Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

චීන – තායිවාන ගැටුම.

චීනයත් තායිවානයත් කොණ්ඩවලු පටලවා ගනිමින් සිටිති. චීනයේ නවතම ආයුධය වී ඇත්තේ දෙරට අතර වෙරළේ තිබෙන මුහුදු වැලි ය. ඒවා විකුණා ජීවිකාව ගැට ගසා ගන්නා සාමාන්‍ය ජනතාව ඉලක්ක කර ගනිමින් මේ වන විට චීනය තායිවානයට බැට දෙමින් සිටියි.

චීන රජය තායිවානය දකින්නේ කැඩී බිඳී ගිය, අසරණ රාජ්‍යයක් ලෙස ය. අවසානයේ දී තායිවානය නැවතත් චීනයේ ම කොටසක් බවට පත් වන දිනය වන තුරු ඔවුහු මඟ බලාගෙන සිටිති. ඇතැම් තායිවාන ජාතිකයන් සිතන්නේ අනාගතයේ දී මෙය සිදු විය හැකි බව යි. එනමුත් තවත් සමහරුන් සිතන්නේ චීනය විසින් තායිවානයේ නිදහස නිළ වශයෙන් ප්‍රකාශයට පත් කළ ද, නැත ද වෙන ම ජාතියක් තමන් සතුව ඇති බවයි.

චීනය සමඟ අලුතින් ඇති ව තිබෙන ආරවුල හේතුවෙන් එක්සත් ජනපදය සමඟ එක් වීම සඳහා තායිවානය තුළ ඇති කැමැත්තට ද වැට බැඳී ඇති බව පෙනේ.

ගැටුමේ ඉතිහාසය.

ප්‍රථම වරට තායිවාන භූමිය තුළ පදිංචි වන්නේ නූතන දකුණු චීනයෙන් පැමිණි අය යැයි සිතිය හැකි ඔස්ට්‍රොනීසියානු ගෝත්‍රිකයන් ය. මුල් වරට මෙම දූපත පිළිබඳ සඳහන් වනුයේ ක්‍රි.ව. 239 දී දේශගවේෂණ කටයුතුවල නිරත වූ පුද්ගලයින්ගේ වාර්තාවල ය. කෙටි කලක් ඕලන්ද යටත් විජිතයක් ලෙස පැවැතීමෙන් පසු (1624-1661) 1683 සිට 1895 දක්වා චීනයේ ක්විං රාජවංශය විසින් තායිවානය පාලනය කරන ලදී.

17 වන ශතවර්ෂයේ ආරම්භයේ සිට සැලකිය යුතු සංක්‍රමණික පිරිසක් චීනයේ සිට තායිවානයට පැමිණීමට පටන් ගත්හ. ඉන් බොහෝ දෙනෙක් ෆුජියන් (ෆුකියන්) පළාතේ හොක්ලෝ චීන ජාතිකයන් හෝ හක්කා චීන ජාතිකයන් වූ අතර වාසය කිරීම සඳහා ගුවැන්ඩොං පළාත තෝරා ගත්හ. අද වන විට තායිවානය තුළ විශාලතම ජනගහණය සමන්විත වන්නේ මෙම සංක්‍රමණ දෙකෙන් පැවත එන්නන්ගෙනි.

1895 දී, පළමු වරට සිදු කෙරුණු චීන – ජපන් යුද්ධයේ දී ජපානය ජයග්‍රහණය කිරීමෙන් පසු, ක්විං රජයට සිදු වූයේ තායිවානය ජපානයට භාර දීමට ය. දෙවන ලෝක සංග්‍රාමයෙන් පසුව, ජයග්‍රාහකයන්ගෙන් එක් අයෙකු වූ චීන ජනරජය, සිය සගයන් වන එක්සත් ජනපදයේ සහ එක්සත් රාජධානියේ කැමැත්ත ඇති ව තායිවානය පාලනය කිරීමට පටන් ගත්තේය. ඒ, ජපානය යටත් වෙමින් චීනයෙන් අත්පත් කරගත් මෙම භූමියෙහි පාලනය අත්හැර දැමීමෙන් පසුව ය.

