ලොව එක් එක් රටවල පාර්ලිමේන්තුවට හෝ ජනාධිපති තනතුරට නියෝජිතයින් තෝරා ගනු ලැබීම සඳහා පැවැත්වෙන මැතිවරණ ක්‍රමය සෑම විට ම එක හා සමාන නොවේ. ඇමරිකා එක්සත් ජනපදයේ ජනාධිපතිවරණය පිළිබඳ කතා කරන විට, එහි පැවැත්වෙන අමුතු ඡන්ද ක්‍රමය ගැන ද සොයා බැලීම වටී.
ඒ අනුව, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 2 වන වගන්තියේ, අංක 1 ප්‍රකාර ව එරට එක් එක් ප්‍රාන්තය සඳහා එක් එක් පක්ෂයකින් නියම කරන ලද නියෝජිතයින් කිහිප දෙනෙකු ප්‍රථමයෙන් තෝරා ගනු ලැබේ. ඒ, සාමාන්‍ය ලෙස පැවැත්වෙන මහජන ඡන්දයකිනි. දෙවනුව එම සාමාජිකයින් කිහිප දෙනා එක් කොටගෙන පිහිටුවා ගත් “ඡන්ද විද්‍යාලය” (Electoral College) නමැති කමිටුවක් මඟින් ජනාධිපතිවරයා තෝරා ගනු ලැබේ. මෙහි දී ජනාධිපතිවරයා වෙනුවෙන් මහජන ඡන්දයක් (Popular vote) ද පවත්වනු ලැබේ. එහෙත් වැඩි වශයෙන් මුල් තැන දෙනුයේ පෙර සඳහන් කරන ලද ඡන්ද විද්‍යාලයේ කැමැත්තට ය. නූතන ජනාධිපතිවරණයක් ජයග්‍රහණය කිරීම සඳහා අපේක්ෂකයෙකු සමස්ත මැතිවරණ ඡන්ද 538 න් 270 ක් ලබා ගත යුතුය. පාර්ලිමේන්තුවේ සිටින නියෝජිතයින් සංඛ්‍යාව සහ ඔවුන්ගේ සෙනෙට් සභිකයන් දෙදෙනා මත පදනම් ව ප්‍රාන්තවලට ඡන්දය ප්‍රකාශ කිරීමේ අවස්ථා ලබා දෙනු ලැබේ. සෑම ප්‍රාන්තයක ම ජනගහණය අනුව ඡන්දදායකයින් නම් කරනු ලැබේ. මේ අනුව වැඩි ම ජනගහණයක් සහිත කැරොලිනා ප්‍රාන්තයෙන් ඡන්ද විද්‍යාලයට නියෝජිතයින් 52ක් තෝරා ගැනෙයි. ඇලස්කාව වැනි අඩු ජනගහණයක් සහිත ප්‍රාන්තවලට පවා අවම වශයෙන් ඡන්දදායකයින් තිදෙනෙකු (එක් නියෝජිතයෙකු සහ සෙනෙට් සභිකයින් දෙදෙනෙකු) ව්‍යවස්ථානුකූලව පත් කරනු ලැබේ. එසේ ම මහජන ඡන්දයෙන් යම් ප්‍රාන්තයක් ජය ගන්නා අපේක්ෂකයාට එම ප්‍රාන්තයේ ඡන්ද විද්‍යාල නියෝජිතයින් සියලුදෙනාගේ ම ඡන්දය ලැබේ.
