ඇතැම් කුඩා දරුවන් මෙන් ම වැඩිහිටියෝ ද අමු සහල්, අඟුරු, ගල් කුඩු ආදිය ඉතා ආශාවෙන් අනුභව කිරීමට පුරුදු ව සිටිති. මෙය හඳුන්වන්නේ “පාණ්ඩුව” හෙවත් “කෙහෙතාගේ අපලය” යනුවෙනි. පෝෂණ හීනතාව හේතුවෙන් ඇති වන පාණ්ඩුව හා සමාන තවත් රෝගයක් තිබේ. එය “පිකා” ය.
“පිකා” රෝගය යනු පෝෂණ අගයක් නොමැති, අපිරිසිඳු, තීන්ත වැනි ද්‍රව්‍ය නොකඩවා ආහාරයට ගැනීම යි. සායනික ළමා මනෝවිද්‍යාව පිළිබඳ අත්පොතෙහි වර්තමානයේ දී ඇස්තමේන්තු ගත කර ඇත්තේ ආයතනික ජනගහණය අතර පිකා රෝගයෙහි ව්‍යාප්ති අනුපාතය 4% – 26% අතර පරාසයක පවතින බව යි. ආයතනික නොවන ජනගහණය අතර සිදු කෙරෙන පර්යේෂණ තනි සිද්ධි බවට පත් වන හෙයින් ව්‍යාප්ති අනුපාතය තක්සේරු කිරීම දුෂ්කර වේ.
රෝග විනිශ්චය.
කිසියම් පුද්ගලයෙකුට පිකා රෝගය තිබෙන බවට සැක කෙරේ නම් එම පුද්ගලයාට රක්තහීනතාව, බඩවැල්වල අවහිරතා හෝ ශරීරගත වූ ද්‍රව්‍යවලින් කිසියම් විෂ වීමක් සිදු ව ඇත්දැයි තක්සේරු කිරීම සඳහා වෛද්‍ය පරීක්ෂණයක් සිදු කිරීම වැදගත් වේ. සැක කටයුතු රෝග ලක්ෂණ ඇත්නම්, සම්පූර්ණ වෛද්‍ය ඉතිහාසය සොයා බැලිය යුතු වන අතර අදාළ වෛද්‍යවරයා රෝගියාගේ ශාරීරික පරීක්ෂණයක් සිදු කරමින් ඇගයීම ආරම්භ කරනු ඇත. රක්තහීනතාව පරීක්ෂා කිරීම සහ රුධිරයේ ඇති විෂ ද්‍රව්‍ය හා වෙනත් ද්‍රව්‍ය සොයා බැලීමත් බඩවැලේ ඇති අවහිරතා පරීක්ෂා කිරීමත් සඳහා වෛද්‍යවරයාට එක්ස් කිරණ සහ රුධිර පරීක්ෂණ වැනි ක්‍රම භාවිත කළ හැකි ය. බැක්ටීරියා හෝ වෙනත් ජීවීන්ගෙන් දූෂිත ද්‍රව්‍ය ආහාරයට ගැනීමෙන් ඇතිවිය හැකි ආසාදන පිළිබඳ ද පරීක්ෂා කෙරෙනු ඇත. මේ අවස්ථාවේ දී අදාළ රෝගී පුද්ගලයාගේ ආහාර පුරුදු පිළිබඳ සමාලෝචනයක් පැවැත්වීම පවා වැදගත් විය හැකි ය.
පිකා රෝග විනිශ්චය කිරීමට පෙර, වෛද්‍යවරයා විසින් මෙම අමුතු ආහාර ගැනීමේ හැසිරීමට හේතුව බුද්ධිමය ආබාධයක්, සංවර්ධන ආබාධයක්, හෝ උමතු – සම්පීඩන ආබාධයක් වැනි වෙනත් ආකාරවල ආබාධයක් ද? යන්න පිළිබඳ සොයා බලනු ඇත. කෙසේ වුවත් අදාළ රෝගය පිකා රෝගය ම යැයි තීරණය කිරීම සඳහා රෝගියාගේ අමුතු හැසිරීම් රටාව අවම වශයෙන් මාසයක්වත් අධ්‍යයනය කළ යුතු ය.
ප්‍රතිකාර කිරීම.
රෝගය නිශ්චිත ව විනිශ්චය කිරීමෙන් පසු ඒ හා සම්බන්ධ වෛද්‍ය සංකූලතා එනම්, ඊයම් විෂ වීම වැනි ගැටලු ඇති වීමට තිබෙන අවදානම සැලකිල්ලට ගත යුතු වේ. රෝගියාගේ ආහාර ගැනීමේ රටාව වෙනස් කළ යුතු වන බැවින් ප්‍රතිකාර කිරීමේ දී සමීප වෛද්‍ය අධීක්ෂණයක් පවත්වා ගැනීම අවශ්‍ය වේ. මීට අමතර ව, මෙම සංකීර්ණ අවස්ථාවට ප්රශස්ත ලෙස ප්‍රතිකාර කිරීම සඳහා පිකා වැනි රෝගයකට ප්‍රතිකාර කිරීමේ දක්ෂතාවක් සහිත මානසික රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය කණ්ඩායමක් එක් කර ගැනීම ඉතා සුදුසු ය.
