Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

ලොව තෙවරක් බැට කෑ මහාමාරිය.

1.ආරම්භය.

මහාමාරිය වසංගතයට අදාළ රෝගියෙකු ප්‍රථමයෙන් ම හමුවූයේ ක්‍රි.ව. 541 හි කොන්ස්තන්තිනෝපලයට අයත් පෙරදිග රෝමයේ දී හෙවත් බයිසන්ටයින් අධිරාජ්‍යයේ දී ය. එහි පුරවැසියන්ගේ අදහස වූයේ අදාළ විෂබීජය ඊජිප්තුවේ සිට නැව් නැඟ එරටට පැමිණි බව ය. ඊජිප්තුවේ සිට ගෙන ආ ධාන්‍ය අතර කළු මීයන්ගේ බෝ වී සිටි අතර, උන්ගේ සිරුරුවල ලැග සිටි මැක්කන් හරහා රට පුරා වසංගතය පැතිරිණි. 

එයින් අනතුරුව මහාමාරිය වසංගතය සුළි සුළඟක් මෙන් යුරෝපය, ආසියාව, අප්‍රිකාව හා අරාබිය වෙත පැතිර ගියේ ය. ගණනය කිරීම්වලට අනුව මිලියන තිහත් පණහත් අතර මිනිසුන් ප්‍රමාණයක් එනම්, ලෝක ජනගහණයෙන් භාගයක් පමණ මෙම රෝගයෙන් මිය ගියහ. රෝගය වැළඳුණු රෝගියා කෙරෙන් පලා යාම හැරුණුකොට රෝගය වෙනුවෙන් ප්‍රතිකාර කළ යුතු ආකාරය පිළිබඳ කිසිවෙකුට දැනීමක් තිබුණේ නැත. එය අවසන් වූ පසු ද කිව හැකි වූයේ සිරුරේ ප්‍රතිශක්තිය ප්‍රබලවුන් හැර ඉතිරි සියලුදෙනා මිය ගිය බව යි.

2.පුනරාගමනය.

ක්‍රි.පූ 541 දී ඉස්මතු වූ විෂබීජය සැඟවී ගියා මිස මිය ගියේ නැත. එබැවින් එයින් වසර අටසියයකට පමණ පසු මහාමාරිය හෙවත් කළු මරණයේ වසංගතය නැවතත් ලොව වෙළා ගත්තේ ය. ඊට “කළු මරණය” යන නම භාවිතයට ගැනුණේ, රෝගය වැළඳුණු පසු සම්පූර්ණ ශරීරයේ ම සම කළු පැහැ ගැන්වී, පැලී, ලේ ගලන බැවිනි. රෝගය වැළඳීමේ අවදානම නොසලකා තමතමන්ගේ කටයුතුවල නිරත වූ බොහෝ දෙනෙකු මෙයින් මිය ගිය බව පෙනේ. දෙවන වර පැමිණි මහාමාරිය වසංගතය හේතුවෙන් වසර හතරක් ඇතුළත මිලියන දෙසියයක පමණ ජීවිත ගණනක් නැසී තිබේ. ඒ 1347 වර්ෂයේ දී ය.

කෙසේ වුවත් දෙවන වරටත් මෙය වළක්වා ගැනීම පිණිස ඔවුනට කිසිදු විද්‍යාත්මක දැනුමක් තිබුණේ නැත. එහෙත් රෝගියා ස්පර්ශ කිරීමෙන් විෂබීජය ඇතුළු විය හැකි බව ඔවුන් දැන සිටි වග පෙනේ. එබැවින් වැනීසියේ විසූ දුරදක්නා නිළධාරීහු පිරිසක් මුල් වී “රගුසා” වරායට සේන්දු වන නැව් වෙනුවෙන් නව නීතියක් ගොඩ නැඟූහ. එනම්, දින තිහක් ගත වන තුරු ගොඩබිමට පැමිණීම තහනම් කිරීමයි. අවසන් දින වෛද්‍යවරයෙකු ගොස් ඔවුනට කිසිදු රෝගයක් නොමැති බව තහවුරු කර ගත් පසු සාමාන්‍ය පරිදි ගොඩබැසීම් හා ගොඩබෑම් කිරීමට ඉඩ සැලසිණි. 