එසේ නම් මහජනයා තෝරා ගත් ඡන්ද විද්‍යාල නියෝජිත කණ්ඩායම හරහා පත් වන ජනාධිපතිවරයාත් පසුව හෝ ඊට පෙර පැවැත්වෙන සාමාන්‍ය මහජන ඡන්ද ක්‍රමයෙන් පත් වන ජනාධිපතිවරයාත් එක් අයෙකු වීමට සෑහෙන තරමේ සම්භාවිතාවක් තිබේ. එහෙත් මේ පිළිබඳ වැඩිදුර සොයා බැලීමේ දී පෙනී යන කරුණක් වන්නේ හැම විට ම මේ දෙදෙනා එක් අයෙකු ම නොවූ බවයි. ඇමරිකානු ඉතිහාසය තුළ මෙලෙස මහජන කැමැත්තට පිටුපා ඡන්ද විද්‍යාලයේ කැමැත්තට හෝ වෙනත් තීන්දුවලින් තනතුරට පත් වූ ජනාධිපතිවරු පස් දෙනෙක් සිටියහ.
1.ජෝන් ක්වින්සි ඇඩම්ස් (1824).
මහජන ඡන්දය අහිමි ව වෙනත් ක්‍රමයකින් ජනාධිපතිවරයා බවට පත් වූ ප්‍රථමයා වූයේ ඇමරිකා එක්සත් ජනපදයේ 6 වන ජනාධිපතිවරයා බවට පත් වූ ජෝන් ඇඩම්ස් ය. 1824 දී ජනාධිපති ධුරය සඳහා තරඟකරුවන් හතර දෙනෙකු සිටි අතර, ඔවුන් සියලු දෙනා එකම ඩිමොක්රටික් – රිපබ්ලිකන් පක්ෂවල සාමාජිකයෝ වූහ. එනම්, “ඇන්ඩෘෘ ජැක්සන්’, “ජෝන් ඇඩම්ස්”, “විලියම් ක්‍රෝෆර්ඩ්” සහ “හෙන්රි ක්ලේ” ය.
ඡන්දය පැවැත්වුණු පසු ඇන්ඩෲ ජැක්සන් මහජන හා විද්‍යාල යන ඡන්ද දෙවර්ගයෙන් ම ජයග්‍රහණය කළේ ය. එහෙත් ඔහුට බහුතර මනාපය ලබා ගත නොහැකි විය. කිසිදු ජනාධිපති අපේක්ෂකයෙකු මැතිවරණ ඡන්දවලින් බහුතරයක් දිනා නොගන්නා අවස්ථාවල දී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව ඡන්දය නියෝජිත මන්ත්‍රී මණ්ඩලයට යවනු ලැබේ. 12 වන ව්‍යවස්ථා සංශෝධනයට අනුව, පාර්ලිමේන්තුවට ඡන්දය දිය හැක්කේ ඉහළම ඡන්ද අපේක්ෂකයින් තිදෙනා වෙනුවෙන් පමණි. එමඟින් “ක්ලේ” තරඟයෙන් ඉවත් විණි.
මහජන ඡන්දයේ දී ඇන්ඩෲ ජැක්සන් ඡන්ද 99කින් 84ක් ම ලබා ගනිමින් ජෝන් ඇඩම්ස් පරාජය කළේ ය. එහෙත් පාර්ලිමේන්තු සභිකයින් තීරණය කර තිබුණේ ජෝන් ඇඩම්ස්ට සිය මනාපය ලබා දීමට යි. එහෙයින් අවසානයේ දී ජනාධිපති ධූරයට පත් වූයේ ඇඩම්ස් ය. මෙම මැතිවරණය දූෂිත මැතිවරණයක් බවට අදටත් පිළිගැනෙන්නේ ද මෙම හේතුව නිසාවෙනි.
2. රදර්ෆර්ඩ් බී. හේස් (1876).
1824 දී සිදු වූ සිද්ධියට සමාන ව මෙම වසරේ දී ද මැතිවරණයේ ජයග්‍රහණය තීරණය කරනු ලැබුවේ කොන්ග්රසය හෙවත් පාර්ලිමේන්තුව විසිනි. මෙහි දී තරඟය පැවතුණේ රිපබ්ලිකන් පක්ෂයේ අපේක්ෂක “රදර්ෆර්ඩ් හේස්” සහ ඩිමොක්රටික් අපේක්ෂක “සැමුවෙල් ටිල්ඩන්” අතර ය. ඡන්ද විද්‍යාලයේ මනාප ගණනය කොට බැලූ විට ටිල්ඩන් ඡන්ද 184ක් ලබාගෙන තිබිණි. එහෙත් එය බහුතරය නොවීය. හේස් දිනා ගත්තේ ඡන්ද 165ක් පමණි.