කෙසේ වෙතත් ඉදිරි වසර කිහිපය තුළ චීනයේ සිවිල් යුද්ධයක් ඇති වූ අතර මාඕ සේතුං යටතේ කොමියුනිස්ට් හමුදාවන් විසින් එවකට චීනයේ නායකයා වූ චියැං කායි – ෂෙක්ගේ හමුදාව පරාජය කරන ලදී. එහෙයින් චියැං කායි – ෂෙක් සිය ආධාරකරුවන් සමඟ තායිවානයට පලා ගියේය

චියැං සහ ඔහුගේ කුවොමින්ටැං (කේ.එම්.ටී.) රජයේ අවශේෂ නිළධාරීහු ද 1949 වසර වන විට තායිවානයට පලා ගියහ. “මේන්ලන්ඩ් චීන ජාතිකයන්” ලෙස හඳුන්වනු ලබන මෙම කණ්ඩායම තායිවාන දේශපාලනය තුළ වසර ගණනාවක් පුරා ආධිපත්‍යය දැරුව ද ඔවුන් සිටියේ එරට ජනගහණයෙන් 14% ක් පමණි.

මඳින් මඳ ඒකාධිපති පාලනය පිළිබඳ තායිවාන ජනතාව අමනාප වීමට පටන් ගත්හ. එහෙයින් වර්ධනය වන ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යාපාරයක පීඩනය යටතේ, වඩාත් ඵලදායී ආඥාදායකත්වයක් උරුම කර ගැනීමේ අරමුණින් චියැංගේ පුත් චියැං චිං – කුඕ විසින් ප්‍රජාතන්ත්‍රීයකරණ ක්‍රියාවලියකට ඉඩ දීම ආරම්භ කෙරිණි. එය 2000 වසරේ දිවයිනේ පැවැත්වුණු මැතිවරණයට හේතු විය. මැතිවරණයේ ප්‍රතිඵල අනුව එම වසරේ දී පළමු කේ. එම්. ටී. නොවන නායකයා වශයෙන් චෙන් ෂුයි-බියන් පත් විය.

මෑත දශකය.

එම සිද්ධියට පෙර, දශක ගණනාවක් පුරා දිගහැරෙමින් පැමිණි සතුරු චේතනා සහ කෝපාවිෂ්ට වාචාල කතාවලින් පසු, 1980 දශකයේ දී චීනය සහ තායිවානය අතර සබඳතා වැඩිදියුණු වීමට පටන් ගත්තේය. චීනය “එක් රටක්, පද්ධති දෙකක්” නමින් සූත්‍රයක් ඉදිරිපත් කළ අතර ඒ අනුව තායිවානය චීනය සමඟ නැවත එක්වන්නේ නම් සැලකිය යුතු ස්වයං පාලනයක් ද ලබා දීමට එකඟ විය.

මෙම ක්‍රමය හොංකොංහි ස්ථාපිත කරන ලද අතර එය තායිවාන වැසියන් නැවත චීනය වෙත පොළඹවා ගැනීම සඳහා ප්‍රදර්ශකයක් ලෙස භාවිත විය. එනමුත් පසුගිය වසර පුරා අදාළ සංකල්පය ගැටලු සහගත තත්ත්වයකට පත් ව තිබෙන අතර බොහෝ විශ්ලේෂකයින් ප්‍රශ්න කරන්නේ එවැනි ක්‍රමයක් තවමත් පවතීදැයි කියා ය. තායිවාන රජය, මෙම ඉල්ලීම ප්‍රතික්ෂේප කළ නමුත් චීනයේ සංචාරය කිරීම සහ ආයෝජනය කිරීම පිළිබඳ නීති ලිහිල් කළේය. එය 1991 දී මහජන චීන සමූහාණ්ඩුව සමඟ එතුවක් පැවැති සීතල යුද්ධය අවසන් කිරීමට පෙළඹවී ය.

කෙසේ වෙතත් චීනයේ බීජිං රජය පවසන්නේ තායිවානයේ චීන සමූහාණ්ඩු (ආර්.ඕ.සී.) රජය අවජාතක යැයි කියා ය. එනමුත් දැනටත් දෙරටේ නිළ නොවන නියෝජිතයන් අතර සීමිත සාකච්ඡා පැවත් වේ.

කෙසේ වුවත් 2000 දී “චෙන් ෂුයි-බියන්” තේරී පත්වීමත් සමඟ “ස්වාධීනත්වයට” විවෘතව පිටුබලය දුන් බීජිනය තැති ගෙන ඇති බව පෙනිණි. චෙන් මහතා 2004 දී නැවත තේරී පත් වූ අතර, 2005 දී චීනයට ඊනියා බෙදුම් විරෝධී නීතියක් සම්මත කිරීමට බල කළේ ය. ඔහු ඇසුවේ වෙන්වීමට උත්සාහ කළහොත් “සාමකාමී නොවන මාර්ග” භාවිත කරන බවට තර්ජනය කිරීමට චීනයට ඇති අයිතිය කුමක්ද? යන්න යි. 2008 දී මා යින්-ජියෝ ජනාධිපති ලෙස තේරී පත් විය. ඔහු චීනය සමඟ සබඳතා වැඩි දියුණු කිරීමට උත්සාහ කළේ ප්‍රධාන වශයෙන් ආර්ථික ගිවිසුම් හරහා ය. 

