Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

ඇන්ටොනයින් වසංගතය.

ක්‍රි.පූ. 165 – 180 අතර කාලයේ ප්‍රධාන කොට රෝමය ඇතුළු ලොව පුරා පැතිර ගිය භයානක ම වසංගතය වූයේ “ඇන්ටොනයින් වසංගතය” යි. ඇතැම්හු මෙය නැගෙනහිර චීනයෙන් ආරම්භ වී, සේද මාවතේ වෙළඳාමෙහි යෙදුණු පුද්ගලයින් හරහා රෝමයට පැමිණියේ යැයි සලකති. තවත් පිරිසකට අනුව “සෙලුසියා” සටනේ දී මෙම වෛරසය රෝම හමුදාවේ සොල්දාදුවන් තුළට ඇතුළු වී තිබේ. රයින් ගඟ හරහා ගෝල් දේශයට ගිය ගමනේ දී ඔවුන් විසින් වෛරසය ලොව පුරා ව්‍යාප්ත කොට තිබේ. 

මෙම වසංගතයේ මූලාරම්භය පිළිබඳ ජනප්‍රවාද කිහිපයක් ම ඇත. එක් ජනප්‍රවාදයකට අනුව රෝම හමුදාපතිවරයකු වූ “ලුසියස් වේරස්” නමැත්තා සෙලුසියාවේ යුද්ධයෙන් පසු නගරය සෝදිසි කිරීමේ දී වර්ෂ ගණනාවක් තිස්සේ වසා තිබූ ගුහාවක් විවෘත කර ඇත. ඒ තුළ තිබූ වායු අංශු අතර සැඟවී තිබූ වෛරසය හමුදාපතිවරයා හා ඔහුගේ පිරිස හරහා මුළු හමුදාවට ම පැතිර ගොස් තිබේ. සෙලුසියාවේ වැසියන්ට අනුව වසංගතය යනු සිය නගරය විනාශ කිරීමේ වරදට නගර ආරක්ෂක දෙවිවරුන් විසින් රෝම හමුදාවට ලබා දුන් දඬුවමකි. තවත් ප්‍රවාදයක් වන්නේ රන්වලට කෑදර වූ රෝම සොල්දාදුවෙකු විසින් බැබිලෝනියා නගරය තුළ පිහිටි ඇපලෝ දෙවියන්ගේ දේවාලයක් තුළ තිබූ රන් බඳුනක් විවෘත කිරීම නිසා වෛරසය නිදහස් වූ බව යි. කෙසේ වුවත් දේව භූමියකට අනවසරයෙන් ඇතුළු වී, එය අපවිත්‍ර කිරීම හේතුවෙන් වසංගතය පැතිරුණු බවට සෙලුසියාවේ වැසියන් විසින් රෝම හමුදාවට චෝදනා කළ අතර, ඔවුන්ගේ ආගම ඇදහීමේ ක්‍රියාකලාපය හේතුවෙන් දෙවියන් කෝප වී ඇති නිසා ලෙඩ රෝග හරහා දඬුවම් ලැබුණු බවට රෝමන්වරු කිතුණුවන්ට චෝදනා කළහ.

රෝගයේ ලක්ෂණ බොහෝ දුරට කොවිඩ් 19 වසංගත ලක්ෂණවලට සමාන විය. එනම් උණ, කැස්ස, උගුරේ වේදනාව හා පාචනය යි. ඒ හැරුණු විට වමනය, අධික පිපාසය හා සිරුර පුරා රතු සහ කළු පැහැති බිබිලි හට ගැනීම ද දක්නට ලැබිණි. වෛද්‍යවරුන් වටහා ගත් තවත් කරුණක් වූයේ රෝගය වැළඳුණු පුද්ගලයින්ගේ මළපහ තද කළු පැහැයට හුරු වූ බවයි. එයට හේතුව වූයේ මළපහ සමඟ බඩවැල් ඔස්සේ ලේ පිට වීම යි. තව ද රෝගියා කහින විට, කිවිසුම් හරින විට මෙන් ම හුස්ම පිට කරන විට ද මුඛයෙන් දැඩි දුර්ගන්ධයක් හැමීය. බිබිලිවල ස්වභාවය අනුව ඇතැමුන් විසින් මෙය වසූරියේ ආරම්භක අවස්ථාවක් ලෙස ද හඳුන්වනු ලැබේ. මෙම ඇන්ටොනයින් වසංගතය “ගැලන් වසංගතය” යනුවෙන් ද නම් කෙරේ. මන්දයත් රෝගය පිළිබඳ හොඳින් සොයා බලා නිශ්චය කොට, නිවැරැදි රෝග ලක්ෂණ මෙන් ම ප්‍රතිකාර ද හඳුන්වා දෙන ලද්දේ එකල විසූ වෛද්‍යවරයෙකු වූ “ගැලන්” විසින් බැවිනි. 

