Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

පාර්ලිමේන්තු පොකුරේ ප්‍රතිඵල පිටවෙයි – මුල 06ක් ම සජබෙන්, අන්තිම 10ත් වැදගත්

මහජන ඡන්දයෙන් ජනතා පරමාධිපත්‍ය බලය නියෝජනය කිරීම සඳහා තේරී පත්වන පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුට පැවරෙන රාජකාරිය සුළු පටු නැහැ.

නීති සම්පාදන කාර්යයට මැදිහත් වීමේ සිට තමන් නියෝජනය කරන ප්‍රදේශයේ පක්ෂ විපක්ෂ සියලු ජනතවගේ ප්‍රශ්න වෙනුවෙන් සක්‍රිය මැදිහත්වීමක් සිදුකිරීම ඇතුළු වගකීම් ගණනාවක් ඔවුන්ට පැවරෙනවා.

යම් පක්ෂයක් ජාතික ලැයිස්තුව මගින් ලබා දෙන මන්ත්‍රී ධුරයක් සඳහා ද පැවරෙන්නේ එයට නොදෙවෙනි වගකීමක්.

සැබෑ ලෙසම එම වගකීම මෙවර පාර්ලිමේන්තුවට තේරී පත් වූ මහජන නියෝජිතයන් අතින් ඉටුවනවා ද?

මේ අප ඒ පිළිබඳ කළ සොයාබැලීමක්..

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු තම යුතුකම සහ වගකීම මෙන්ම වගවීමේ කාර්යයද ඉටු කරන්නේ කෙසේද? එය මැන බලන්නේ කෙසේද?

අදාළ මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවට පැමිණ තමා බලයට පත් කර එවූ ජනතාව වෙනුවෙන් සිදුකරන කාර්ය භාරය ජනතා පරමාධිපත්‍ය බලය සහ නියෝජන ප්‍රජාතන්ත්‍රවාදය පිළිගනු ලබන සමාජයක ඉතාමත් වැදගත් කරුණක්.

එහිදී අදාළ මන්ත්‍රීවරයාගේ පාර්ලිමේන්තු පැමිණීම, විවිධ මාතෘකා පිළිබඳ සාකච්ඡා කරමින් ඒ සඳහා මැදිහත් වීම,තම ප්‍රදේශයේ ජනතා ගැටළු පිළිබඳ පාර්ලිමේන්තුවේ අවධානය යොමු කරවීම, පොදු ප්‍රශ්න පිළිබඳ විමසමින් ඒවාට පිළිතුරු ලබා ගැනීම ඇතුළු අංශ ගණනාවක් පිළිබඳ අපට අවධානය යොමු කිරීමට පුළුවන්.

ඒ අනුව සමස්තයක් ලෙස ඉහත දක්වන ලද ප්‍රධාන කරුණු ඇතුළුව පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස සක්‍රිය විය හැකි ක්ෂේත්‍ර සියල්ල ඔස්සේ වඩාත්ම සක්‍රිය පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා සහ මන්ත්‍රීවරුන් කවුද?

එලෙස සක්‍රිය වීමේ ධාරිතාවය අතින් අවසාන නියෝජනය කාගේ විය හැකිද යන්න දැන ගන්නට, තමන් නොමැති තැන තමන් සුරක්ෂිත් කිරීම වෙනුවෙන් බලය පවරා නියෝජිතයින් 225 දෙනෙකුගෙන් යුත් පොකුරක් පාර්ලිමේන්තුවට යැවූ රටේ සමස්ත ඡන්ද දායකයින් තුළ ඇත්තේ විශාල කුතුහලයක්.

2020.08.20 දින සිට බලාත්මක වූ මෙරට නමවන පාර්ලිමේන්තුව තුළ,

  • ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ නියෝජනය කරමින් මන්ත්‍රීවරු 145ක්,
  • සමගි ජන බලවේගය වෙනුවෙන් 54ක් ,
  • ඉලංකෙයි තමිල් අරසු කච්චි වෙනුවෙන් 10ක්,
  • ජාතික ජන බලවේගයෙන් 03ක්,
  • ඊලාම් ජනතා ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය නියෝජනය කරමින් 02ක්,
  • අකිල ඉලංකෙයි තමිල් කොංග්‍රස්ය වෙනුවෙන් 02 ක් සහ තමිළ් මක්කල් විඩුදලෛප් පුළිකල්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය , මුස්ලිම් ජාතික සන්ධානය, තමිල් මක්කල් තේසිය කූට්ටනි, අහිල ඉලංගෙයි මහජන කොංග්‍රසය, ජාතික කොංග්‍රසය, ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය, එක්සත් ජාතික පක්ෂය ( මෙතෙක් පත් කර නැහැ), අපේ ජන බල පක්ෂය යන පක්ෂවලට හිමිවූ එක් මන්ත්‍රී ධුරය බැගින් මන්ත්‍රීධුර 225 බෙදී ගොස් තිබෙනවා.

