මාර්තු 08 වන දිනට යෙදුණු කාන්තා දිනය ගැන කතා කරන විට සිය රට වෙනුවෙන් යුතුකම් ඉටු කළ දෙස් විදෙස් දිරිය කතුන් පිළිබඳ නිතැතින් ම සිහියට නැඟේ. දෙ වන ලෝක යුධ සමයේ දී නාසි හමුදාවට එරෙහි ව යුධ වැදුණු ඇමරිකානු හමුදා බලඇණියේ සේවය කළ එලිසබෙත් ස්මිත් ෆ්‍රීඩ්මන් ද එවැන්නියකි. එහි දී ඇගේ කාර්යයභාරය වූයේ නාසින්ගේ රහසිගත පණිවිඩ තුළ ඇති කේත බිඳ දමා, ඔවුන්ගේ ඊළඟ ඉලක්කය සොයා ගැනීම යි.
1942 වසරේ මාර්තු මාසයේ දී එලිසබෙත් හට වැදගත් සොයාගැනීමක් සිදු කිරීමට ඉඩ ලැබිණි. ලතින් ඇමරිකානු නාසි ඔත්තුකරුවන් විසින් බ්‍රසීල වෙරළ තීරයේ ගමන් කරමින් තිබූ “ක්වීන් මේරි” නම් විශාල මිත්‍ර සැපයුම් නෞකාවක් සොයාගෙන තිබුණු අතර ජර්මානුවෝ සිය “යූ බෝට්ටු” භාවිත කොට එය ගිල්වීමට සැලසුම් කරමින් සිටියහ. ඇඩොල්ෆ් හිට්ලර් සිතා සිටියේ පහර දීමට ප්‍රථමයෙන් කපිතාන්වරයාට කතා කොට, නැවෙහි සිටින සොල්දාදුවන් තමාට ලබා දෙන ලෙස ඉල්ලා සිටීමට යි. ඒ එක් සොල්දාදුවෙකු සඳහා ඩොලර් 250,000ක් පවා ලබා දීමට හිට්ලර් සූදානමින් සිටියේ ය. හදිසියේවත් එලෙස ලබා දුනි නම් ඔවුන්ගේ ජීවිතය ද ගෑස් කාමරයකින් කෙළවර වන්නට ඉඩ තිබිණි. කෙසේ හෝ ෆ්රීඩ්මන්ගේ සොයාගැනීම හේතුවෙන් යූ බෝට්ටු මඟ හැර යාමට මේරි නෞකාවට ඉඩ සැලසුණු අතර එයින් එහි සිටි සෙබළුන් 8,000කට වැඩි පිරිසකගේ ජීවිත බේරිණි.
මින් පෙර පළමු ලෝක සංග්‍රාමයේ දී එලිසබෙත් හා ඇගේ සැමියා විසින් නිළ නොවන කේත කඩන කණ්ඩායමක් මෙහෙයවනු ලැබූ අතර, 1921 සිට ඔවුහු වොෂිංටන් ඩී.සී.හි පිහිටා තිබූ යුධ දෙපාර්තමේන්තුවේ සේවය කළහ. වසර කිහිපයකට පසු, එලිසබෙත් වෙරළාරක්ෂක බලකායේ ක්‍රැකින් කේත සමඟ වැඩ කිරීමට පටන් ගත් අතර ඒ හරහා ඇයට නීති විරෝධී භාණ්ඩ සැපයුම්කරුවන් හඳුනා ගැනීමට සහ නඩු පැවරීමට හැකි විය. මෙම කාර්යය සඳහා ඇය කේත කඩන ඒකකයක් නිර්මාණය කළ අතර එක්සත් ජනපද රජය තුළ කේත කඩන කණ්ඩායමක් මෙහෙයවන ලද පළමු කාන්තාව බවට පත් වූවා ය.
දෙවන ලෝක යුද්ධය පැමිණියේ එවිට ය. වෙරළාරක්ෂක බලකාය එහි සිට නාවික දෙපාර්තමේන්තුවට මාරු වූ අතර එයින් පසු කාන්තාවන්ට ඒකක පවත්වාගෙන යාමට ඉඩ ලබා නොදෙන ලදී. ඒ අනුව එලිසබෙත් හට නව නිළධාරියෙකු යටතේ සේවය කිරීමටත්, ඇයගේ කුසලතාවන් සඳහා වඩාත් සුදුසු යැයි නොසිතූ ව්‍යාපෘතිවල නිරත වීමටත් සිදු විය. එසේ වුව ද, එලිසබෙත් ඇයගේ සූක්ෂම කේත කඩනය තුළින් යුධ ප්රයත්නයට සැලකිය යුතු දායකත්වයක් ලබා දීමට සමත් වූවා ය.