ඇන්ටොනයින් වසංගතය දෙවරක් ලොවට පහර දුන් අතර ක්‍රි.පූ. 165 දී පැමිණි පළමු රැල්ල එතරම් බලවත් නොවී ය. එහෙත් එහි දී දිනකට 2,000ක් පමණ මරණයට පත් වූහ. ඉන් වසර නවයකට පමණ පසු මතු වූ දෙවන රැල්ල සිතුවාටත් වඩා භයානක වූ අතර දිනකට 5,000ක් පමණ මරු වැළඳ ගත් බව පෙනිණි. ගම් දනව් බියෙන් ඇළලී ගියේ ය. ජනතාව කර කියාගත හැකි දෙයක් නොමැති ව අසරණ වූහ. පළමු රෝග ලක්ෂණය මතු වී සති දෙකක් පමණ යන විට රෝගියා මරණයට පත් වීමේ සම්භාවිතාව 90% ක් පමණ විය. 

ලොව අන් රටවලටත් වඩා මින් බැට කෑවේ රෝමය යි. එහි විසූ සාමාන්‍ය ජනතාව පමණක් නොව අධිරාජ්‍යයින් පවා වසංගතයෙන් බේරුණේ නැත. මෙයට “ඇන්ටොනයින්” යනුවෙන් නම් ලැබී ඇත්තේ ද වසංගතය වඩාත් බලසම්පන්න ලෙස පහර දුන්නේ එකල විසූ “මාර්කස් අවුරේලියස් ඇන්ටොනිනස්” නම් අධිරාජ්‍යයාගේ කාලයේ දී වන බැවිනි. මරණයෙන් බේරුණු පිරිස “අතිපිරිසිඳු ජන කොට්ඨාසයක්” යැයි සැලකුණු අතර ඔවුන්ගේ ශරීර තුළ සිතා ගත නොහැකි තරමේ ප්‍රතිශක්තියක් ගොඩ නැඟී තිබිණි. පසු කාලයේ දී වැළඳුණු ලෙඩරෝගවලට ද ඔවුන් ගොදුරු වූයේ ඉතා අල්ප වශයෙනි. 

මිලියන 60ත් 70ත් අතර සංඛ්‍යාවක් ඇන්ටොනයින් වසංගතයෙන් ආසාදිත වූ අතර එයින් මිලියන දහයකට පමණ මිය යාමට සිදු විය. මෙම මරණවලට වැඩි වශයෙන් හේතු වූයේ ජනතාව වෛද්‍යවරුන් විසින් නියම කරන ලද ඖෂධවලට වඩා දේව හාස්කම් පිළිබඳ විශ්වාසය තැබීම ය. දෙවියන්ගේ ආශිර්වාදය යම්තාක් දුරකට අවශ්‍ය ව තිබූ බව සැබැවි. එහෙත් ඔවුන් අන්ධ විශ්වාසයකින් ඖෂධ වීසිකොට දමා දෙවියන් දෙස පමණක් බලා සිටීම ගැටලුවක් විය. කෙසේ හෝ වසර ගණනාවක් තිස්සේ ලොවට බැට දුන් ඇන්ටොනයින් වසංගතය මඳින් මඳ පහ ව ගියේ රෝම අධිරාජ්‍යය ද සැලකිය යුතු මට්ටමකට බිඳ වට්ටවමිනි.

ශ්‍රීනි ලංකා ජයකොඩි. 

About The Author