2016 ජනවාරියේ පැවති මැතිවරණයේ දී නිළ වශයෙන් ම චීනයෙන් වෙන් වීමට කැමැත්ත දක්වන ඩිමොක්‍රටික් ප්‍රගතිශීලී පක්ෂයේ (ඩී.පී.පී.) සායි ඉන්ග් – වෙන් ජය ගත්තා ය. ඩොනල්ඩ් ට්‍රම්ප් 2016 එක්සත් ජනපද මැතිවරණයෙන් ජයග්‍රහණය කිරීමෙන් පසුව, ඔහු හා දුරකථනයෙන් කතා කළ ඇය, 1979 දී විධිමත් සබඳතා කපා හරින විට එක්සත් ජනපද ප්‍රතිපත්තියට ඇති වූ බිඳවැටීම කුමක් දැයි ප්‍රශ්න කළා ය. 

2018 වර්ෂය පුරා ම චීනය කළේ තායිවානය චීනයේ කොටසක් ලෙස වෙබ් අඩවි තුළ ලැයිස්තුගත කරන ලෙස බල කරමින් ජාත්‍යන්තර සමාගම්වලට බලපෑම් කිරීමත් ඒවා පිළිපැදීමට අපොහොසත් වුවහොත් චීනයේ ව්‍යාපාර කටයුතු කිරීම අවහිර කරන බවට තර්ජනය කිරීමත් ය.

බීජිං වෙතින් කෙතරම් විවේචන එල්ල කෙරුණ ද සායි මහත්මිය 2020 දී දෙවන වරටත් ජයග්‍රහණය කළා ය. ඒ වන විට හොංකොංහි විරෝධතාකරුවන්ට එරෙහි ව චීන රජය තුළ නොසන්සුන්තාවක් හට ගෙන තිබිණි. තායිවානයේ බොහෝ දෙනා බිය වී සිටියේ බීජිනය ඊළඟට තායිවානය කෙරෙහි අවධානය යොමු කරනු ඇතැයි කියා ය.

එම වසර අග දී චීනය හොංකොංහි ජාතික ආරක්ෂක නීතියක් ක්‍රියාත්මක කළ අතර ඒ, පිළිබඳ බොහෝ දෙනාගේ අදහස වූයේ අදාළ නීතිය බීජිනය සිය බලය එම කලාපය තුළ තහවුරු කරලීම සඳහා ගත් එක් පියවරක් බව ය.

මේ අතර, ඇමරිකා එක්සත් ජනපදය තායිවානය වෙත ලබා දුන් සහයෝගය තවදුරටත් අඛණ්ඩ ව ලබා දෙන බවට සහතික විය. පසුගිය සැප්තැම්බර් මාසයේ දී ද තායිවානය තුළ රැස්වීම් පැවැත්වීම සඳහා එරට ඉහළම දේශපාලනඥයින් පිරිසක් යවා තිබේ. බීජිනය මෙම රැස්වීම දැඩි ලෙස විවේචනය කරමින්, “තායිවානයේ ස්වාධීනත්වයට” ද චීන – එක්සත් ජනපද සබඳතාවලට දැඩි හානියක් සිදුවීම වළක්වා ගැනීම සඳහා ද වැරදි සංඥ ලබා නොදෙන ලෙස අනතුරු ඇඟවීය. අදාළ මතභේදාත්මක සංචාරය අතරතුර චීනය විසින් සිය දිවයින තායිවානයෙන් වෙන් කරන ජල මාර්ගය හරහා සජීවී ගිනි මිලිටරි අභ්‍යාසයක් ද පවත්වන ලදී.

