Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

මුත්‍රාවලින් රෙදි සෝදමු

සාමාන්‍යයෙන් අපි කසළ ප්‍රතිචක්‍රීකරණය කොට නොයෙක් ආකාරයේ නව නිපැයුම් සිදු කරමු. එහෙත් අප කෙදිනක හෝ මළ මුත්‍රා නැවත භාවිත කර තිබේ ද? ඇතැම් අවස්ථාවල වැසිකිළි හරහා යන මුත්‍රා එකතු කොට, නැවත පිරිසිඳු කර, ජලය වශයෙන් භාවිත කරන බව අසන්නට ලැබේ. එනමුත් මෙයට කලකට ප්‍රථම විසූ රෝමානු ජාතිකයෝ මුත්‍රා භාවිත කළේ සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් ගත කිරීම පිණිස ය.

දත් සුදු පැහැ ගැන්වීම සඳහා.

මුත්‍රාවල වැඩි වශයෙන් අඩංගු වන්නේ ජලය යි. එහෙත් ශරීරයෙන් පිට වන මුත්‍රා භාජනයකට එකතු කොට කිසියම් කාලයක් තැබීමේ දී ඇමෝනියා බවට පත් වෙයි. නයිට්‍රජන් සහ හයිඩ්‍රජන් සංයෝගයක් වන මෙම ඇමෝනියා යනු බලවත් පිරිසිඳුකාරකයකි. විශේෂයෙන් යම් ස්ථානයක තැවරී තිබෙන පැල්ලම් ඉවත් කිරීම සඳහා එම දියරය භාවිත කළ හැකි ය. එහෙයින් පැරැණි රෝම වාසීහු එලෙස සකසා ගන්නා ලද මුත්‍රා දත් මැදීම හා දත් පිරිසිඳු කිරීම සඳහා දන්තාලේපයක් ලෙස යොදා ගත් බව පෙනේ. කැටලස් වැනි කතුවරුන් විස්තර කරන පරිදි රෝමන්වරුන් මිනිස් මුත්‍රා පමණක් නොව සත්ත්ව මුත්‍රා ද දත් සුදු කිරීම සඳහා යොදා ගෙන තිබේ. 

ඇඳුම් පිරිසිඳු කිරීම සඳහා ද මුත්‍රා යොදා ගත් බවට සාක්ෂි තිබේ. රෝමයේ නගර තුළ මුත්‍රා එකතු කිරීම සඳහා විශාල භාජන තබා තිබිණි. ඒ තුළට එක් වන මුත්‍රා ඇමෝනියා බවට පත් වන තුරු ඔවුහු බලා සිටියහ. පසුව ඒවා නැවත එකතු කොට ගෙන, ජලය සමඟ මිශ්‍ර කර, අප සේදුම් දියර භාවිත කරන්නාක් මෙන් සිය ඇඳුම් ගොඩවල් ඒ තුළ බහාලූහ. එසේත් නැතහොත් ඇඳුම් සියල්ල බිම අතුරා, ඇමෝනියා බවට පත් වූ මුත්‍රා ඒ මතට වත් කළහ. එමඟින් සිය ඇඳුම් මත තිබෙන පැල්ලම් පමණක් නොව විෂබීජ ද ඉවත් කර ගත්හ.

අදටත්, ඇමෝනියා යනු වීදුරු, පෝසිලේන්, මල නොබැඳෙන වානේ ආදිය නිෂ්පාදනය කිරීම සඳහා වඩාත් ප්‍රයෝජනවත් පිරිසිඳුකාරකයකි.

සත්ත්ව රෝග සුව කිරීම සඳහා.

රෝමානු කතුවරයෙකු වන කොලුමෙල්ලා විසින් ලියා තිබෙන පරිදි මිනිසුන් වෙනුවෙන් පමණක් නොව පශු වෛද්‍ය විද්‍යානුකූල ව ප්‍රතිකාර කිරීමේ දී සතුන් වෙනුවෙන් ද මුත්‍රා භාවිත වී තිබේ. විශේෂයෙන් එකල ඉතා සුලබ ව්‍යාපාරයක් වූ බැටළු පට්ටි රැක බලා ගැනීමේ දී එම සතුන්ට මතු වූ නොයෙක් වර්ගයේ ලෙඩ රෝග සුව කිරීම සඳහා මිනිස් මුත්‍රා යොදා ගත් බවට සාක්ෂි තිබේ. පෙණහලුවල ගැටලු ඇති වූ සතුන් හට උන්ගේ නාසය හරහා මුත්‍රා යවා නස්න කරන ලදී. රෝගී වූ මී මැස්සන්ට පවා මුත්‍රා ප්‍රතිකාරය සිදු කොට තිබේ. මී මැස්සන් ඉතා කුඩා වන බැවින් එය ඉතා අපහසු වන්නට ඇති බව නිසැක ය. නිවෙස්වල ඇති කළ කුරුල්ලන්ට හට ගත් උණ වෛරස සුව කිරීම සඳහා කුරුලු හිමිකරුවා විසින් උන්ගේ හොටයට මුත්‍රා කළ බව කියවේ.

පුරාණ රෝමයේ මිනිස් මළ මුත්‍රා විවිධාකාරයෙන් භාවිත කළ ද, ඒවා එකතු කර ගත්තේ කෙසේ ද? යන්න පැහැදිලි නැත. කෙස් වෙතත් මේ සඳහා ප්‍රදේශීය මෙන් ම පෞද්ගලික වැසිකිළි හා කැසිකිළි ද නිසැකව ම ප්‍රයෝජනවත් විය. එසේ ම මෙම අපද්‍රව්‍ය එකතු කිරීම නොමිලේ සිදු නොවූ බව ද පෙනේ. ක්‍රි.ව. 70 දී පමණ ජීවත් වූ වෙස්පේසියානු අධිරාජ්‍යයා මුත්‍රා එකතු කරන්නන් සඳහා බද්දක් අය කළේ ය. එයට හේතුව ලෙස ඔහු ප්‍රකාශ කළේ මුත්‍රා එකතු කිරීම හේතුවෙන් නගරය පුරා විශාල දුර්ගන්දයක් ඇති වීම යි. එනමුත් ඔහුගේ පුත් ටයිටස් මෙම අසාධාරණ බද්ද කෙරෙහි සිය පිළිකුල ප්‍රකාශ කළ විට, වෙස්පේසියන් පිළිතුරු දී තිබුණේ, “පෙක්නියා නො ඔලෙට්” යනුවෙනි. එනම්, “මුදල් ගඳ ගසන්නේ නැත” යන්න යි. ඔහුගේ මුත්‍රා බද්ද කොතරම් ප්‍රසිද්ධ වූයේ ද යත්, ඔහුගේ නම අදටත් මුත්‍රා සඳහා පොදු යෙදුමක් ලෙස භාවිත කෙරෙයි. ඒ ප්‍රංශ බසින් “වෙස්පේසියන්ස්” සහ ඉතාලි භාෂාවෙන් “වෙස්පසියානි” යනුවෙනි.

ශ්‍රීනි ලංකා ජයකොඩි

About The Author