවත් කෙරෙන්නට ඇති බව ඔබ සිතනු ඇත. එනමුත් එසේ නො වීය. වෛද්‍යවරයෙකු විසින් ලියන ලද බෙහෙත් වට්ටෝරුවක් හරහා පමණක් ලබා දෙන පරිදි එය වෙළඳසල් තුළ දිගට ම අලෙවි විය. 1924 දී එෆ්. ඩී. ඒ. (Food and Drug Administration – ආහාර හා ඖෂධ පාලන නියාමන කොමිසම) හරහා ඖෂධය තහනම් කරන තෙක් ම ඕනෑම රෝගියෙකුට වෛද්‍යවරයෙකුගේ බෙහෙත් වට්ටෝරුවක් හරහා එම සිරප් වර්ගය ලබා ගත හැකි විය. ඒ හා සමාන ව, කොකේන් ද නිර්වින්දකයක් ලෙස භාවිත කරන ලද අතර, එය 19 වන සියවස තුළ පවා කෙටි කාලයක් සඳහා කොකාකෝලා බීම වර්ගය තුළ අඩංගු කෙරුණු අමුද්‍රව්‍යයක් විය.

අන්තිම ඩයට් ප්ලෑන් එක..

මේ වන විට ශරීරයේ ප්‍රමාණය හා බර පාලනය කිරීමේ නොතිත් ආශාවෙන් පෙළෙන්නන් වෙනුවෙන් ලොව පුරා පර්යේෂකයන් විසින් කුකී ඩයට්, ගෝවා සුප් ඩයට් සහ තවත් නොයෙක් ආකාරයන්ගේ හාස්‍යජනක ආහාර පාලන සැලසුම් රාශියක් හඳුන්වා දී තිබේ. එනමුත් “ලාස්ට් චාන්ස් ඩයට්” ලෙස නම් කර ඇති ආහාර පාලන උපක්‍රමය තරම් අන් කිසිවක් මාරාන්තික නොමැති බව පෙනේ. 

1976 දී ආචාර්ය රොබට් ලින් නමැති වෛද්‍යවරයා විසින් මෙම “ලාස්ට් චාන්ස් ඩයට්” සැලැස්ම අලෙවිකරමින් කියා සිටියේ නිරෝගී, සිහින් සිරුරක් ලබා ගැනීමට ඇති එකම ක්‍රමය නම් කිසිදු ආහාරයක් අනුභව නොකරමින්, ඔහුගේ “මැජික් ටොනික්” වර්ගය බීමට ගැනීම කියා ය. මෙම පානය “ප්‍රෝලින්” යනුවෙන් හැඳින්විණි. අදාළ පාලන ක්‍රමයේ ඇති සහනය වූයේ එම ක්‍රමය අනුගමනය කිරීමේ දී වැඩිපුර මුදල් හා කාලය වැය කරමින් ව්‍යායාම කිරීමට අවශ්‍ය නොවීම ය. එනමුත් ගැටලුව වූයේ “ප්‍රෝලින්” පානය තුළ අඩංගු වන්නේ ශක්ති කැලරි 400කටත් වඩා අඩු ප්‍රමාණයක් වීම යි. එය වැඩිහිටියෙකුගේ ශරීර ශක්තිය රැක ගැනීම සඳහා කිසිසේත් ම ප්‍රමාණවත් නොවී ය. 

මෙම “ප්‍රෝලින්” පානය මූලික වශයෙන් කොලැජන්වලින් සමන්විත වූ අතර සාමාන්‍ය ඝාතකාගාරයක දී මරා දැමුණු සත්ත්වයින්ගේ රුධිරය ද අඩංගු වී තිබිණි. තම්බා ආහාරයට ගත නොහැකි සත්ත්ව අපද්‍රව්‍ය පවා මෙම පානයට එකතු කර තිබිණි. අදාළ ඖෂධය පානයක් බවට පත් කළ පසු ඒවා රත්තරන් මෙන් විකිණිනි. කෙසේ වුවත් වෛද්‍ය ලින්ගේ ආහාර පාලන රටාව අනුගමනය කළ පුද්ගලයින්ගෙන් අවම වශයෙන් තිස් දෙනෙකුවත් මිය ගොස් තිබේ. එහෙයින් වසර කිහිපයක් ඇතුළත එෆ්. ඩී. ඒ. විසින් මෙම ඖෂධය හා ආහාර පාලන සැලැස්ම තහනම් කරන ලදී.

