Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

ලඳු කැලෑ සහිත හෙක්ටයාර් පන්ලක්ෂ තිස්දහසක් (530,000) සංවර්ධන කටයුතු සඳහා යොදා ගැනීම සම්බන්ධයෙන් ජනාධිපති කාර්ය සාධක බළකා වාර්තාවක්

මෙරට සමස්ත භූමි ප්‍රමාණයෙන් ලඳු කැලෑ ලෙස හඳුනාගෙන තිබෙන හෙක්ටයාර් පන්ලක්ෂ තිස්දහසක (530,000) භූමි ප්‍රමාණයෙන් පාරිසරික වශයෙන් වැදගත් භූමි ප්‍රදේශ අතහැර ඉතිරි භූමි ප්‍රදේශ සංවර්ධන කටයුතු සඳහා යොදා ගැනීමට සලකා බැලීම වැදගත් බවට ජනාධිපති කාර්ය සාධක බළකා වාර්තාවක සඳහන් කර තිබෙනවා.

මෙරට සමස්ත භූමි ප්‍රමාණයෙන් සියයට අටක් (8%) ලඳුකැලෑ ලෙස හඳුනාගෙන ඇත. මෙම භූමි ප්‍රදේශ අතුරින් පාරිසරික වශයෙන් සංවේදී භූමි ප්‍රදේශ, වනාන්තර වැවීමට යෝජිත භූමි ප්‍රදේශ, වනාන්තර අභ්‍යන්තරයේ තිබෙන ලඳු කැලෑ අතහැර ඉඩම් යම් ප්‍රමාණයක් සංවර්ධන කටයුතු සඳහා යොදා ගැනීම සුදුසු බව එම වාර්තාවේ සඳහන්.

පරිහරණයක් නොමැති හිස් මුඩු ඉඩම් බොහෝමයක් කුඩා කැබලි ලෙස විසිරී තිබීම නිසා එම ඉඩම් විවිධ කටයුතු සඳහා බාධාවක් වී ඇතැයිද අදාළ වාර්තාවේ දැක්වෙනවා.

මෙරට අත්හරින ලද වගා බිම් හෙක්ටයාර් 8,300 ක්ද, අත් හරින ලද කුඹුරු හෙක්ටයාර් 40,000 ක්ද තිබෙන බව අනාවරණය වී ඇති අතර මෙම ඉඩම් බොහෝමයක් තෙත් සහ අතරමැදි කලාපවල පිහිටා ඇතැයිද අනාවරණ වනවා.

කිසිදු කාර්යයකට භාවිත නොකරන පුද්ගලික ඉඩම් හෝ අත්හැර දමා තිබෙන පුද්ගලික ඉඩම් ප්‍රයෝජනවත් කටයුත්තකට යොදා ගැනීම සඳහා දැනට පවතින නීති ප්‍රතිපාදන විශේලේෂණය කර ඉදිරි පියවර ගැනීම සුදුසු බවද අදාළ වාර්තාවේ සඳහන්.

ඉඩම් පරිහරණ ප්‍රතිපත්ති සැලසුම් දෙපාර්තමේන්තුවේ දත්තවලට අනුව මෙරට අත්හරින ලද තේ ඉඩම් ප්‍රමාණය හෙක්ටයාර් 5,855 කි. අත්හරින ලද රබර් ඉඩම් ප්‍රමාණය හෙක්ටයාර් 2359 කි.

මේ වන විට ඇතැම් ඉඩම් කන්ටේනර් අංගන ලෙස යොදා ගැනීම සම්බන්ධයෙන් ද අවධානය යොමුව තිබෙනවා.

© මුලාශ්‍රය – සති අග අරුණ

About The Author