මෙය බටහිර ලෝකයේ ප්‍රථම නිරෝධායන වැඩපිළිවෙළ ලෙස හැඳින්වේ. මුල් අවධියේ දී එම නීතිය “ට්‍රෙන්ටිනෝ” (30) යනුවෙන් නම් විය. පසුව මෙම දින ගණන හතළිහක් දක්වා වැඩි කෙරුණු අතර “හතළිහ” යන අදහස දෙන “ක්වොරන්ටිනෝ” යන නාමය භාවිතයට පැමිණුනි. 

3.බ්‍රිතාන්‍යයේ මහාමාරිය.

අන් රටවලින් විෂබීජය මදින් මද තුරන් වී ගිය ද, බ්‍රිතාන්‍යයට එසේ ලෙහෙසියෙන් ගැලවීමට ලැබුණේ නැත. 1348 සිට 1665 දක්වා සෑම වසර විස්සකට ම වරක් මෙම වසංගතය බ්‍රිතාන්‍යයේ ලන්ඩන් නගරය වෙළා ගත්තේ ය. ඒ අනුව වසර තුන්සියයක් පමණ ඇතුළත හතළිස් වතාවක් ලන්ඩනයට පහර වැදිණි. ඒ සෑම අවස්ථාවක දී ම ජනගහණයෙන් 20%ක් මිය ගියහ. ඊට ගැහැනු ද? පිරිමි ද? දරුවන්ද? යන්න අදාළ වූයේ නැත. 

බලා සිටිය නොහැකි තැන 1500 වසරේ දී පමණ බ්‍රිතාන්‍ය ආණ්ඩුව රෝගීන් හුදෙකලා කිරීමට පටන් ගත්තේ ය. ඒ අනුව රෝගියෙකු වෙසෙන සෑම නිවසක ම ඉදිරිපස පිදුරු මිටියක් එල්ලීමට උපදෙස් ලැබිණි. තව ද, රෝගී නිවසකින් පිටතට පැමිණෙන සෑම පුද්ගලයෙකු ම සුදු පැහැ පිදුරු ගසක් රැගෙන යා යුතු විය. එමඟින් අන්‍යයන්ට රෝග වාහකයින් පිළිබඳ පණිවුඩයක් ලැබිණි. 

එකල විසූවන්ගේ මතය වූයේ මීයන්ගෙන් පමණක් නොව බල්ලන් පූසන් වැනි සුරතල් සතුන්ගෙන් ද රෝගය බෝ වන බව යි. එහෙයින් සිය නිවෙස්වල ඇතිකළ සුරතල් සතුන් තොග පිටින් විකුණා දැමීමට ලන්ඩන් නගරවාසීහු පසුබට නොවූහ.

1665 දී මතු වූ වසංගත තත්ත්වය වඩාත් භයානක වූ අතර, එමඟින් මාස හතක් ඇතුළත ලන්ඩන්වාසීහු ලක්ෂයක් පමණ මරු වැළඳ ගත්හ. සියලු පොදු ස්ථාන වසා දැමුණු අතර ජනතාවට නිවෙස් තුළට ම වී සිටීමට බල කෙරිණි. රෝගීන්ගේ නිවෙස්වල ඉදිරිපස දොරෙහි රතු කුරුසයක් ද “දෙවියනි, අපට අනුකම්පා කළ මැනව.” යනුවෙන් යාඥාවක් ද ලියවිණි. අවසානයේ දී කළු මරණ වසංගතය ලොවින් තුරන් වූයේ බොහෝ පිරිසක් සමූහ මිනී වළවල් තුළ මිහිදන් කරවමිනි. 

ශ්‍රීනි ලංකා ජයකොඩි

About The Author