මේ වන විට ලොව පුරා කොවිඩ් 19 වසංගතය මැඬ පැවැත්වීම සඳහා එන්නත් බෙදා හැරෙමින් තිබේ. ශ්‍රී ලංකාව තුළ ද මෙම වැඩසටහන ක්‍රියාත්මක වන බැවින් එන්නත ලබා ගැනීමට පෙර යම් යම් කරුණු පිළිබඳ දැන සිටීම වැදගත් වනු ඇත. කෙසේ වුවත් සියලු දෙනා මතක තබා ගත යුතු කරුණ වන්නේ එන්නත ලබා ගත්ත ද සෑම කෙනෙකුම නොකඩවා මුඛ ආවරණය පැලඳීම, අත් සේදීම සහ සමාජ දුරස්ථභාවය පවත්වාගෙන යාම තවදුරටත් වැදගත් වන බව යි.
1.එන්නත ලබා ගැනීම සඳහා ලිහිල් ඇඳුම් ඇඳිය යුතු ද?
සායනික වෛද්‍යවරයෙකුට ඔබේ අතේ ඉහළ කොටසට පහසුවෙන් ප්‍රවේශ විය හැකි ඇඳුමක් අඳින්න. එන්නත ඔබේ උරහිස මත ඇති විශාල මාංශ පේශි වන “ඩෙල්ටොයිඩ්” මාංශ පේශි වෙත ලබා දෙනු ලැබේ. කෙටි අත් සහිත ඇඳුමක් ඇඳීම දෙදෙනාට ම පහසුවක් ගෙන දෙනු ඇත. නැතහොත් පහසුවෙන් ඉවත් කළ හැකි ලිහිල් අත් සහිත ඇඳුමක් ඇඟ ලා ගන්න.
2. COVID-19 එන්නත ලබා ගන්නේ කෙසේ ද?
එය තීරණය කරනු ලබන්නේ රජය විසිනි. ඔබ ප්‍රදේශයට අයත් මහජන සෞඛ්‍ය වෛද්‍ය නිළධාරී කාර්යාලය (MOH office) හරහා මේ පිළිබඳ වැඩිදුර තොරතුරු ලබා ගත හැකි ය. මේ වන විට වයස 60ට වැඩි පුද්ගලයින්ට එන්නත ලබා දෙමින් තිබේ.
3. එන්නත ලබා ගැනීමට සූදානම් වන්නේ කෙසේ ද?
COVID-19 ලබා ගැනීම සඳහා සූදානම් වීමට හොඳ ම ක්‍රමය වන්නේ සජලීකරණයෙන් සිටීම යි. එනම්, ශරීරය තුළ තෙත ගතිය පවත්වාගෙන යාම යි.
සාමාන්‍යයෙන් ඔබේ නීරෝගීභාවය පවත්වාගෙන යාම සඳහා දිනපතා ජලය පානය කිරීම වැදගත් වේ. එන්නත්කරණයේ දී ද මෙම කරුණ වැදගත් වනු ඇත. එන්නත ලබා ගත් පසු ඔබේ සිරුර කිසි විටෙකත් විජලනයට ලක් වීමට ඉඩ නොතැබිය යුතු ය. විජලනය හේතුවෙන් ඔබේ සිතිවිලි සහ මනෝභාවය වෙනස් වේ. ශරීරය අධික ලෙස රත් වේ. උණ ද වැඩි විය හැකි ය.
4. එන්නත ලබා ගැනීමට පෙර COVID-19 පරීක්ෂණයක් සිදු කර ගැනීමට අවශ්‍යයි ද?
අත්‍යවශ්‍ය නොවේ. එනමුත් එය ලබා ගැනීමට තීරණය කර ගත් පසු හැම විට ම මුඛ ආවරණයක් පැලඳ, අන් අයට වඩා අඩි 6ක් පමණ ඈතින් සිටීමට උත්සාහ කරන්න. එන්නත ලබා ගැනීමෙන් පසු වුව ද COVID-19 ප්‍රතිදේහ පරීක්ෂණයක් සිදු කර ගැනීම අත්‍යවශ්‍ය නොවේ.