ජනාධිපති ජෝ බයිඩෙන් පවා කියා සිටින්නේ තමන් තායිවානයට සහයෝගය දෙන බව යි. ඔහුගේ ජනාධිපති ධුරයේ පළමු දින කිහිපය තුළ දින දෙකක් පුරා චීන යුධ ගුවන් යානා විසින් තායිවානය පුරා විශාල ආක්‍රමණයක් සිදු කළ බව පෙනිණි. තායිවානයේ ගුවන් හමුදාව චීන ගුවන් යානාවලට අනතුරු ඇඟවීමට පියවර ගත් අතර ගුවන් යානා නිරීක්ෂණය කිරීම සඳහා ගුවන් ආරක්ෂක මිසයිල පද්ධති යෙදවීය. විශ්ලේෂකයින් පවසන්නේ මේ වන විට චීනය බයිඩෙන් මහතා තායිවානයට දක්වන සහයෝගය පරීක්ෂා කරමින් සිටින බවයි.

පෙන්ටගනයේ ප්‍රකාශක, ජෝන් කිරිබි ඊට ප්‍රතිචාර දක්වමින් “ආත්මාරක්ෂාව සඳහා තායිවානයට සහාය වීමට අප බැඳී සිටිමු. එය දිගටම සිදුවනු ඇතැයි මම සිතමි” යනුවෙන් පවසා තිබේ.

තායිවානය යනු?

තායිවානය යනු කුමක් ද? යන්න සහ එය හැඳින්විය යුත්තේ කෙසේ ද? යන්න පිළිබඳ මතභේද පවතී.

චීනය තායිවානය සලකන්නේ අවශ්‍ය නම් බලහත්කාරයෙන් නැවත ලබා ගැනීමට හැකි, කැඩී ගිය පළාතක් ලෙස ය. එහෙත් තායිවානයේ නායකයින් පවසන්නේ එය පැහැදිලිව ම ස්වෛරී රාජ්‍යයක් බව යි.

තායිවානයට තමන්ගේ ම ව්‍යවස්ථාවක්, ප්‍රජාතන්ත්‍රවාදී ව තේරී පත් වූ නායකයින් සහ 300,000ක පමණ ක්‍රියාකාරී හමුදාවක් සිටිති. 1949 දී තායිවානයට ප්‍රධාන භූමියෙන් පලා ගිය චියැං කායි-ෂෙක්ගේ චීන සමූහාණ්ඩුව (ආර්. ඕ. සී.) රජය මුල දී කියා සිටියේ තම රජය චීනය නියෝජනය කරන බව යි. ඔවුන් එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ දී චීනයේ අසුන ම දැරූ අතර බොහෝ බටහිර රටවල් විසින් එක ම රජයක් ලෙස පිළිගන්නා ලදී.

එහෙත් 1971 දී එක්සත් ජාතීන්ගේ සංවිධානය මෙම රාජ්‍ය තාන්ත්‍රික පිළිගැනීම අත්හිටවූ අතර ආර්. ඕ. සී. රජය බලහත්කාරයෙන් ඉවත් කරන ලදී. එතැන් සිට ආර්.ඕ.සී. රජය රාජ්‍ය තාන්ත්‍රික ව පිළිගන්නා රටවල් සංඛ්‍යාව 15ක් දක්වා පහත වැටිණි.

දෙරට අතර ඇති විශාල භේදය සැලකිල්ලට ගත් විට, අනෙක් බොහෝ රටවල් වර්තමානයේ දී කැමැති වන්නේ අදාළ ව්‍යාකූලත්වය නොසලකා හැරීමට ය. එහෙත් නෛතික තත්ත්වය අපැහැදිලි වුව ද තායිවානය තුළ ස්වාධීන රාජ්‍යයක සියලු ලක්ෂණ පාහේ පවතියි.

තායිවානයේ නිදහස කෙතරම් ප‍්‍රශ්නයක්ද?

තායිවානයේ දේශපාලන ප්‍රගතිය මන්දගාමී වූවත්, ජාතීන් හා ආර්ථිකයන් අතර සම්බන්ධතා තියුණු ලෙස වර්ධනය වී තිබේ. තායිවාන සමාගම් චීනයේ ඩොලර් බිලියන 60ක් පමණ ආයෝජනය කර ඇති අතර දැන් තායිවානය තුළ මිලියනයක් පමණ දෙනා වාසය කරති.

සමහර තායිවානුවන් කනස්සල්ලට පත්වන්නේ ඔවුන්ගේ ආර්ථිකය දැන් චීනය මත රඳා පවතිතැයි කියා ය. මේ අතර මතභේදාත්මක වෙළඳ ගිවිසුමක් මඟින් 2014 දී තායිවානය තුළ “සූරියකාන්ත ව්‍යාපාරය” අවුලුවාලූ අතර එහි දී තායිවානය කෙරෙහි චීනයේ බලපෑමට විරෝධය දක්වමින් සිසුහු හා සමාජ ක්‍රියාකාරීහු එක් ව තායිවානයේ පාර්ලිමේන්තුව අල්ලා ගත්හ.

