Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

දෙපිටකාට්ටුවේ පියා තෝමස් ජෙෆර්සන්.

තෝමස් ජෙෆර්සන් ඇමරිකානු රාජ්‍ය තාන්ත්‍රිකයෙකු, නීතිඥයෙකු, ගෘහ නිර්මාණ ශිල්පියෙකු, දාර්ශනිකයෙකු සහ “ආරම්භක පියෙක්” විය. එක්සත් ජනපදයේ ආරම්භක පියවරුන් හෙවත් සරලව කියතොත් “ආරම්භක පියවරුන්” යනු යටත් විජිත දහතුනක් එක්සේසත් කළ, මහා බ්‍රිතාන්‍යයෙන් නිදහස් වීම සඳහා වූ යුද්ධයට නායකත්වය දුන් සහ ජනරජය මත නව ඇමරිකා එක්සත් ජනපදය සඳහා ආණ්ඩු රාමුවක් ගොඩනඟන ලද ඇමරිකානු නායකයින් පිරිසකි. පස් දෙනෙකුගෙන් යුත් කමිටුවක් වූ එහි සාමාජිකයන් වූයේ ජෝන් ඇඩම්ස්, බෙන්ජමින් ෆ්රෑන්ක්ලීන්, රොජර් ශර්මන්, රොබර්ට් ලිවින්ග්ස්ටන් හා තෝමස් ජෙෆර්සන් ය. ජෙෆර්සන් 1801 සිට 1809 දක්වා එක්සත් ජනපදයේ තුන්වන ජනාධිපතිවරයා ලෙස සේවය කළේය. 1797 සිට 1801 දක්වා එක්සත් ජනපදයේ උප ජනාධිපති ලෙස සේවය කළ ඔහු වහල්භාවයට එරෙහි ව ලියවුණු නිදහස් ප්‍රකාශනයේ ප්‍රධාන කතුවරයා විය. 

ජෙෆර්සන් යනු ප්‍රජාතන්ත්‍රවාදය, ජනරජවාදය සහ පුද්ගල අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටි අයෙකි. ඇමරිකානු ජනපදිකයන් මහා බ්‍රිතාන්‍ය රාජධානියෙන් ඉවත් වී නව ජාතියක් බවට පත් විය යුතු බවට අදහස් පළ කළ ඔහු රාජ්‍ය හා ජාතික මට්ටමින් විධිමත් ලේඛන සහ තීරණ ඉදිරිපත් කළේය. එහෙත් මේ වන විට ඔහු ඉතිහාසයේ සඳහන් වන පරිදි සැබැවින් ම කටයුතු කළා ද? යන්න පිළිබඳ සැක මතු වෙමින් පවතී. මන්දයත් වහල් භාවයට විරුද්ධ වූ ඔහු ම, වහලුන් ළඟ තබා ගත් බවට සාක්ෂි මතු වී තිබෙන බැවිනි.

වහල්භාවය “මිනිස් ස්වභාවයට එරෙහි කුරිරු යුද්ධයක්” ලෙස හැඳින්වීම බොහෝ ආරම්භක නායකයින්ගේ ආචාර ධර්මය වූ නමුත්, එයින් ඔවුන් පැවසූ දේ සහ ඔවුන් කළ දේ අතර ඇති විරුද්ධාභාසය ද අවධාරණය කෙරෙයි. සාමාන්‍ය වෙළෙඳාම ආරක්ෂා කර ගැනීම සඳහාත් දැඩි වාණිජමය උනන්දුවක් ඇති වහල් හිමිකාරීත්ව ජනපද එක්රැස් කිරීමේ අවශ්‍යතාවයන් පිළිබිඹු කිරීම සඳහාත් ලියවිල්ලක් ලිවීමේ වගකීම ජෙෆර්සන්ට පැවරී තිබුණි. ප්‍රකාශයේ අත්සන් කළ අයගෙන් තුනෙන් එකක් පෞද්ගලික ව වහලුන් වූ අතර, වහල්භාවය අහෝසි කිරීමට විරුද්ධ වීම ගැන වැඩි වශයෙන් ප්‍රචලිත වූ උතුරු ඇමරිකාවේ රාජ්‍යයන් පවා, ක්‍රමක්‍රමයෙන් වහලුන්ගේ විමුක්තිය සඳහා නීති සම්මත කර ගනිමින් සිටියේ ය.

ලොවට සුදු මුහුණක් පෙන්වූ ජෙෆර්සන්, හොර රහසේ එම වහල්භාවයට අදාළ ආයතනය සමඟ සංකීර්ණ සම්බන්ධතාවක් පවත්වාගෙන ගියේය.  වහල්භාවය පිළිබඳ ඔහුගේ දාර්ශනික පිළිකුල සහ වහලුන් අහෝසි කිරීම සඳහා ඔහු ගෙන යන ව්‍යවස්ථාදායක උත්සාහයන් ද ප්‍රසිද්ධ වන අතරතුර ජෙෆර්සන් සිය ජීවිත කාලය තුළ දී 600 කට අධික පිරිසක් ලොවෙන් සඟවා වහල්භාවයට පත් කළේය. සිය අවසාන කාලයේ දී ණය බරින් පීඩා විඳි හෙයින් ඔහු1826 දී ඔහුගේ මරණය සිදු වන තෙක් ම දේපළ යනුවෙන් හැඳින්විය හැකි වූ කිසිම මිනිසෙකු එනම් වහලුන් නිදහස් නොකිරීමට තීරණය කළේය.