ෆ්ලොරිඩා, ලුසියානා සහ දකුණු කැරොලිනා යන ප්‍රාන්තවලින් ලැබුණු ඡන්ද ප්‍රතිඵලවලට රිපබ්ලිකානුවෝ විරුද්ධ වූහ. එබැවින් එය ගැටුමක් බවට පත් විය. කිසිදු අපේක්ෂකයෙකු බහුතර ඡන්ද ප්‍රතිශතයක් දිනා නොගත්තේ නම් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුගත කරන ලද සැලැස්මක් තිබුණ ද ඒ හරහා හට ගත් ආරවුලක් විසඳීම සඳහා එවැනි ක්‍රියාවලියක් නොතිබුණි. එබැවින් තීරණයක් ගත් කොන්ග්රසය, සභා නියෝජිතයින්, සෙනෙට් සභිකයින් සහ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන්ගෙන් සමන්විත ද්විපාර්ශ්වික ෆෙඩරල් මැතිවරණ කොමිසමක් නිර්මාණය කළේය. අදාළ කොමිසම ඡන්දය ප්‍රකාශ කිරීමේ දී පුදුමයකට මෙන් හේස් හට පක්ෂ ව ඡන්ද 20ක් ම ලබා දී තිබිණි. එබැවින් කිසිදු අසීරුවකින් තොර ව ඔහුගේ ඡන්ද ගණන 185ක් බවට පත් වූ අතර බහුතර මනාපයෙන් ජනාධිපති ධූරයට පත් විණි.
මහජන හා සහායක ඡන්ද දෙක ම අහිමි වූ හේස් වෙත ජනාධිපති ධූරය භාර දීමට කොමිසම තීරණය කළේ ඇයි? බොහෝ ඉතිහාසඥයින් විශ්වාස කරන්නේ දෙපාර්ශ්වය අතර කිසියම් සැඟවුණු ගනුදෙනුවක් පැවති බවයි. මේ වන විට නිගමනය කර ඇත්තේ දකුණේ බලකොටුව සාදා ගත් ඩිමොක්රටිකයෝ, සියලු ෆෙඩරල් හමුදා සිය රාජ්‍යයන්ගෙන් ඉවත් කරන බවට පොරොන්දු වූ රිපබ්ලිකානුවන්ට ප්‍රතිචාර වශයෙන් හේස්ට ජනාධිපති වීම සඳහා ඉඩ දීමට එකඟ වූ බව යි.
3. බෙන්ජමින් හැරිසන් (1888).
හිටපු ඩිමොක්රටික් ජනාධිපති “ග්‍රෝවර් ක්ලීව්ලන්ඩ්” සහ රිපබ්ලිකන් අභියෝගකරු වූ “බෙන්ජමින් හැරිසන්” අතර 1888 වසරේ දී පැවැති තරඟය දූෂණයෙන් පිරී තිබුණි. දෙපාර්ශ්වය ම තම අපේක්ෂකයාට ඡන්දය දීම සඳහා පුරවැසියන්ට මුදල් ගෙවන බවට චෝදනා එල්ල විය. මෙහි දී “පාවෙන” හෙවත් ඉහළම ලංසුකරුට විකුණා දැමිය හැකි පක්ෂපාතීත්වයක් නැති ඡන්දදායකයින් වඩාත් වැදගත් කොට සැලකිණි. මන්දයත් පහසුවෙන් මුදල් වැය කොට මිළට ගත හැකි වූයේ ඔවුන් වූ බැවිනි.
