Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

රෝහල් වලින් රෝගීන් හරවා යවලා , එහෙම කරන්න එපා කියා වසංගත රෝග අංශ ප්‍රධානියා වෛද්‍යවරුන්ට පණිවිඩ එවයි – සියල්ල පඹ ගාලක ද ?

මේ වන විට ඇතැම් රෝහල් වලින් කොරෝනා ආසාදීත රෝගීන් බැහැර ගැනීම ප්‍රතික්ෂේප කිරීමේ සිදුවීම් කිහිපයක් පිළිබඳ තමන්ට තොරතුරු ලැබී ඇති බව වසංගත රෝග විද්‍යා ඒකකයේ ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ, වෛද්‍ය සුදත් සමරවීර මහතා පවසනවා.

ඔහු පවසන්නේ රෝගීන් රෝහල් වලට භාර නොගැනීම සම්බන්ධයෙන් මේ වන තෙක් තීරණයක් ගෙන නොමැති බව තමන් විසින් තහවුරු කර ගත බවයි.

එවැනි තීරණයක් ගනු ලැබුවේ නම් එය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්ගේ අත්සන යටතේ චක්‍රලේඛයක් ලෙස ප්‍රකාශයට පත් කළ යුතු බවද ඔහු සඳහන් කර තිබෙනවා.

වෛද්‍ය සුදත් සමරවීර මහතා මේ බව සඳහන් කරන්නේ දිවයිනේ සියලුම පළාත් සහ දිස්ත්‍රික්ක වල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් වෙත විශේෂ පණිවිඩයක් යොමු කරමින්.

මෙම පණිවිඩය WhatsApp හරහා යොමු කර තිබුණා.

අදාල පණිවිඩයේ සංක්ෂිප්ත සිංහල පරිවර්තනය..

පළාත් සහ දිස්ත්‍රික්කවල සියලුම ප්‍රජා වෛද්‍යවරු
සියලුම ප්‍රාදේශීය වසංගත රෝග විද්‍යාඥයින් වෙත,

කොරෝනා අසාදනය වූ රෝගීන්ට නිවසේ රැඳී සිටීමට අවසර දී ඇතැයි විශ්වාස කරමින් අසාදිත රෝගීන් රෝහල් / අතරමැදි සත්කාර මධ්‍යස්ථානවලට ඇතුළත් කිරීම ප්‍රතික්ෂේප කරන බවට අපට ක්ෂේත්‍රයෙන් පැමිණිලි ලැබී තිබේ. මෙය ඇතැම් මාධ්‍ය මගින් කොරෝනා ආසාදිත රෝගීන් සඳහා නිවෙස් තුළ නිරෝධායනය වන්නට අවස්ථාව හිමිවන බවට වාර්තා කල ප්‍රවෘත්තිය නිසා ඇති වූ ව්‍යාකුල තත්වයක් විය හැක.

මම මේ පිළිබඳව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා සමඟ සාකච්ඡා කළ අතර සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් එවැනි තීරණයක් ගෙන නොමැති බව ද තහවුරු කර ගත්තා. එවැනි පියවරක් ගැනීම සුදුසු සහ ඵලදායී වන්නේ නම් එය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්ගේ අත්සන යටතේ චක්‍රලේඛයක් ලෙස ප්‍රකාශයට පත් විය යුතුය.

එමනිසා, වර්තමාන භාවිතයේ කිසිදු වෙනසක් නොමැති අතර සියලුම කොරෝනා ආසාදිතයින් හැකි ඉක්මනින් රෝහලකට හෝ අතරමැදි සත්කාර මධ්‍යස්ථානයකට ඇතුළත් කළ යුතුය. කරුණාකර ඔබේ ප්‍රදේශයේ සිටින සියලුම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන්ට සහ අදාළ අංශවලට මේ පිළිබඳ දැනුම් දෙන්න.

එක් අංශයකින් මෙය සියලුම රෝගීන්ගේ ප්‍රතිකාර ප්‍රශස්ත මට්ටමක පවත්වා ගැනීම සඳහාත් , අවදානම් සහ සංකූලතා කල් තියා හඳුනා ගැනීම සඳහාත්, රෝගීන්ගේ මරණය වැළැක්වීම සඳහාත් කාලෝචිත දෙයකි.

අනෙක් අතට එය අනෙකුත් සමීප මිතුරන් / පවුලේ සාමාජිකයින්ට ආසාදනය සම්ප්‍රේෂණය වීම වැළැක්වීමට උපකාරී වේ.

කරුණාකර මෙම පණිවිඩය අදාළ රෝගීන්ට සහ ඔවුන්ගේ පවුල්වලට තේරුම්ගත හැකි පරිදි ලබා දෙන ලෙසත් ප්‍රජා වෛද්‍ය නිලධාරීන් සහ මහජන සෞඛ්‍ය පරික්ෂවරුන් ඇතුළු කාර්ය මණ්ඩල දැනුවත් කිරීමට පියවර ගන්නා ලෙසත් දැනුම් දෙමි.

ඔබට ස්තුතියි, වෛද්‍ය සුදත් සමරවීර ( MBBS, MSc, MD, PhD), ප්‍රධාන වසංගත රෝග විද්‍යා, වසංගත රෝග විද්‍යා ඒකකය, සෞඛ්‍ය අමාත්‍යාංශය

231, ද සේරම් පෙදෙස, කොළඹ 10

දුරකථන: +94112395112; +94112681548; +94114740490

ෆැක්ස්: +94112696583

About The Author