Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

සජබය ඇතුලේ පාස්කු බෝම්බයක් පුපුරයි ද ?

සමඟි ජනබලවේගයේ නායක, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ එම පක්ෂයේ උප සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා මේ වන විට සීතල සටනක් නිර්මාණය වී ඇති බව මාධ්‍ය කිහිපයක වාර්තා කර තිබුණා.

මේ වන විට හරින් ප්‍රනාන්දු මහතාගේ මතවාදය සමග තවත් මන්ත්‍රීවරුන් 15 දෙනකුට ආසන්න පිරිසක් එකඟ වීම සමඟ තත්වය තව දුරටත් සංකීර්ණ වී ඇති බවටද තොරතුරු වාර්තා කර තිබුණා.

මෙයට ආසන්නතම හේතුව වී ඇත්තේ පාස්කු ප්‍රහාරය සම්බන්ධ සිදු වීමක් බවයි පැවසුනේ.

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් දිගින් දිගටම ආණ්ඩුව පාර්ශවයට චෝදනා එල්ල කරමින් හරින් ප්‍රනාන්දු මහතා කටයුතු කිරීම සම්බන්ධයෙන් අදහස් දක්වා ඇති විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සාක්ෂි සාධක නොමතිව රජය අපහසුතාවයට පත්වන ලෙස ක්‍රියා කිරීමට යාම දේශපාලන වශයෙන් අවාසි දායක වටපිටාවක් නිර්මාණය වන බව පෙන්වා දුන් බවයි එම වාර්තා වල දැක්වුණේ.

නමුත් හරීන් ප්‍රනාන්දු සජිත් ප්‍රේමදාස මහතාගේ මෙම ප්‍රතිචාරයට එරෙහිව ඇති අතර දිගින් දිගටම යුක්තිය වෙනුවෙන් පෙනී සිටින බව ද පවසා තිබෙන බවද එම වාර්තාවල සඳහන්.

මීට අමතරව පාස්කු ප්‍රාහාරය සම්බන්ධයෙන් වැදගත් තොරතුරු රැසක් සාකච්ජා කිරීම සදහා කතෝලික රදගුරු සම්මේලනය හමුවීමට සමගිජන බලවේගයේ මන්ත්‍රීවරු සූදානම් වී සිටියද අවස්ථා දෙකකදි එය වැළැක්වීමට සජිත් ප්‍රේමදාස මහතා ක්‍රියාකර ඇති බව‍ට චෝදනාවක් ද එල්ල වී තිබුණා.

කෙසේ වෙතත් පාස්කු දේශපාලන බෝම්බය මේ වන විට තිරය පිටුපස දේශපාලනය දැඩිව උණුසුම් කර තිබෙනවා.

මේ සම්බන්ධයෙන් පුවත් පත් සහ වෙබ් අඩවි කිහිපයක්ම පසුගිය සති අන්තයේදී තොරතුරු වාර්තා කල අතර පසුව හරීන් ප්‍රනාන්දු මහතා විසින් එම පුවත් ව්‍යාජ ඒවා බවට සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් පළකරමින් ප්‍රකාශ කලා.

ඔහු සඳහන් කළේ,

උපුටා ගැනීම..( හරින් ප්‍රනාන්දු මහතාගේ නිල Facebook ගිණුම)

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සහ එම ප්‍රහාරයට සම්බන්ධ පාර්ශවයන් සහ ආරක්ෂක අංශ අතර පැවතියායැයි පැවසෙන සම්බන්ධතා අනාවරණය කිරීම වහාම නතර කරන ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට බලපෑම් කරමින් සිටින බවට සහමුලින්ම අසත්‍ය,පදනම් විරහිත පුවතක් යම් යම් මාධ්‍යතුළ හුවමාරු වෙමින් තිබේ.

පළමුව මේ පුවත සහමුලින්ම අසත්‍ය,ව්‍යාජ පුවතක් බව පවසා සිටිමි.

