Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

වෛරසයක ව්‍යාප්තිය පිළිබඳ අරුම පුදුම දේ

1996 වසරේ වෛද්‍ය විද්‍යාව පිළිබඳ නොබෙල් ත්‍යාග ලාභී පීටර් ඩොහර්ටි යනු වසංගත රෝග තත්ත්ව සම්බන්ධ විශේෂඥවරයෙකි. මෙම ලිපිය සැකසී ඇත්තේ ඔහු සමඟ කළ සාකච්ඡාවක් ඇසුරිනි.

කිසියම් වෛරසයක් වසංගතයක් ආකාරයෙන් පැතිරී යාමට ඉවහල් වන පාරිසරික සාධක සම්බන්ධයෙන් බොහෝ දෙනෙකු තුළ සාමාන්‍ය දැනීමක් ඇත. එහෙත් අප නොසිතන ආකාරයේ හේතු කාරණා ද එවැනි වසංගත පැතිරීමක් සඳහා ඉවහල් විය හැකි ය. 

1.නියඟය හා වසංගත යනු කලණ මිතුරෝ ය.

සාමාන්‍යයෙන් වසංගතයක් පැතිරීමට තුඩු දෙන්නේ වර්ෂාව යි. එහි දී බෝ වන මදුරුවන් වෛරස ව්‍යාප්තිය වැඩි කරන අතර වර්ෂා කාලයේ දැනෙන ශීත තත්ත්වය සෙම් කෝප කිරීමට සමත් වෙයි. එනමුත් නියඟය ද එලෙසින් ම භයානක වන බව වෛද්‍ය ඩොහර්ටිගේ අදහසයි. එවන් අවස්ථාවක දී ජලය ඉතිරි වන්නේ ස්ථාන කිහිපයක පමණක් වන බැවින් ඒ ඒ ස්ථානවලට එක්රැස් වන කුරුල්ලන් මඟින් වෛරස ව්‍යාප්තිය වැඩි වන බව ඔහු පවසයි. නිදසුනක් වශයෙන් 2012 වසරේ ඇති වු “බටහිර නයිල්” වෛරසය ගත හැකි ය. මන්දයත් එම වසර ද අදාළ ප්‍රදේශවලට අධික ලෙස නියඟය පැවැති වසරක් වූ බැවිනි.

2. කුකුළන් මඟින් වෛරසයක ව්‍යාප්තිය හඳුනා ගත හැකි ය.

ජනතාව ගම්බද ප්‍රදේශවල කුඩා රැළවල් වශයෙන් ගාල් කරන ගෘහස්ථ කුකුළන් මෙම කරුණ සඳහා යොදා ගත හැකි ය.  මදුරුවන් මඟින් සම්ප්‍රේෂණය වන වෛරස වර්ගවල පැතිරීම හඳුනා ගැනීම සඳහා මෙවැනි ගෘහස්ථ කුකුළන්ගේ ස්වභාවය නිරීක්ෂණය කිරීම වැදගත් වේ. පෙර කී බටහිර නයිල් වෛරසයේ ව්‍යාප්තිය සාමාන්‍ය ජනතාව විසින් හඳුනා ගනු ලැබුවේ ද එලෙසින් බව කියවේ. කුකුළන්ගේ ශරීරය වෛරසයකට මුහුණ දුන් පසු ඉක්මනින් යථා තත්වයට පත් වී ප්‍රතිදේහ නිපදවයි. එම ක්‍රියාවලියේ දී නිතිපතා කුකුළන්ගේ ශරීරවලින් පිටතට ලේ ගලා යාමක් සිදු වනු දැකිය හැකි වේ. එහෙයින් එමඟින් අදාළ කලාපය තුළ වෛරසයක් පැතිර යන බව ඔබට පැවසිය හැකිය. මෙම ක්‍රමය දිගු කලක් තිස්සේ භාවිත කළ තාක්‍ෂණයකි.

3. ගුවන් යානයකින් ගමන් කිරීම භයානක ය.

මෙය එතරම් විශ්වාස කළ නොහැකි වුව ද සැලකිය යුතු කරුණක් වේ. ගුවන් යානයකින් ගමන් කිරීමේ දී කිසියම් පුද්ගලයෙකු වෛරසය සහිත ආසාදිතයෙකුට පේළි දෙක තුනක් පිටුපසින් වාඩි වී සිටිය ද අවදානමෙන් මිදිය නොහැකි වේ. එක ම ගුවන් යානයේ ගමන් ගත් සියලු මඟීන් හරහා වෛරසය ලොව පුරා ව්‍යාප්ත වී යා හැකි ය. නිදසුනක් ලෙස මිලියන 50ත් මිලියන 100ත් අතර ජනතාවක් මරා දැමූ 1918 – 1919 වසංගතය 1919 වන තෙක් ඕස්ට්‍රේලියාවට නොපැමිණියේ ඒ වන විට ගුවන් ගමන් එතරම් ප්‍රචලිත වී නොතිබුණු බැවිනි. ඒ වන විට සංචාරකයින් පැමිණියේ නැව්වලිනි. එනමුත් 2009 දී පැමිණි සූකර උණ එක්සත් ජනපදය තුළ පැතිර යාමට පෙර පවා ඕස්ට්‍රේලියාව වෙත පැමිණියේ ය. එයට හේතු වූයේ ගුවන් ගමන් බව කියවේ. 

