Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

පොලිසිය කොරෝනා මැද මිනී මරනවා ද ? රටම අපකීර්තියට පත්වෙයි

සංවිධානාත්ම අපරාධ කල්ලි සාමාජිකයෙකු වන කොස්ගොඩ තාරක හෙවත් තාරක විජේසේකර ද පොලිසිය විසින් ඝාතනය කර තිබෙනවා.

පොලිසිය පවසන ආකාරයට ඒ අද අළුයම් කාලයේ මීරිගම ප්‍රදේශයේ සිදුකළ මෙහෙයුමක් අතරතුර පොලිස් නිලධාරීන්ගෙන් මිදී පළා යාමට උත්සාහ කිරීමේදී පොලිසිය තැබූ වෙඩි පහරකින්. 

මෙය පැහැදිලිවම සැලසුම් ගත මනුෂ්‍ය ඝාතනයක් බවට තර්කයක් ගොඩ නැගී තිබෙන්නේ ඊයේ රාත්‍රියේදී ඔහු මරා දැමීමේ සුදානමක් ඇති බව පෙර දිනය පුරාම ඔහුගේ පවුලේ හිතවතුන්, නීතිඥයින් මෙන්ම ප්‍රසිද්ධ ජනමාධ්‍ය ඔස්සේද වාර්තා කර තිබු තත්වයක් තුළ මෙම ඝාතනය සිදු වීමයි.

අනෙක් බරපතල කරුණ වන්නේ පෙර දින (11) රාත්‍රියේදී ඌරු ජුවා ලෙස හැදින්වෙන ඩිනෙත් මෙලාන් නම් පාතාල කල්ලි සාමාජිකයෙකු බව කියවෙන තරුණයෙකු වෙඩි තබා ඝාතනය කිරීමයි.

එම ඝාතනයේ උණුසුම පහව යාමටත් පෙර තවත් එවැනිම ඝාතනයක් සිදුවන්නට පොලිසිය අවශ්‍ය වට පිටාව නිර්මාණය කරන්නේ ඇයි?

මෙලෙස නිරායුධ පුද්ගලයන් ආයුධ පෙන්වීමට කියා රැගෙන ගොස් මරා දැමීමේ ඉතිහාසය අද ඊයේ උපත ලබන්නක් නොවේ.

2009 වසරෙන් පසු පොලිසිය සහ බන්ධනාගාර වල සිටි නිරායුධ පුද්ගලයින් 60 කට වැඩි පිරිසක් මේ අයුරින් මරා දමා තිබෙනවා.

අනෙක් බරපතලම කරුණ වන්නේ මෙම ඝාතනයන් බොහොමයක් එකම ආකාරයකට සිදු වීමයි.

එනම් අදාළ සිරකරු ආයුධ පෙන්වීමට ගොස් ආයුධයක් ගෙන පොලිසියට පහර දීමට තැත්කිරීමේදී පොලිසිය ආත්මාරක්ෂාවට එල්ල කළ ප්‍රති ප්‍රහාරයෙන් අදාළ පුද්ගලයා මිය යාමයි.

වර්තමානය වන විට මෙය විහිළු කතාවක් බවට පත්ව තිබෙනවා.

මෙලෙස මිය යන පුද්ගලයන්ගෙන් බොහෝ දෙනෙකු අපරාධකරුවෙකු ලෙස සමාජයේ හංවඩු ගැසී ඇති බැවින් එම මනුෂ්‍ය ඝාතනයන් සම්බන්ධයෙන් සමාජයේ විශාල විරෝධයක් එල්ල නොවීමද පොලිසියේ වාසියටම හේතු වී තිබෙනවා.

පසුගිය රජය සමයේ විශාල ප්‍රයත්නයක් දරා ඩුබායි සිට මෙරටට රැගෙන ආ මාකඳුරේ මදුෂ් වෙඩි තබා ඝාතනය කිරීමද පොලිසියේ ගිණුමට ම බැර වී ඇති බව මේ වන විට පැහැදිලිවම කියවෙනවා.

ජනාධිපති නීතිඥ ටිරන්ත වලලියද්ද මහතා පැහැදිලිවම පවසන්නේ මාකඳුරේ මදුෂ් ඝාතනය පොලිසියේ ක්‍රියාවක්ම බවයි.

මෙලෙසින් පොලිසිය භාරයේ සිටින පුද්ගලයින්ගේ ජීවිත සිය අභිමතය පරිදි උදුරා ගැනීමේ හැකියාව හෝ අයිතිය පොලිසියට ලැබුනේ කෙසේද?

පොලිස් බල ඇණියකට තමන් භාරයේ සිටින එක සිරකරුවෙකු පාලනය කර ගැනීමට හෝ ඔහු ආරක්ෂා කරගත නොහැකි තත්වයක් තිබේ නම් සාමාන්‍ය ජනතාවගේ ආරක්ෂාව පිළිබඳ කවර කතාද?

සමාජය පුරා බොහෝ පිරිසක් පවසන පරිදි පොලිසියේ මේ අතේ පැලවෙන බොරු විගඩම් කතාව සහ මෙම ඝාතන ශ්‍රී ලංකාව ජාත්‍යන්තර වශයෙන්ද අපකීර්තියට පත් කර තිබෙනවා.

මෙම ක්‍රියාවලියේදී මහා පරිමාණ අපරාධකරුවන් සතු සාක්ෂි හිතාමතා විනාශ කර දැමීම සිදුවන බවට චෝදනා එල්ල වන අතර ඔවුන් විසින් හෙළි කරන පොලිසියට, ව්‍යාපාර කේෂ්ත්‍රයට, දේශපාලන කේෂ්ත්‍රයට සම්බන්ධ බලවතුන්ගේ තොරතුරු විනාශ කර දැමීම සිදු කරන බවට බරපතල චෝදනාවක් ද පොලිසියට එල්ල වී තිබෙනවා.

අනෙක් බරපතල කරුණ වන්නේ වෙනත් පාතාල කල්ලි නායකයින් ශක්තිමත් කිරීම වෙනුවෙන් ඔවුන්ට පස මිතුරු පාතාල කල්ලි සාමාජිකයින් ඝාතනය කිරීමේ කොන්ත්‍රාත්තුව පොලිසිය විසින් භාර ගෙන ඇති බවට නැගෙන චෝදනාවයි.

කෙසේ වෙතත් මෙම මනුෂ්‍ය ඝාතන සිත මතා සහ සැලසුම් සහගතව පොලිසිය විසින් සිදු කරන බවට ඔවුන්ට එරෙහිව සමාජයෙන් මේ වන විට එල්ල වන චෝදනාව සුළු පටු නැහැ.

About The Author