එක්සත් ජාතික පක්ෂය මෙතෙක් තමන්ට හිමිවූ ජාතික ලැයිස්තු මන්ත්‍රීධුරය සඳහා කිසිවෙකු පත් නොකිරීම හේතුවෙන් මෙම සමීක්ෂණයට බඳුන් වන්නේ මන්ත්‍රීවරුන් 224 දෙනෙකු පමණයි.

මෙන්න ප්‍රතිඵල..

එකට, බුද්ධික

ඒ අනුව ශ්‍රී ලංකාවේ නමවන පාර්ලිමේන්තුව තුළ වඩාත් සක්‍රියම මන්ත්‍රීවරුන් අතර 01 වන ස්ථානය හිමිව ඇත්තේ ඇත්තේ සමගි ජනබලවේගය නියෝජනය කරන මාතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිරණ මහතාටයි.

02 වන ස්ථානය ජාතික ජන බලවේගය පක්ෂයේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතාට හිමිව තිබෙනවා.

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා ශ්‍රේණිගත කිරීම වල 03 වන ස්ථානයට පත්ව ඇති අතර විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා 04 වන ස්ථානයේ පසුවනවා.

ශ්‍රේණිගත කිරීම් වල 05 ස්ථානය ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණු ජාතික ලැයිස්තු මන්ත්‍රී  මුදල් හා ප්‍රාග්ධන වෙළඳපළ සහ රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතාට හිමිව ඇති අතර එතැන් පටන් 06, 07, 08,09 යන ස්ථාන සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් විසින් හිමිකරගෙන තිබෙනවා.

10 වන ස්ථානයේ පසුවන්නේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතායි.

අන්තිමයා ටිරාන් අලස්

මෙම ශ්‍රේණිගත කිරීම් අනුව 224 වන ස්ථානය නැත්නම් අවසන් ස්ථානයට පත්ව ඇත්තේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණු ජාතික ලැයිස්තු මන්ත්‍රී ටිරාන් අලස් මහතායි. ඔහු එකදු වාරයක් හෝ පාර්ලිමේන්තුව නියෝජනය කර නැහැ.

223 වන ස්ථානය මුස්ලිම් ජාතික සන්ධානයේ පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අලි සබ්රි රහීම් මහතාට හිමිව ඇති අතර තමිළ් මක්කල් විඩුදලෛප් පුළිකල් නියෝජනය කරමින් මඩකලපුව දිස්ත්‍රික්කයෙන් තේරී පත් වූ සිවනේෂතුරෙයි චන්ද්‍රකාන්තන් (පිල්ලයාන්) මන්ත්‍රීවරයාට හිමිව ඇත්තේ 222 වන ස්ථානයයි.

දිස්ත්‍රික් මනාප ලැයිස්තුවේ ඉහලම මනාපයෙන් පාර්ලිමේන්තු පැමිණ ශ්‍රේණිගත කිරීමෙන් පහලම දස දෙනා අතරට ගිය අය

මෙවර මහා මැතිවරණ මනාප ලැයිස්තුව අනුව ඇතැම් දිස්ත්‍රික්ක වල සිටි ජ්‍යෙෂ්ඨ දේශපාලන නායකයින් පවා අභිබවමින් පෙරමුණට පැමිණි නවක පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකුම මෙම ශ්‍රේණිගත කිරීමේ අවසන් දස දෙනා අතරට පත්ව සිටීම ද විශේෂත්වයක්.

දෙන්නෙක් දකුණේ

මාතර දිස්ත්‍රික්කයේ වැඩිම මනාප හිමි කරගනිමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට තේරී පත්වූ නිපුන රණවක මහතා සිටින්නේ ලයිස්තුවේ 220 වන ස්ථානයේයි.

ඔහු පාර්ලිමේන්තුවට පැමිණ ඇත්තේද වාර දෙකක් සඳහා පමණයි.

එමෙන්ම දිස්ත්‍රික්කයේ දෙවන ස්ථානයට මනාප ලබාගත් කරුණාදාස කොඩිතුවක්කු (ෂර්ට් කරූ) මහතා සිටින්නේ 215 වන ස්ථානයේයි.

මොනරාගල පළවෙනියත් අන්තිම ගොඩේ

මොනරාගල දිස්ත්‍රික්කයේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මනාප ලයිස්තුවේ ප්‍රථම ස්ථානය හිමිකරගත් ශෂින්ද්‍ර රාජපක්ෂ මහතාගේ පාර්ලිමේන්තුව තුළ සක්‍රියත්වය අනුව ඔහු ද සිටින්නේ 214 වන ස්ථානයේ යි.

© මුලාශ්‍ර – Manthri.lk සහ පාර්ලිමේන්තු නිල වෙබ් අඩවිය

About The Author