කෙසේ වුවත් ඔබ ජීවත් වන්නේ කොවිඩ් අවදානම සහිත පළාතක නම් අවම වශයෙන් ඇන්ටිජෙන් පරීක්ෂණයක්වත් සිදු කර ගැනීම වැදගත් වනු ඇත.
5. එන්නත ලබා ගැනීමෙන් පසු අතෙහි වේදනාවක් දැනේ නම්, වේදනා නාශක ලබා ගත හැකි ද?
ඔබේ අතෙහි වේදනාවක් ඇති වුවහොත්, වේදනා දෙන ප්‍රදේශය පුරා පිරිසිඳු, තෙත්, උණුසුම් වස්ත්‍රයක් හෝ අයිස් පැකට්ටුවක් තබා ගැනීමෙන් පහසුවක් දැනෙනු ඇති බව රෝග පාලන හා වැළැක්වීමේ මධ්‍යස්ථානය කියා සිටියි. වෛද්‍යවරයා විසින් නිර්දේශ කරන්නේ නම් වේදනා නාශක පෙත්තක් වුව ද ගත හැකි ය. එනමුත් එන්නත ලබා ගැනීමට පෙර වේදනා නාශක ගැනීමෙන් වැළකිය යුතු ය. කෙසේ වුවත් ඔබ නිතිපතා ගන්නා සාමාන්‍ය බෙහෙත් වේල දිගට ම ලබා ගැනීමට අවසර තිබේ.
6. එන්නත ලබා ගැනීම සඳහා මා තෝරාගත යුත්තේ කුමන අත ද?
එන්නත ලබා දෙනුයේ එක් අතකට පමණි. බොහෝ දෙනා මේ සඳහා තෝරා ගන්නේ ඔවුන්ගේ නුහුරු අත යි. වඩාත්ම සුදුසු අත කුමක්දැයි තෝරා ගැනීම සම්පූර්ණයෙන් ම එම පුද්ගලයා සතු ය. නිදසුනක් ලෙස ඔබ සාමාන්‍යයෙන් දකුණු ඇලයට හැරී නිදන්නෙකු නම්, යට නොවනු පිණිස වම් අත තෝරා ගැනීම වඩා සුදුසු ය.
7. එන්නත ලබා ගත් වහාම කුමක් සිදුවේ ද?
එන්නත ලබා ගැනීමෙන් පසු ඇති විය හැකි ඕනෑම ප්‍රතික්‍රියාවක් නිරීක්ෂණය කිරීම සඳහා එන්නත් සායනය තුළ විනාඩි 20ක් රැඳී සිටීමට ඔබට සිදු වේ.
COVID-19 එන්නත ලබා ගත් වහාම බොහෝ දෙනා එන්නත් කරන ලද ස්ථානයේ හට ගත් සුළු අපහසුතා පිළිබඳ වාර්තා කර තිබේ. එනමුත් පළමු දිනයට වඩා පසු දිනයේ දී යම් යම් අපහසුතා වර්ධනය විය හැකි ය.
ඇතැම් අය පවසන්නේ දෙවන මාත්‍රාව ලැබීමෙන් පසුව පමණක් ඔවුන්ට උණ ගැනීම හෝ අධික ලෙස දහඩිය දැමීම සිදු වූ බව යි. කෙසේ වෙතත් මෙම රෝග ලක්ෂණවලින් වැඩි ප්‍රමාණයක් පැය 72කට වඩා අඩු කාලයකින් පහව යනු ඇත.
8. එන්නත ලබා ගැනීම කෙතරම් වේදනාකාරී අත්දැකීමක් වේවි ද?