මුල් අවධියේ දී නාසින්ට විරුද්ධ ව සේවය කිරීම සඳහා එලිසබෙත් තෝරා නොගත්තා ය. එහෙත් ඇය එම සේවය ආශාවෙන් ප්‍රාර්ථනා කළ බව පෙනේ. පසුව සේවයේ යොදවා ගත්ත ද, එලිසබෙත් පවසන්නේ ඇයට හිතේ හැටියට රට වෙනුවෙන් තම සේවය ලබා දීමට නොහැකි වූ බව යි. ඒ, ඇය අතිශය සංකීර්ණ කේත බිඳ දැමීමට පුරුදුව සිටි බැවිනි. මධ්‍යම ජපන් හා ජර්මානු රජයන් යුද්ධයේ දී සංකීර්ණ කේත භාවිත කළ ද, ලතින් ඇමරිකානු නාසි ඔත්තුකරුවන් භාවිත කළ කේත වඩාත් සරල විය. එලිසබෙත් ආශා වූයේ වඩාත් සංකීර්ණ ඒවාට ය.
එහෙත් ඇය වැඩ කළා ය. සෙබළුන් දහස් ගණනකින් යුත් ඇමරිකානු වාහන එහා මෙහා යද්දී, ඒවා විනාශ කිරීමට නාසින් යෙදූ උත්හයන් බොහොමයක් එලිසබෙත්ගේ මැදිහත්වීමෙන් වළක්වා ගත හැකි විය. ඇය විසින් ලුහුබැඳ ගිය ප්‍රධාන නාසි ඔත්තුකරුවෙකු වූයේ “සර්ගෝ” යන සංකේත නාමයෙන් හඳුන්වනු ලැබූ “ජොහැන්නස් සීග්ෆ්රයිඩ් බෙකර්” ය. ඔහු ජර්මනිය සහ ආර්ජන්ටිනාව අතර සන්ධානයක් ඇති කර ගැනීමට උත්සාහ කරමින් සිටි අතර ඒ සියලු උත්සාහයන් ව්‍යර්ථ කරවීමට එලිසබෙත්ගේ කණ්ඩායම සමත් විය. ඒ හරහා ඔහු සිටි නැව සොයා අත්අඩංගුවට ගැනීමට ද හැකි විය.
එලිසබෙත් හා ඇගේ සැමියා වූ විලියම් යන දෙදෙනා ම දෙ වන ලෝක යුධ සමයේ දී ඉතා විශිෂ්ට අයුරින් ඇමරිකානු හමුදාවට සේවය කළ ද, එයින් අවධානය මෙන් ම ප්‍රශංසාව ද හිමි වූයේ විලියම්ට පමණි. එයට එක් හේතුවක් වූයේ පර්ල් වරායට සිදු වූ ජපාන ප්‍රහාරය පිළිබඳ එක්සත් ජනපදය වෙත පූර්ව දැනුමක් සිදු කර තිබිණි ද යන්න පිළිබඳ විමර්ශනයක දී සාක්ෂි දීමට ඔහුට හැකි වීම යි.
නාසි ඔත්තු කේත බිඳ දැමීමේ දී තීරණාත්මක කාර්යයභාරයක් ඉටු කළ ද කාන්තාවක වීම නිසාත්, තමා විසින් නිමග්න වූ කටයුතුවල රහසිගතභාවය නිසාත් එලිසබෙත් හට ඇගේ විශිෂ්ට යුධ කාලීන සේවය පිළිබඳ ප්‍රසිද්ධියේ හෙළිදරව් කිරීමට ඉඩ ලබා නො දෙන ලදී. 1980 දී මිය යන තුරු ම එලිසබෙත්ගේ කාර්යයභාරයේ රහස රැක ගනු ලැබිණි. එවකට ඇමරිකානු ඔත්තු සේවයේ අධ්යක්ෂවරයා වූ ජේ. එඩ්ගර් හුවර් විසින් ඇගේ කණ්ඩායමේ ජයග්රහණයන් සඳහා ගෞරවය ලබා දුන්නේ ද එෆ්.බී.අයි. වෙතට ය. ඉතිහාසඥයින් සහ පර්යේෂකයන් ද එලිසබෙත්ගේ යුධ කාලීන දායකත්වය අනාවරණය කළේ ඇගේ මරණයෙන් පසුව ය.
දෙවන ලෝක සංග්‍රාමය අතරතුර, ජර්මනිය විශ්වාස කළේ ගුවන් විදුලි පණිවිඩ සඳහා යොදා ගනු ලැබූ රහස් කේත මිත්‍ර පාක්ෂිකයින් හට විසඳා ගත නොහැකි වනු ඇති බව යි. එනමුත් එලිසබෙත් ඇතුළු කේත කඩන්නන්ගේ සූක්ෂ්ම ක්‍රියාකාරිත්වය හරහා ජර්මානු යුධ සන්නිවේදන රහස් බිඳ දැමුණු අතර අවසානයේ දී ජර්මනිය මුහුණ දුන් පරාජය සම්බන්ධයෙන් තීරණාත්මක කාර්යභාරයක් ඉටු කිරීමට ද ඔවුහු සමත් වූහ.
ශ්‍රීනි ලංකා ජයකොඩි.
අත නොහැර කියවන තැන
ඉන්දියාවේ උමගක් තුළ සිරවුණු කම්කරුවන් බේරා ගැනීම ඇරඹෙයි
සිවු දින සටන් විරාමයකට කැමැත්ත
ඊශ්‍රායල් – හමාස් යුද්ධයට සටන් විරාමයකට යෝජනාවක්