Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

“96 ක්‍රිකට් විරුවෝ අභිමානයෙන් අගයමින් , අගමැති මහින්ද මනුෂ්‍යත්වයේ කතාව සිහිපත් කරයි – ක්‍රීඩකයන් සංවේදී වෙයි

ශ්‍රී ලංකාව ක්‍රිකට් ලෝක කුසලානය දිනා වසර 25ක් සපිරීම නිමිත්තෙන් ක්‍රිකට් විරුවන් ඇගයීම සඳහා අරලියගහ මන්දිරයේ දී අද (17) පැවති ලෝක කුසලාන විජයග්‍රහණයේ 25 වැනි ජාතික සැමරුමට එක්වෙමින් අග්‍රාමාත්‍යවරයා මේ බව පැවසුවා.

1996 ලෝක කුසලානය දිනාගත් අවස්ථාවේ අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය (ICC) ක්‍රිකට් ශූරයන්ට පිරිනැමූ පදක්කම් මෙතරම් කලක් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ තබා තිබූ අතර ඒවා ක්‍රිකට් ශූරයන්ට ප්‍රධානය කිරීම ද අග්‍රාමාත්‍යවරයා අතින් සිදුවිය.

ලෝක කුසලාන විජයග්‍රහණයේ 25වන සංවත්සර සැමරුම වෙනුවෙන් QR කේතය සහිත පළමු සැමරුම් මුුද්දරය හා විශේෂ සමරු කවරය ද මෙහිදී එළිදැක්වුණි.

මේ අතර ක්‍රිකට් ක්‍රීඩාවේ වංචා දූෂණ සෙවීම සඳහා කොමිසමක් පත් කරන ලෙස 1996 ක්‍රිකට් කණ්ඩායමේ නායක අර්ජුන රණතුංග මහතා මෙහිදී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගෙන් ඉල්ලීමක් කර තිබුණි.

උත්සව අවස්ථාව අමතමින් අදහස් දැක්වූ අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේ,

“ඒ ජයග්‍රහණය අද ඊයේ වගේ තවමත් අපිට මතකයි. දැන් අපේ ක්‍රිකට් පිට්ටනියේ සිද්ධ වෙන දේවල් නිසා අපේ මේ ජයග්‍රහණය ක්‍රිකට්ලෝලීන් නිතර නිතර මතක් කරන බව මම කියන්න ඕන. අතීතය වැදගත් වෙන්නේ වර්තමානය හදාගන්න. මට මතකයි එදා පිට්ටනියේ සෙල්ලම් කළේ නිකම්ම ක්‍රිකට් ක්‍රීඩකයෝ නෙමෙයි. රට දිනවන්න ඕනෑ කියන හැඟීමෙන් යුතු තරුණ පිරිසක්. අපේ ජයග්‍රහණය එදා ආසියාවේ රටවලුත් සැලකුවේ තමන් ලබාගත්ත ජයග්‍රහණයක් හැටියට.”

“ඔස්ට්‍රේලියාව, දකුණු අප්‍රිකාව, බටහිර ඉන්දීය කොදෙව් දූපත්, එංගලන්තය ආදී රටවල් එදා අපේ රටේ පැවැත්වෙන ලෝක කුසලාන තරගවලට සෙල්ලම් කරන්න බැහැ කිව්වා. ලංකාවේ ඒ වෙලාවේ තිබුණ ත්‍රස්තවාදය, එදා කොළඹ බෝම්බ පිපිරීම් වැනි කරුණු ලංකාවට නොඑන්න හේතු හැටියට කිව්වා. අපේ ගුවන්තොටුපොළ වගේම අපේ වරායත් ලෝකයේ තියෙන අනාරක්ෂිතම ස්ථාන හැටියට කීප වතාවක් නම් කරලා තිබුණේ.”

“ඒ වෙලාවේ ඉන්දියාව, පාකිස්තානය ඇතුළු ආසියාතික රටවල් වලට තේරුණා ලංකාව දිනනවට තියෙන අකමැත්ත මේ නොපැමිණීමට එක හේතුවක් කියලා. එතකොට ඉන්දියාව පාකිස්තානය ඇතුළු ආසියාතික රටවල් අපේ රටට තම සහෝදරත්වයේ දෑත දිගු කළා. ඒ අය ලංකාවට ඇවිල්ලා ක්‍රිකට් තරගවල යෙදිලා අපිට ධෛර්ය දුන්නා.”

“මේ ලෝක කුසලාන තරගාවලිය ගැන අහපු එක කතාවක් මට මතක් වෙනවා. 1996 ලෝක කුසලාන තරගාවලියේ, ශ්‍රී ලංකා – ඉන්දියා අවසන් පූර්ව වටයේ තරගය පැවැත්වුණේ ඉන්දියාවේ ක්‍රීඩාංගණයක. තරගාවලියේ අවසන් භාගය කිට්ටු වෙනකොට ඉන්දියානු ක්‍රීඩා ලෝලීන් කලබල වෙලා ක්‍රීඩාපිටියට දිගටම ගල්, බෝතල් එවන්න පටන් ගත්තා. ඒ දර්ශන එවලේ මුළු ලෝකයම දැක්කා. ඒ වෙලාවේ ක්‍රීඩාපිටියේ හතරේ සීමාව ආසන්නයේ පන්දු රකිමින් සිටියේ කණ්ඩායමේ උපනායක අරවින්ද ද සිල්වා. අපේ අතිරේක ක්‍රීඩකයෙක් හැටියට හිටපු උපුල් චන්දන ගිහිල්ලා හතරේ සීමාවේ හිටපු අරවින්දට කිව්වලු අරවින්ද ඇතුළට යන්න මම හතරේ සීමාවේ සෙල්ලම් කරන්නම්, ගල්-වැලි-බෝතල් වැදුණොත් අවසන් තරගය සෙල්ලම් කරන්න ඔයාට බැරි වෙනවා. එහෙම වුණොත් අපි අමාරුවේ වැටෙනවා කියලා. තමන්ගේ ජීවිතය කැපකරන්න තරම් රට ගැන විශාල හැඟීමක් ඒ වෙලාවේ කණ්ඩායමට තිබුණා.”

© මුලාශ්‍රය – දෙරණ

About The Author