COVID-19 එන්නත ලබා ඇති බොහෝ අය පවසන්නේ ඔවුන්ගේ උරහිසේ මාංශ පේශි තුළට ඉඳිකටුවක් යන බවක්වත් දැනුණේ නැති බව යි. එන්නත ලබා දීම සඳහා ඉතා කුඩා කටුවක් භාවිත කරයි. එන්නත විදීමෙන් පසු දින 1 සිට 3 දක්වා කාලයක් ඔබේ අත වේදනා දිය හැකි ය. මෙය සාමාන්‍ය දෙයකි.
9. ඒ පිළිබඳ තවදුරටත් දැන ගත යුත්තේ මොනවා ද?
ඔබට මින් පෙර දී එන්නත් සඳහා අසාත්මිකතා ඇති වී තිබේ නම්, ඒ පිළිබඳ වෛද්‍යවරයාට පැවසිය යුතු ය.
එන්නත ලබා ගැනීමට පෙර, ඔබේ බිය හා ශරීරය දරදඬු වීම පාලනය කිරීම සඳහා කිසියම් ක්‍රියාමාර්යක් සූදානම් කර ගන්න.
එන්නත ලබා ගැනීමට ගිය විට පුටුවේ කෙළින් හිඳගෙන, ගැඹුරු හුස්මක් ගන්න. මෙය ඔබ සන්සුන් කිරීමට උපකාරී වේ. ඔබ එන්නත ලබා ගන්නා අත ලිහිල් කරන්න. මාංශ පේශි ලිහිල් කිරීම සඳහා අත මදක් සොලවන්න.
එන්නත ලබා ගැනීමට පෙර දින රාත්‍රියේ මත්පැන් පානය කිරීම සීමා කරන්න. එසේ ම එන්නත ලබා ගැනීමට පෙර මත්පැන් නොව ජලය පානය කරන්න.
අධික ලෙස මත්පැන් පානය කිරීමෙන් විජලනය ඇති විය හැකි ය. විශේෂයෙන් දෙවන මාත්‍රාව ලබා ගත් පසු ඔබේ තත්ත්වය බරපතල විය හැකි ය.
10. එන්නත ලබා ගැනීමට පෙර ආහාර ගැනීම සුදුසු ද?
එන්නත ලබා ගැනීමට පෙර හොඳින් බඩ පුරවා ගැනීම කටුවලට බියක් දක්වන හෝ ක්ලාන්ත වීමේ ඉතිහාසයක් ඇති අයට වඩාත් සුදුසු වේ.
11. එන්නත ලබා නොගැනීමට හේතු තිබේ ද?
ඊට හේතු කිහිපයක් තිබේ.
ඔබට මෑතක දී COVID-19 වෛරසය වැළඳී තිබේ නම් එන්නත ලබා ගැනීම සුදුසු නොවේ. එන්නත්කරණයට පෙර ඔබ සම්පූර්ණයෙන් සුවය ලබා සිටිය යුතු අතර පසු නිරෝධායන කාලය ද සම්පූර්ණ කර තිබිය යුතු ය. නිරෝධායන කාල සීමාව සාමාන්‍යයෙන් දින 14ක් වන නමුත් රෝහල් ගත කර සිටියේ නම් හෝ යම් යම් සංකූලතාවන් තිබේ නම් එය දීර්ඝ විය හැකි ය.
ඔබ COVID-19 වෛරසයට නිරාවරණය වූ බවට සැකයක් ඇත්නම්, දින 14ක් ඉවසීමෙන් සිටින්න. ඒ වන විටත් රෝග ලක්ෂණ පහළ නොවූයේ නම් එන්නත ලබා ගැනීමට හැකි වනු ඇත.