විශේෂයෙන්ම පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් වූ විවාදයේදීත්,ඊට බාහිරව අවස්ථා රැසකදීත් මා සහ මනූෂ නානායක්කාර මන්ත්‍රීතුමා ඉතා තීරණාත්මක අනාවරණයන් සිදු කළ අතර ඒ සියල්ලට ආශිර්වාදය ලැබුනේත්,සහයෝගය ලැබුණේත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගෙනි.

ඒ සහයෝගය හේතුවෙන් මා සහ මනූෂ නානායක්කාර මහතා පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳව ආන්දෝලනාත්මක කරුණු රැසක් හෙලිදරව් කළෙමු.මන්ත්‍රීවරුන් විසින් කතෝලික සභාව හමුවී මෙම තොරතුරු දැනුම්දීම සදහා විශේෂ හමුවීමක් සංවිධානය කළ බවත් විවිධාකාර හේතු පවසමින් විපක්ෂ නායකවරයා කතෝලික රදගුරුවරුන් (BISHOP) හමුවීම ප්‍රතික්ෂේපකර ඇති බවටද එම ව්‍යාජ පුවත්වල ඇති අතර ඒවාද හුදෙක් කරුණු හරිහැටි නොදැන කරන ලද ව්‍යාජ හිතලු මිස සත්‍ය නොවේ.

මෙවැනි ව්‍යාජ පුවත් මවන්නන්ගේ කූඨ අරමුණු පිලිබදව අප විමතියට පත් නොවන අතර මෙවැනි ප්‍රලාප තුලින් අපගේ අරමුණු වෙනස් නොවන බවද දන්වා සිටිමු.

සත්‍ය එකින් එක හෙලිදරව්වක් වනවිට ආණ්ඩුව පත්වන දැඩි පීඩාකාරී තත්ත්වය මෙවැනි ව්‍යාජ පුවත් නිර්මාණය කිරීමෙන්ම පැහැදිලි වන අතර මේවායින් ගම්‍ය වන්නේ ඔවුන්ගේ අභියෝගය ඇත්තේ සමගි ජනබලවේගයේ බව ඔවුන් තේරුම් ගෙන ඇති බවය.

උපුටා ගැනීම අවසන්..

කෙසේ වෙතත් මේ වන විට වාර්තා වන තොරතුරු වලට අනුව පාස්කු ප්‍රාහාරය සහ තවත් කරුණු කිහිපයක් සම්බන්ධයෙන් සමගි ජනබලවේගය තුළ යම් තීරණාත්මක කතා බහක් නිර්මාණය වී ඇති අතර සජිත් ප්‍රේමදාස මහතා ට එරෙහිව මන්ත්‍රී කණ්ඩායමක් කටයුතු කරන බවටද තොරතුරු ලැබී තිබෙනවා.

“මම ඉස්සර හිටපු කැබිනට් ඇමති සජ්ත් ප්‍රේමදාස නෙමෙයි, මම දැන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස. ම එක්ක වැඩ කරන්න බැරි ය ඉන්නවනම් කකුලෙන් අදින්නේ නැතුව එලියට බහින්න” යනුවෙන් හම්බන්තොට ප්‍රදේශයේ පවතී උත්සවයකදී ප්‍රේමදාස මහතා අදහස් පළකිරීමද මේ මෙම සිදු වීම් දාමය සමඟ බැදී පවතින බවද වාර්තා වනවා.

එමෙන්ම විපක්ෂය තුළ සිදුවන ඇතැම් සිදු වීම් අතිශෝක්තියෙන් සමාජගත කර විපක්ෂය තවදුරටත් දුර්වල කරමින් අභ්‍යන්තර අර්බුද නිර්මාණය කිරීමේ උත්සයක්ද මේ පිටුපස ඇති බවට තොරතුරු ද වර්තාවනවා.

About The Author