Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

විමල්ගේ සිගරට්ටුවෙන් ආණ්ඩුව ඇවිලෙයි – ලෝක සෞඛ්‍ය සංවිධානයෙනුත් බාල්දියක්

පසුගියදා මාධ්‍ය හමුවකට එක්වෙමින් කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා ප්‍රසිද්ධියේ දුම් පානය කිරීමේ සිදුවීම සහ එලෙස පානය කළ සිගරැට්ටුව ආයුර්වේද සිගරැට්ටුවක් ලෙස ජනගත කිරීමේ උත්සාහය මේ වන විට බරපතළ අර්බුධයක් බවට පත්ව තිබෙනවා.

ඒ මෙරට වෛද්‍යවරුන් , අමද්‍යප සංවිධාන ඇතුළු පාර්ශව රැසකගේ විරෝධය ඊට එල්ල වීම හේතුවෙන්.

මෙහි බරපතළම සිදුවීම වන්නේ ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් මේ සම්බන්ධයෙන් දක්වා ඇති බරපතල ප්‍රතිචාරයයි.

ඒ ලෝක සෞඛ්‍ය සංවිධානය හරහා මෙරට දුම්වැටි පාලනය සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ලබාදෙන අරමුදල් අත්හිටුවීමට සිදුවිය හැකි බවට කළ අනතුරු ඇඟවීමයි.

දම්පල් දරුවන් විමල්ට එරෙහිව පොලිසි යයි

දම්පල් දරුවෝ ජාතික සංවිධානය විසින් අමාත්‍ය විමල් වීරවංශ මහතාට එරෙහිව පොලිස් මූලස්ථානයට පැමිණිල්ලක් සිදු කර තිබෙනවා.

ඔවුන් පෙන්වා දෙන්නේ ඇමතිවරයා ඇතුළු පිරිසක් මාධ්‍ය හමුවක් පවත්වා මෙරට දුම්කොළ හා මධ්‍යසාර පිළිබඳ අධිකාරිය පනතෙහි විධිවිධාන උල්ලංඝනය කළ බවයි.

ඒ සම්බන්ධයෙන් කඩිනම් පරීක්ෂණයක් පවත්වා නීතිමය ක‍්‍රියාමාර්ග ගන්නැයිද ඔවුන් සිය පැමිණිල්ල මගින් ඉල්ලා සිටිනවා.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ විරෝධය

කර්මාන්ත ඇමැති විමල් වීරවංශ විසින් පසුගියදා සිදුකළ කුරුඳු දුම්වැටි ප්‍රවර්ධනය හේතුවෙන් ශ්‍රී ලංකාවේ දුම්කොළ පාලනය සඳහා ලබාදෙන ලෝක සෞඛ්‍ය සංවිධානයේ අරමුදල් අත්හිටුවනු ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානයේ මෙරට නියෝජිත තිරුපති සුවීන්ද්‍රන් මහතා ප්‍රකාශ කර තිබෙනවා.

‘‘ශ්‍රී ලංකාව මීට පෙර දුම්කොළ පාලන ක්‍රියාවලිය තුළ යම් සාධනීය තත්වයන් ප්‍රදර්ශනය කර තිබෙන බවයි ඔහු පෙන්වා දී ඇත්තේ.

නමුත් ආණ්ඩුව නියෝජනය කරන අමාත්‍යවරයෙකු විසින්ම මෙලෙස දුම්වැටි ප්‍රවර්ධනය කිරීමට යාම තුළ සියලු තත්වයන් තත්ත්වය වෙනස් වන බවයි ඔහු පෙන්වා දී ඇත්තේ.

ඒ පසුගියදා (24) කොළඹ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින්.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ දුම්කොළ පාලනය පිළිබඳ සම්මුතිය (FCTC) යටතේ ක්‍රියාත්මක 2030 දක්වා වූ ව්‍යාපෘතිය හරහා ශ්‍රී ලංකා රජයේ වසර 04ක් තිස්සේ ආධාර ලැබී ඇතැයි ද එම ආධාර තවත් වසරක දුම්කොළ පාලන වැඩපිළිවෙළ වෙනුවෙන් දීර්ඝ කර ඇතැයි ද හෙතෙම වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.

ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය සහ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයත් එරෙහි වෙයි.

මේ අතර කුරුඳු දුම්වැටි අලෙවි කිරීමේ යෝජනාව පිළිබඳව නිවේදනයක් නිකුත් කරන ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය පවසන්නේ කැබිනට් ඇමැතිවරයකු ද මැදිහත්ව ‘‘කුරුඳු දුම්වැටිය දුම්කොළ පාලනයට හානි රහිත විකල්පයක්’’ යනුවෙන් කෙරෙන ප්‍රචාරය සාවද්‍ය එකක් බවයි.

මෑතකදී සිදුකළ පර්‌යේෂණයකදී හෙළිවී ඇති ආකාරයට කුරුඳු දහනයෙන් පෙනහළුවල පටකවලට සැලකිය යුතු හානියක් සිදුවන බවද එම සංගමය පෙන්වා දෙයි. එමනිසා මෙම ප්‍රවර්ධනය තුළින් තරුණ ප්‍රජාව අතර දුම්පානයට උනන්දුවක් ඇතිකරවන බවද වෛද්‍ය සංගමය වැඩිදුරටත් ප්‍රකාශ කරයි.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයද මෙම ක්‍රියාවට දැඩි අප්‍රසාදය පළ කර තිබෙනවා.

මෙම තත්වය තුළ ආණ්ඩුව තුළින්ම විමල් වීරවංශ මහතාගේ ක්‍රියාවට විරෝධයක් එල්ල වී ඇති අතර මාධ්‍යවේදීන් විසින් මේ සම්බන්ධයෙන් ආණ්ඩුවේ මැති ඇමතිවරුන්ගෙන් විමසන ප්‍රශ්න වලට පිළිතුරු දීම පවා ප්‍රතික්ෂේප කරමින් සහ මාධ්‍ය මගහරිමින් යාමට සිදුව ඇති බවයි වාර්තාවන්නේ.

අප වෙත අදහස් දැක්වූ ආණ්ඩු පක්ෂයේම අමාත්‍යවරයෙකු සඳහන් කළේ විමල් වීරවංශ මහතා සිතාමතාම මෙම ක්‍රියාව සිදු කර ඇති බවයි.ඒ මගින් මෙවැනි ප්‍රතිචාර ඔහු බලාපොරොත්තු වූ බවත් පසුගිය කාලයේ ඔහු පිළිබඳ මතුවූ කතා බහ යටපත් කිරීම මෙහි අරමුණ වූ බවත් අදාළ අමාත්‍යවරයා පවසනවා,

කෙසේ වෙතත් මෙවැනි ක්‍රියා නිසා රජය අපහසුතාවයට පත්වීම බරපතළ ගැටළුවක් බව පෙන්වා දෙන අමාත්‍යවරයා මේ සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සහ අගමැතිවරයා වහා මැදිහත් විය යුතු බවද පවසනවා.

About The Author