4. එකවර මිය යනවාට වඩා රෝගී වී බේරීම භයානක ය.

වර්තමාන කොවිඩ් 19 වසංගතයෙන් මිය යන බොහෝ දෙනෙක් වෙනත් නිධන්ගත රෝගවල හිමිකරුවන් බව පෙනී යයි. ඒ කෙසේ වුවත් එවැනි වෛරස රෝගී තත්ත්වයක් ඇති වූ පසු එකවර මිය යාම කිසියම් ආකාරයකින් සමාජයට යහපතක් බව පෙනේ. මන්දයත් රෝගී වී මිය ගිය පසු එම පුද්ගලයා හරහා වසංගතය පැතිරීම නතර වන බැවිනි. මිය නොගොස් රෝගියෙකු ලෙස ජීවත් වීමේ දී අදාළ ආසාදිතයා හරහා කී දෙනෙකුට රෝගය බෝ වී ඇති ද යන්න සිතා ගැනීමටවත් නොහැකි ය. මෙම සංකල්පය අමානුෂික බව සැබෑවකි. එහෙත් එය සත්‍ය වේ.

5. බිළාල කුලයේ සතුන් හරහා රෝගය බෝ නොවේ.

දැනට වසර කිහිපයකට ප්‍රථම පැතිර ගිය එච්.5 එන්.1 කුරුලු උණ වෛරසය බොහෝසෙයින් දක්නට ලැබුණේ කුකුළු මස් ආහාරයට ගනු ලැබූ සතුන් තුළ ය. මෙයින් බියට පත් ජනතාව සිය නිවසේ සිටි බළලුන් පවා මරා දැමූහ. තායිවානයේ එක්තරා සත්වෝද්‍යානයක කොටියන්, බළලුන්, දිවියන් ආදී බිළාල කුලයට අයත් සතුන් සමූහ වශයෙන් මරා දමා තිබිණි. ඒ, සතුන් රැක බලාගත් පුද්ගලයින් විසින් උන් හට කුකුළු මස් කෑමට දමා තිබු නිසාවෙනි. එනමුත් සැබෑ කාරණාව වන්නේ කිසියම් වෛරසයක් නිවසේ සිටින බළලාට ඇතුළු වී ඌ රෝගී වුව ද, එම බළලා හරහා නිවැසියන්ට වෛරසය ආසාදනය වීම සිදු විය නොහැකි බව යි.

6. ඌරන් සමඟ ගනුදෙනු කිරීම එතරම් සුදුසු නැත.

වෛරස සම්බන්ධයෙන් කතා කිරීමේ දී ඒවා අනෙකුත් වෛරස සමඟ එක් වී භයානක තත්ත්වයන් ඇති කරන බව පෙනී යයි. මෙම එකතු වීම බොහෝ දුරට ඌරන්ගේ පෙනහලු තුළ දී සිදු විය හැකි බවට සොයාගෙන තිබේ. නිදසුනක් වශයෙන් 2009 වසරේ දී පැතිර ගිය සූකර උණ වසංගතය සැලකිල්ලට ගනිමු. ඇමරිකානු සූකරයින්ගේ සිරුරු තුළ එක් උණ වර්ගයක් තිබුණු අතර, එයට වඩා වෙනස් වර්ගයක් යුරේසියානු සූකරයන් තුළ තිබිණි. කිසියම් ලෙසකින් මේ දෙවර්ගය එකතු වී තිබුණු අතර, එයින් හට ගත් නව සූකර උණ වෛරසය මිනිසුන් හට අතිශයින් භයානක විය. එලෙස ම 1968 වසරේ දී පමණ හට ගත් හොංකොං උණ වසංගතයට හේතුව වූයේ මිනිසුන් තුළ සාමාන්‍යයෙන් සංසරණය වන එච්.2 එන්.2 වෛරසය, තාරාවන් තුළ තිබෙන එච්.3 එන්.8 වෛරසය සමඟ එක් වීම යි. මෙම එක් වීම බොහෝ විට ඌරන්ගේ සිරුරු තුළ දී සිදු වන්නට ඇතැයි සැලකෙයි.

7. පොකැට්ටුවට පාඩු වුව ද වසංගතය පැතිරීම නවතින්නේ එබැවිනි.