ඩිමොක්‍රටික් ප්‍රගතිශීලී පක්ෂය (ඩී.පී.පී.) තවමත් නිළ වශයෙන් තායිවානයේ විධිමත් ස්වාධීනත්වයට උදව් දෙන අතර, කේ.එම්. ටී පක්ෂය නැවත එක්සත් වීමට කැමැත්තක් දක්වයි. මත විමසුම්වලින් පෙනී යන්නේ තායිවානයේ බොහෝ දෙනා ස්වාධීන වීමට කැමැත්ත දක්වන බව යි.

මෙම බෙදුම්වාදී ගැටලුව තායිවාන ජාතිකයින්ට වඩාත් දැනෙන බව පෙනේ. 2016 ජනවාරි මැතිවරණයේ දී ඩී.පී.පී. පක්ෂය දිනුම ලබා ගැනීමට එක් හේතුවක් වූයේ කේ.එම්.ටීවරුන්ගේ ආර්ථික කටයුතු හැසිරවීම, ධනය බෙදී යාමේ පරතරයේ අතෘප්තිය සහ අර්ධ වශයෙන් මා මහතාගේ පරිපාලනය හරහා තායිවානය බීජිනය මත යැපීම නිසා ඇති වූ කනස්සල්ල යි.

එක්සත් ජනපදය ඉටු කරන කාර්යභාරය කුමක්ද?

එක්සත් ජනපදය මේ වන විට තායිවානයේ වඩාත් වැදගත් මිතුරා ය. දෙවන ලෝක සංග්‍රාමය හා සීතල යුද්ධය අතරතුර ඇති වූ මෙම සම්බන්ධතාව 1979 දී දැඩි පරීක්ෂණයකට භාජනය විය. ජනාධිපති ජිමී කාටර් විසින් චීනය සමඟ සබඳතා වර්ධනය කර ගැනීමේ අරමුණින් තායිවානය අත්හැරියේ ය.

පසුව මෙම පියවරට හිලව් වන ලෙස එක්සත් ජනපද කොන්ග්‍රසය තායිවානයට ආරක්ෂක අවි සැපයීමට පොරොන්දු වෙමින් “තායිවාන් සබඳතා පනත” සම්මත කළ අතර චීනයේ ඕනෑම ප්‍රහාරයක් එක්සත් ජනපදයට පෞද්ගලික ව එල්ල කරන ලද්දක් ලෙස සලකනු ඇතැයි අවධාරණය කළේය. එතැන් සිට, එක්සත් ජනපද ප්‍රතිපත්තිය අනුව තායිවානයේ ආර්ථික සාර්ථකත්වය සහ ප්‍රජාතන්ත්‍රීයකරණය කෙරෙහි එක්සත් ජනපදයේ ප්‍රසාදය පළ වේ. තව ද කලාපීය බලවතෙකු ලෙස චීනයේ ඉස්මතු වීම වළක්වාලීමට ද උත්සාහ ගැනේ.

1996 තායිවානයේ පැවැත්වුණු පළමු සෘජු ජනාධිපතිවරණයට බලපෑම් කිරීම සඳහා චීනය මිසයිල අත්හදා බැලූ අවස්ථාවේ දී එක්සත් ජනපදයේ කාර්යභාරය වඩාත් පැහැදිලි ව පෙන්නුම් කෙරිණි. ඊට ප්‍රතිචාර වශයෙන් එක්සත් ජනපද ජනාධිපති බිල් ක්ලින්ටන් විසින් වියට්නාම් යුද්ධයෙන් පසු ආසියාවේ විශාලතම එක්සත් ජනපද මිලිටරි බලය චීනයට එරෙහි ව ප්‍රදර්ශනය කිරීමට නියෝග කළේ ය. එයින් පසු චීනය තරමක් පසු බැස තිබිණි.

කෙසේ හෝ අදටත් මෙම ගැටුමේ අවසානයක් පෙනෙන්නට නොමැති අතර, කොවිඩ් වසංගත තත්ත්වයට පවා චීනයේ එදිරිවාදිකම් නැවැත්වීමට හැකියාවක් නොමැති බව සිතේ.

ශ්‍රීනි ලංකා ජයකොඩි.

About The Author