තෝමස් ජෙෆර්සන්ගේ මෙම දෙපිටකාට්ටු ක්‍රියාකලාපය පිළිබඳ ඔහුගේ ම හෘදසාක්ෂිය පැමිණිලි කළ නිසා දෝ, පෙර කී එක්සත් ජනපදයේ ආරම්භ පියවරුන් වෙනුවෙන් කෙටුම්පත් කරන ලද වචන 168කින් යුත් ලේඛනයේ දී කළු ජාතිකයින් අනිවාර්යයෙන් ම වහල්භාවයෙන් නිදහස් කළ යුතු බවට ඇති වාක්‍ය කිහිපය ඔහු විසින් ම කපා හරින ලදී. එම ලේඛනයේ දී නිදහස සඳහා වූ පියවරුන් විසින් ඍජුව ම චෝදනා එල්ල කරන ලද්දේ බ්‍රිතාන්‍යයට යි. ඒ, ඔවුන් තමන් යටතේ තිබෙන කළු හම ඇති මිනිසුන් සිටින බොහෝ රටවලින් බලහත්කාරයෙන් මිනිසුන්, ගැහැනුන් හා ළමයින් වහලුන් ලෙස රැගෙන එන බවට සඳහන් කරමිනි. වහල්භාවය යනු බ්‍රිතාන්‍ය කිරීටය විසින් යටත්විජිතවලට එල්ල කරන ලද සිය ගණනක් වූ නපුරුකම් අතරින් බරපතල ම දුෂ්ටකම යැයි ජෙෆර්සන් ඇතුළු පංච කමිටුව එහි දී චෝදනා එල්ල කළහ. 

සිය ආරම්භක කෙටුම්පතෙහි දී ජෙෆර්සන් බ්‍රිතාන්‍යයේ අත්ලාන්තික් සාගරයේ වහල් වෙළඳාම නිර්මාණය කිරීම හා පවත්වාගෙන යාමේ කාර්යභාරය වෙනුවෙන් එකල බ්‍රිතාන්‍යයේ නායකයා වූ ජෝර්ජ් රජුට දොස් පැවරීය. එහි දී දෝෂාරෝපණය සඳහා බොහෝ වචන යොදා ගත් ඔහු එය මනුෂ්‍යත්වයට එරෙහි අපරාධයක් ලෙස විස්තර කළේ ය.

බ්‍රිතාන්‍ය රජතුමා විසින් කිසි විටෙකත් බ්‍රිතාන්‍යය සමඟ අමනාප නොවූ අසරණ ජනතාවකගේ ජීවිත හා නිදහස පිළිබඳ අතිශය පරිශුද්ධ අයිතිවාසිකම් උල්ලංඝණය කරන බවට එම ලියවිල්ලේ දී චෝදනා කෙරෙයි. එවැනි අහිංසකයින් සිය රටින් සම්පූර්ණයෙන් ම වෙනස් දේශගුණයක් සහිත රටක වහල්භාවයට ගෙන ගොස් මරා දැමීම හෝ ප්‍රවාහනයේ දී නොසැලකිලිමත් ලෙස අවාසනාවන්ත මරණයකට ගොදුරු කරවීම යනු මිනිස් ස්වභාවයට එරෙහි ව කෙරෙන කුරිරු දඬුවම් දීමක් බවට ජෙෆර්සන් ප්‍රකාශ කරයි. මෙය ඔහුගේත් ඔහු ඇතුළත් කමිටුවේත් අදහස බව සැබැවි. එහෙත් බ්‍රිතාන්‍යයට එතරම් චෝදනා එල්ල කරමින් යන ඇමරිකා එක්සත් ජනපදය යනු, වහල් හිමියන්ගේ පාරාදීසයක් වන බව එම ආරම්භක කමිටුවට අමතක වූ හැඩ ය.

මෙම නිදහස් සටන හා චෝදනා පත්‍රය ගැන බ්‍රිතාන්‍යය එතරම් තැකීමක් කර ඇති බවක් නොපෙනේ. කෙටියෙන් කියතොත් මෙතරම් වහල් නිදහස වෙනුවෙන් උඩ පිනූ ඇමරිකාව ද එම නීතිය අකුරට පිළිපැද නොමැති බවට ජෙෆර්සන්ගෙන් පමණක් නොව, වෙනත් බොහෝ පුද්ගලයින්ගෙන් ද සාක්ෂි හමු වේ. ගැටලුව වන්නේ තම නිවසේ සිටින වහලුන් නොමරා මරන අතරතුර මහා රාජ්‍යයකට විරුද්ධ ව චෝදනා සහගත ලියවිල්ලක් ලිවීමට තරම් තෝමස් ජෙෆර්සන් දෙපත් නයෙකු වූයේ කෙසේද යන්න යි. එබැවින් ඇමරිකානුවන්ගේ දෙබිඩි න්‍යායට සුදුසු ම උදාහරණය වන්නේ එරට තුන් වන ජනාධිපතිවරයා වූ ජෙෆර්සන් බව පෙනී යයි. 

ශ්‍රීනි ලංකා ජයකොඩි.

About The Author