ඉන්දියානා ප්‍රාන්තයේ රිපබ්ලිකානුවන් ඡන්දදායකයින් මිල දී ගන්නා අතරේ, විපක්ෂයේ අල්ලස් ප්රයත්නය ද කඩාකප්පල් කිරීමට කුමන්ත්‍රණය කරන බව පෙන්වන සාක්ෂි කිහිපයක් මතු විය. මේ අතර, දක්ෂිණ ප්රජාතන්ත්රවාදීහු ද අනාගතයේ දී වන්නට යන කළු ඡන්දය මැඩපැවැත්වීම සඳහා තමන්ට හැකි සෑම දෙයක්ම කළහ. ඔවුන්ගෙන් බොහෝ දෙනෙක් රිපබ්ලිකානුවන් වන “ලින්කන්ගේ පක්ෂය” සමඟ පෙළගැසී සිටියහ.
අන්තිමේ දී තරඟය අවසන් වන විට ක්ලීව්ලන්ඩ් සහ ඩිමොක්රටිකයෝ මුළු දකුණම අල්ලා ගෙන සිටි අතර රිපබ්ලිකන් පාක්ෂික හැරිසන්, ක්ලීව්ලන්ඩ්ගේ මව් ප්‍රාන්තය වන ඉන්දියානා ඇතුළු උතුරු හා බටහිර ප්‍රාන්ත පමණක් සුළු පරතරයකින් ජයග්‍රහණය කර තිබිණි. ක්ලීව්ලන්ඩ් දකුණ අතුගා දමමින් මහජන ඡන්ද 90,000 කට වඩා ලබා ගත් නමුත් ඔහුට බහුතරය අහිමි ව තිබිණි. එහෙයින් ඡන්ද විද්‍යාලයේ කර මතින් බෙන්ජමින් හැරිසන් තනතුරට පත් වූයේ ය.
4. ජෝර්ජ් ඩබ්ලිව්. බුෂ් (2000).
1888න් පසු එළඹි වසර 112 දී ම කිසිදු ගැටලුවකින් තොර ව මහජන ඡන්දයෙන් පත් වූ අපේක්ෂකයාත් ඡන්ද විද්‍යාල අපේක්ෂකයාත් එක් අයෙකු ම විය. මීළඟට පැමිණියේ 2000 වසරේ ජනාධිපතිවරණය යි. එය කෙතරම් ගැටලුකාරී වූවා ද කියතොත් අවසානයේ තීන්දුව ලබා දීම ශ්‍රේෂ්ඨාධිකරණයට පැවරීමට සිදු විය.
එම වසරේ අපේක්ෂකයින් වූයේ හිටපු ජනාධිපතිගේ පුත් වූ රිපබ්ලිකන් පාක්ෂික “ජෝර්ජ් ඩබ්ලිව්. බුෂ්” සහ ජනාධිපති බිල් ක්ලින්ටන් යටතේ උප සභාපති ලෙස සේවය කළ ඩිමොක්රටික් අපේක්ෂක “අල් ගෝර්” ය. රාත්‍රිය වන විට ප්‍රකාශයට පත් කිරීමට නියමිත ව තිබුණේ අවසන් ප්‍රාන්ත තුන වූ “ඔරිගන්”, “නිව් මෙක්සිකෝව” සහ “ෆ්ලොරිඩාව” පමණි. පැය කිහිපයක් ගත වන විට පෙනී ගියේ අල් ගෝර් ඉතා සුළු ඡන්ද පරතරයකින් ඔරිගන් සහ නිව් මෙක්සිකෝව ජය ගෙන ඇති බව යි. ඒ අනුව ජනාධිපතිවරයා තීරණය කිරීමේ තීරණාත්මක ප්‍රතිඵලය ෆ්ලොරිඩාවෙන් ලැබිය යුතු විය.