කිසියම් වසංගතයක් ලොව පුරා පැතිර යන විට සිදු වන පළමු වෙනස්වීම වන්නේ ගුවන් ගමන් අත්හිටුවීම යි. පෙර සඳහන් කළ පරිදි ඒ හරහා බොහෝ දුරට වෛරසය ලොව පුරා ගමන් කිරීම නවතියි. දෙවනුව සංචාරක හෝටල්, නැරඹුම් ස්ථාන ආදී සෙනඟ එකතු වන ස්ථානවලට ජනතාව එක් රොක් වීම අත්හිටුවේ. මෙයින් සියලු රටවල සංචාරක කර්මාන්තවලට අතිශයින් පාඩු සිදු වේ. සාර්ස් වසංගතය පැතිර යාමේ දී නැගෙනහිර ආසියානු රටවල සිදු වූ පාඩුව පමණක් ඩොලර් බිලියන 50කට අධික විය. එසේ ඒක පුද්ගල ආදායම ද ශීඝ්‍රයෙන් පහත වැටේ. ඒ, රට අගුළු දැමීම (ලොක්ඩවුන් කිරීම) හේතුවෙන් ජනතාව රැකියාවට යාමට නොහැකි වීමෙනි. කෙසේ වුවත් මේ සියලු දෙයින් සිදු වන්නේ මිනිසුන් තැන් තැන්වලට එක්වීම වැළැකීම යි. එහෙයින් වෛරසය ව්‍යාප්ත වීම ඉබේ ම නවතියි.

8. රෝගී සත්ත්වයෙකුගේ මස් ආහාරයට ගැනීමෙන් රෝගය බෝ නොවේ.

මෙම කරුණ පසුගිය දිනවල දී ද කතාබහට ගැනුණු කාරණාවකි. පෑලියගොඩ මතස්‍ය වෙළෙඳපොළ වැසූ පසු ජනතාව මාළු ආහාරයට ගැනීමට ද බිය වී සිටියහ. එහෙත් කිසියම් සත්ත්වයෙකුට අදාළ වෛරසය ආසාදනය වී තිබුණ ද, එම මස් හොඳින් පිස ආහාරයට ගත් පසු රෝගය මිනිසුන්ට බෝ නොවේ. කෙසේ වුවත් වෛරස ජලයේ දී නොනැසී පවතින බව පෙනේ. එහෙත් ජලයෙන් උණ බෝ වූ පුද්ගලයින් නොමැත. අප කවුරුත් දන්නා පරිදි, උණ පැතිරෙන්නේ ශ්වසන මාර්ගවලින්, අත්වලින් සහ නාසයෙන් පමණි. ඩොහර්ටි විසින් ලියන ලද “වසංගත” නමැති ග්‍රන්ථයේ සඳහන් පරිදි ඔබට ඕනෑ ම වසංගත තත්වයක දී කළ හැකි හොඳම දේ වන්නේ ඔබේ අත් සේදීම සහ මුහුණට අත නො තැබීමයි. අපි සියලු දෙනා නොදැනුවත්ව ම දිනකට විශාල වාර ගණන් අපගේ මුහුණ ස්පර්ශ කරන්නෙමු. විශේෂයෙන් මේසය මත දෑත් තබාගෙන සිටියෙ දී එසේ සිදු වන බව පෙනේ. මෙය මුළුමනින්ම සත්‍යයකි. ඊළඟ කාර්යාලයීය රැස්වීමේ දී ඔබේ සගයින් පිළිබඳ සැලකිල්ලෙන් බලන්න. එවිට මෙම කරුණේ සත්‍යතාව ඔබට වැටහෙනු ඇත.

9. 1918 දී මෙන් මිලියන ගණනක් මිය යන වසංගතයක් නැවත ඇති වන්නේ නැත.

මේ වන විට ලොව සියලු වසංගත නිරීක්ෂණය කිරීමට සහ ඉක්මණින් ප්‍රතික්‍රියා කිරීම සඳහා පවතින පහසුකම් ඇදහිය නොහැකි තරම් ය. සියලු ඉන්ෆ්ලුවෙන්සා මධ්‍යස්ථානවල විශාල ගෝලීය ජාලයක් ඇති අතර තාක්‍ෂණය ද වඩා හොඳය. 1918 දී බොහෝ දෙනෙක් ද්විතියික බැක්ටීරියා ආසාදනවලින් මිය යන්නට ඇත. එහෙත් මේ වන විට බැක්ටීරියා සමඟ කටයුතු කිරීමට අපට ප්‍රතිජීවක ඖෂධ තිබේ. වෛරස සම්බන්ධ තත්ත්වය ද එසේ ම ය.

10. මේ වන විට වෛරසයක් වගා කිරීමේ පහසුකම් ඉහළ ය.

පෙර යුගවල දී ලොව පුරා තිබූ තාක්ෂණය අනුව කිසියම් වෛරසයක් පර්යේෂණාගාරයක් තුළ වගා කිරීම සිහිනයක් වී තිබිණි. එහෙයින් අදාළ වෛරසය සඳහා එන්නතක් සොයා ගැනීම ද දුෂ්කර විය. එනමුත් මේ වන විට පවතින තාක්ෂණයත් සමඟ විද්‍යාඥයෝ බිත්තර තුළ පවා මෙලෙස වගාවන් සිදු කරති. එහෙයින් රෝගය ලොවින් තුරන් කරලීම කිසියම් ආකාරයකින් පහසු ය.

ශ්‍රීනි ලංකා ජයකොඩි.

About The Author