මත්පැන් පානයට ප්‍රතිකාර කිරීමට LSD

දිනපතා ලොව පුරා මිලියන සංඛ්‍යාත ජනතාවකට පීඩා කරමින් පවතින මත්පැන් පානයට ඇබ්බැහි වීම යනු බරපතල රෝගවලින් එකකි. එබැවින් මිනිසුන් එයට ප්‍රතිකාර කිරීම සඳහා සාම්ප්‍රදායික නොවන ක්‍රම වෙත යොමුවීම පුදුමයක් නොවේ. මේ සඳහා වෛද්‍ය ප්‍රතිකාරවලට සහභාගී වීමට අකමැති හෝ නොහැකි බොහෝ දෙනෙකු වෙනුවෙන් LSD ප්‍රතිකාරය හඳුන්වා දී තිබේ.

1960 ගණන්වල දී, “කිසියම් පුද්ගලයෙකු තුළ මත්පැන් පානයට ඇති ආශාව ඇසිඩ් පානය කිරීමෙන් මැඬපවත්වා ගත හැකි ද?” යන්න තීරණය කිරීම සඳහා පර්යේෂණ සිදු කරන ලදී. එනමුත් අධ්‍යයනයෙන් ලැබුණේ මිශ්‍ර ප්‍රතිඵල ය. එහෙයින් අදාළ පර්යේෂණ මෑතක් වන තුරු අත්හැර දමා තිබිණි. 2012 දී පමණක් තවත් පර්යේෂකයෝ පිරිසක් එසේ එකතු කරන තබා තිබුණු දත්ත ඇසුරින් නැවතත් පරීක්ෂණ ඇරඹූහ. පරෙවියන් යොදා ගනිමින් කළ මෙම පරීක්ෂණවල දී මත්පැන් පානය සඳහා හලූසිනොජෙනික් ඖෂධවල බලපෑම පිළිබඳ සොයා ගත හැකි විය. එනම්, එල්. එස්. ඩී. යන නමින් හඳුන්වන “ලිසර්ජික් ඇසිඩ් ඩයිතිලමයිඩ් (lysergic acid diethylamide) ය.

සහභාගී වූවන්ගෙන් 59%කට එය ඵලදායී බව ඔප්පු විය. එම නිසා ඖෂධය ප්‍රතිකාර සඳහා යොදා ගැනිණි. එනමුත් ආහාර හා ඖෂධ පාලන කොමිසම කිසිදු විටෙක මෙම ඇසිඩ් ප්‍රතිකාරය අනුමත නොකරන බව පිළිගත යුතුය. කෙසේ නමුත් එල්. එස්. ඩී. ප්‍රතිකාරයට අකැමැති පුද්ගලයින් සඳහා මීට සමාන ප්‍රතිඵල ලබා දෙන “නල්ට්‍රෙක්සෝන්” නම් විකල්ප ඖෂධයක් ද වෙළඳපොළෙහි දක්නට ලැබේ. මන්දයත් මෙම එල්. එස්. ඩී ප්‍රතිකාරය තුළ බොහෝ අතුරු ආබාධ තිබෙන බැවිනි. එල්.එස්. ඩී පමණක් නොව වෙනත් ඖෂධ පවා අනිසි ලෙස භාවිත කිරීම හරහා මානසික රෝග සහ නොයෙක් ආකාරයේ සෞඛ්‍ය ගැටලු හා සංකූලතා ඇති විය හැකිය.

ශ්‍රීනි ලංකා ජයකොඩි.

About The Author