එම ප්‍රාන්තයේ ප්‍රතිඵලය කෙතරම් වැදගත් වූයේ ද කියතොත් එය නැවත නැවත ගණන් කරවීමට පවා සිදු විය. අවසානයේ දී ෆ්ලොරිඩාවේ රාජ්‍ය ලේකම්වරිය වූ “කැතරින් හැරිස්” ප්‍රකාශ කළේ වැඩි ඡන්ද 537කින් බුෂ් ජයග්‍රහණය කර ඇති බව යි. එහෙත් කෝප වූ ගෝර් ෆ්ලොරිඩාවට විරුද්ධ ව නඩු පැවරූ අතර, ඔහුගේ චෝදනාව වූයේ ප්‍රකාශ කරනු ලැබ ඇති සියලු ඡන්ද ගණනය කොට නොමැති බව යි.
ෆ්ලොරිඩා ප්‍රාන්තයේ ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දුව ලබා දුන්නේ ගෝර් නිවැරදි බවට ය. එහෙත් සටන අත්හැර නොදැමූ බුෂ්, ඇමරිකා එක්සත් ජනපද ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ඇපෑලක් ඉදිරිපත් කළේ ය. එහි සිටි විනිසුරුවරුන් පස් දෙනා අතරින් සතර දෙනෙකු ම බුෂ්ට පක්ෂ ව ඡන්දය ලබා දුන් බැවින්, අවසානයේ දී 2000 වසරේ ජනාධිපතිවරණයෙන් ජෝර්ජ් බුෂ් ජය ලැබී ය.
5. ඩොනල්ඩ් ට්‍රම්ප් (2016).
2016 වසරේ මැතිවරණයට පෙර පැවැත්වුණු බොහෝ ජනමත විචාරණවල දී රිපබ්ලිකන් අපේක්ෂක ඩොනල්ඩ් ට්‍රම්ප්, හිටපු ජනාධිපති බිල් ක්ලින්ටන්ගේ බිරිඳ වූ ඩිමොක්රටික් අපේක්ෂක හිලරි ක්ලින්ටන් පරාජය කළ බව පෙනිණි. එහෙත් මහජන ඡන්දයේ දී හිලරි වෙනුවෙන් මිලියන 2.8ක ජනතාවක් ඡන්දය ලබා දී තිබිණි.
ඇය වඩා විශාල ප්‍රාන්ත හා කැලිෆෝනියාව, නිව්යෝර්ක් වැනි වඩාත් ජනාකීර්ණ ප්‍රාන්ත බොහෝමයක් ද ජය ගැනීමට සමත් වූවා ය. එවැනි ප්‍රාන්තවල දී වාසනාවන්ත අන්දමින් 30%ක්, 22%ක් යනාදී වශයෙන් ඡන්ද ප්‍රතිශත ලබා ගනිමින් ඉදිරියට පැමිණීමට ඇයට හැකි විය. එහෙත් විස්කොන්සින් (සියයට 0.8), පෙන්සිල්වේනියා (සියයට 0.7) සහ මිචිගන් (සියයට 0.2) වැනි වඩාත් තීරණාත්මක ප්‍රාන්තවල ජය සනිටුහන් කිරීමට සමත් වූයේ ට්‍රම්ප් ය.
ට්‍රම්ප් හට ජනතා ඡන්ද මිලියන ගණනක් අහිමි වන්නට ඇත. එහෙත් අවසානයේ දී ඡන්ද විද්‍යාලවල ප්‍රතිඵල ගණනය කර බැලූ විට ජයග්‍රහණය කර තිබුණේ වඩාත් ජනප්‍රිය වූ හිලරි ක්ලින්ටන් නොව ඩොනල්ඩ් ට්‍රම්ප් ය.
ශ්‍රීනි ලංකා ජයකොඩි.
අත නොහැර කියවන තැන
ඉන්දියාවේ උමගක් තුළ සිරවුණු කම්කරුවන් බේරා ගැනීම ඇරඹෙයි
සිවු දින සටන් විරාමයකට කැමැත්ත
ඊශ්‍රායල් – හමාස් යුද්ධයට සටන් විරාමයකට යෝජනාවක්