“සායනික ළමා මනෝවිද්‍යාව සඳහා වන අත්පොත” තුළ මෙම අමුතු රෝගය සඳහා වඩාත් ඵලදායී ප්‍රතිකාර ක්‍රමයක් සඳහන් වේ. ඒ අනුව අදාළ රෝගියාට ආහාරයට ගැනීම සඳහා සුදුසු වන ආහාර සහ ඉතා සීරුවෙන් අත්හරවා ගත යුතු ආහාර පුරුදු මොනවාදැයි විශේෂයෙන් හඳුනා ගැනීම ප්‍රතිකාර ක්රමයේ මූලික පියවර බවට පත් වේ.
රෝගය හා සම්බන්ධ සංකූලතා.
පිකා රෝගය හේතුවෙන් ඇති විය හැකි සංකූලතා බොහොමයක් ඇත.
තීන්ත, පරිගණක චිප වැනි සමහර අයිතමවල ඊයම් හෝ වෙනත් විෂ ද්‍රව්‍ය අඩංගු විය හැකි අතර ඒවා ආහාරයට ගැනීමෙන් ශරීරයට විෂ ඇතුළු විය හැකි ය. දරුවන්ට නම්, මෙම අනවශ්‍ය ද්‍රව්‍ය ආහාරයට ගැනීම හේතුවෙන් ඉගෙනීමේ දුර්වලතා සහ මොළයට හානි වීම වැනි සංකූලතා ඇතිවීමේ අවදානම වැඩි වේ. රෝගයේ වඩාත් ම භයානක හා මාරාන්තික අතුරු ආබාධය මෙය යි.
ආහාර නොවන වස්තූන් අනුභව කිරීම සෞඛ්‍ය සම්පන්න ආහාර අනුභව කිරීමට බාධාවක් වන අතර එමඟින් පෝෂණ ඌනතාවන් ඇති විය හැකි ය.
ගල් වැනි ජීර්ණය කළ නොහැකි වස්තූන් ආහාරයට ගැනීමෙන් බඩවැල් ඇතුළු ආහාර ජීර්ණ පද්ධතියේ මළ බද්ධය හෝ අවහිරතා ඇති විය හැකි ය. එසේ ම, කඩදාසි ක්ලිප් හෝ ලෝහ කටු වැනි තද හෝ තියුණු වස්තූන් මඟින් ආහාර ගෙන යන බඩවැල්වල තුවාල ඇති විය හැකි ය.
අපිරිසිඳු වස්තූන් හරහා ශරීරයට ඇතුළු වන බැක්ටීරියා හෝ පරපෝෂිතයන් හේතුවෙන් බරපතල ආසාදන ඇති විය හැකි ය. ඇතැම් ආසාදන හේතුවෙන් වකුගඩුවලට හෝ අක්මාවට හානි විය හැකි ය.
ඇතැම් අවස්ථාවල රෝගය හඳුනා ගත්ත ද සමකාලීන ව රෝගියාගේ ශරීරය තුළ තිබෙන අඩුපාඩු හේතුවෙන් ප්‍රතිකාර කිරීම දුෂ්කර විය හැකි ය.
පිකා රෝගය සාමාන්‍යයෙන් ළමා වියේ සිට ආරම්භ වන අතර එය පවතිනු ඇත්තේ මාස කිහිපයක් දක්වා පමණි. කෙසේ වෙතත්, ආබාධිත දරුවන් හට මෙම රෝගී තත්ත්වය කළමනාකරණය කරවීම වඩාත් අපහසු වනු ඇත.
පිකා වැළැක්විය හැකි ද?
පිකා රෝගය වැළැක්වීම සඳහා නිශ්චිත ක්‍රමවේදයක් නොමැත. කෙසේ වෙතත්, ආහාර ගැනීමේ පුරුදු පිළිබඳ ප්‍රවේශමෙන් අවධානය යොමු කිරීම තුළින් සහ කිසියම් දෙයක් කටේ දමා ගැනීමට උත්සාහ කරන වයසේ දරුවන් සමීප ව අධීක්ෂණය කිරීම මඟින් සංකූලතා ඇතිවීමට පෙර මෙම ආබාධය හඳුනා ගැනීමට හැකි වනු ඇත.
ශ්‍රීනි ලංකා ජයකොඩි.
අත නොහැර කියවන තැන
ආර්තවහරණය පිළිබඳ මිථ්‍යාවන් හතක් !
කොළඹ විශ්වවිද්‍යාලය තට්ටය මට්ටු කරමින් තෙලක් බෙදයි
ඉදිරි දශකය ජයගත හැකි අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන සමාජ විද්‍යාත්මක කථිකාවක්