ඔබට COVID-19 වෛරසයට ප්‍රතිකාරයක් වශයෙන් ප්ලාස්මා හෝ මොනොක්ලෝනල් ප්‍රතිදේහ ලැබී තිබිණි නම් දින 90ක් යනතුරු එන්නත ලබා නොගත යුතු ය. මේ පිළිබඳ සැකයක් තිබේ නම් ඔබේ වෛද්‍යවරයා හට පැවසීම යෙහෙකි.
ඔබට COVID-19 එන්නත හැර වෙනත් එන්නතක් ද ලබා ගැනීමට නියමිත ව තිබේ නම්, අනෙක් එන්නත ලබා ගැනීම සඳහා ඔබ දින 14ක් බලා සිටිය යුතු ය. COVID-19 එන්නත හැර වෙනත් එන්නතක් ඔබට දැනටමත් ලැබී ඇත්නම්, COVID-19 එන්නතෙහි 1 වන හෝ දෙවන මාත්‍රාව ලබා ගැනීම සඳහා දින 14ක් ඉවසා සිටිය යුතු ය.
පළමු COVID-19 එන්නත් මාත්‍රාව ලබා ගත් පසු ඔබට දැඩි ව අතුරු ආබාධ ඇති වූයේ නම්, දෙවන මාත්‍රාව ලබා ගැනීමට පෙර වෛද්‍යවරයා සමඟ සාකච්ඡා කොට උපදෙස් උපදෙස් ලබා ගත යුතුය.
12. ගැබිණි හා කිරි දෙන මව්වරුන් එන්නත ලබා ගැනීම සුදුසු ද?
කිරි දෙන මව්වරුන් එන්නත ලබා ගැනීමෙන් දරුවා හට කිසිදු අතුරු ආබාධයක් ඇති නොවන බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ අදහස යි. හැරත් එමඟින් මවගේ සිරුර තුළ නිපදවෙන ප්‍රතිදේහ කිරි හරහා දරුවා තුළට ගමන් කොට, දරුවාට ද ප්‍රතිශක්තියක් ලබා දෙයි. එන්නතෙහි කිසියම් විෂක් තිබිණි නම්, දරුවාගේ කුස තුළ ඇති අම්ල වර්ගවලින් ඒවා විනාශ කෙරෙනු ඇත. එනමුත් ශ්‍රී ලංකාවේ දී කිරි දෙන මව්වරුන් හට එන්නත ලබා දීමට මඳක් පැකිළෙන බව පෙනේ.
ගැබිණි මව්වරුන් සම්බන්ධයෙන් තත්ත්වය වෙනස් ය. සාමාන්‍ය කාන්තාවකට වඩා ගැබිණි මවකට කොවිඩ් 19 වෛරසය වැළඳීමේ අවධානම වැඩි ය. දරුවා කුස තුළ සිටියෙ දී වෛරසය වැළඳුණහොත් අඩු වයසින් දරුවා බිහි වීමේ අවධානමක් ද තිබේ.
එහෙත් ඔබ දරුවෙකු සඳහා සූදානම් වන්නේ නම් එන්නත ලබා නොගැනීම වඩා සුදුසු ය. කෙසේ වුවත් ගැබිණි වූවා හෝ, ඊට සූදානම් වන්නේ හෝ කුමන තත්ත්වයක සිටිය ද, වෛරසයට නිරාවරණය වීමේ දැඩි අවදානම් කලාපයක සිටින්නේ නම් ඔබේ ප්‍රසව හා නාරිවේද වෛද්‍යවරයාගේ උපදෙස් පරිදි එන්නත ලබා ගැනීම වඩාත් සුදුසු වනු ඇත.
ශ්‍රීනි ලංකා ජයකොඩි.
අත නොහැර කියවන තැන
ආර්තවහරණය පිළිබඳ මිථ්‍යාවන් හතක් !
කොළඹ විශ්වවිද්‍යාලය තට්ටය මට්ටු කරමින් තෙලක් බෙදයි
ඉදිරි දශකය ජයගත හැකි අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන සමාජ විද්‍යාත්මක කථිකාවක්