1930 පමණ වන තුරු පැපුවා නිව්ගිනියාවේ උතුරු ප්‍රදේශයේ මිනිසුන් ජීවත් වූ බව කිසිවෙකුත් දැන සිටියේ නැත. පසු කලෙක එහි විසූ නොයෙක් වර්ගවල ගෝත්‍රිකයන් මිලියනයක් පමණ සොයා ගැනීම නිසා ලොවම පුදුම විය. මද කලක් ගත වන විට උතුරු නිව්ගිනියාවේ “ෆෝ” ගෝත්‍රයට අයත් මිනිසුන් එකිනෙකා මිය යාමට පටන් ගත්තේ අද්භූත අන්දමිනි. ඔවුන් එම වසංගත රෝගය “කුරු” යනුවෙන් හැඳින්වූ අතර, රෝග ලක්ෂණ වූයේ වෙව්ලීම සහ හැඟීම් පාලනය ගිලිහී යාම ය. එබැවින් එය “ලාෆින් ඩෙත්” හෙවත් “සිනාසෙන මරණය” ලෙසින් ද නම් කෙරිණි.
වැඩිදුර පරීක්ෂණ කරමින් යන විට, මෙයට හේතුව ඔවුන්ගේ අවමංගල්‍ය චාරිත්‍රයක් බව හෙළි විය. සාමාන්‍යයෙන් යම් පුද්ගලයෙකු මිය ගිය විට ටිකින් ටික ශරීරය පණුවන් ආදී පරපෝෂිතයින්ගේ ප්‍රහාරයට ලක් වේ. “ෆෝ” ගෝත්‍රිකයන් සිතුවේ මිය ගියත් තම හිතවත් ඥාතියෙකුගේ සිරුර එසේ පණුවන්ට කන්නට හැරීම අගෞරවයක් බව ය. එබැවින් ඔවුහු එම මළ සිරුර උයා කෑමට ගත්හ.
එය සිදු කළේ වඩාත් මහලු කාන්තාවන් විසින් පමණි. මන්දයත් ඔවුන් බොහෝ කලක් පරිසරයට නිරාවරණය වී ඇති නිසා, මිය ගිය ආත්මය හීලෑ කර ගැනීමට ඔවුන් සතු ව විශේෂ හැකියාවක් ඇති බව විශ්වාස කළ බැවිනි. අදාළ ක්‍රියාවලිය සිදු කළේ මෙසේ ය.
පළමුව මළ සිරුරේ හිස පලා, මොළය ඉවතට ගෙන, එයට කුළුබඩු ආදිය මිශ්‍ර කරයි. දෙවනුව මොළ කොටස් උණ බම්බුවක් තුළට දමා උයා ගනියි. සිරුරේ ඉතිරි කොටස් ද ඒ අන්දමින් වරින් වර ඉවතට ගෙන උණ බම්බුවල දමා පිසගෙන ආහාරයට ගනියි. ඔවුන් ඉවත හෙලූයේ පිත්තාශය පමණි. මන්දයත් පිසූ විට එය දත්වලින් සැපිය නොහැකි තරම් ඝනකම් වූ බැවිනි. මෙම මළ සිරුරු වැඩි වශයෙන් ආහාරයට ගත්තේ කාන්තාවන් ය. උත්සව කාලයක් නම් ඔවුහු ඒවා බැදුම් ලෙස සකස් කොට සිය දරුවන්ට ද කෑමට දුන්හ.
මෙසේ සිරුරු කොටස් ආහාරයට ගැනීමට පුරුදු වූ බොහෝ දෙනෙක් ඉහත කී අද්භූත “කුරු” රෝගයෙන් මිය ගියහ. ඊට ගැහැනු – පිරිමි භේදයක් නොවී ය. මන්දයත් පිරිමි දරුවන් ද විවාහ වී නිවසින් පිට වන තුරු සිය මව විසින් ලබා දෙන ලද ඕනෑම ආහාරයක් කෑමට ගත් හෙයිනි.
මෙම රෝගය පිළිබඳ පර්යේෂණ කළ වෛද්‍ය කණඩායම් ඉහත කී අන්දමට පිසින ලද සිරුරු කොටස් චිම්පන්සියන්ට එන්නත් කළහ. මාස කිහිපයකට පසු එම චිම්පන්සියන් ද කුරු රෝගයේ ලක්ෂණ පෙන්වීමට පටන් ගත් හෙයින් වෛද්‍යවරුන්ගේ ස්ථිර නිගමනය වූයේ අදාළ රෝගය හට ගන්නේ “ෆෝ” ගෝත්‍රිකයන්ගේ විෂමාචාර අවමංගල චාරිත්‍ර හේතුවෙන් බව ය.
මෙය එක්තරා අන්දමක ප්‍රෝටීනයක් විය. එහි විශේෂත්වය වූයේ අදාළ ප්‍රෝටීනය නීරෝගී මොළය තුළට ගමන් කොට ඊට අනුගත වනවා වෙනුවට, මොළය විකෘති තත්ත්වයට පත් කිරීම යි. එවිට නීරෝගී පුද්ගලයා සම්පූර්ණයෙන් ම වෙනස් ජීවියෙකු බවට පත් වේ. අදාළ ප්‍රෝටීනය නිසා මොළයේ සෑම තැනක ම “ස්පොන්ජයක” මෙන් සිදුරු හට ගනී. එය තමාට ම දරා ගත නොහැකි අවස්ථාවට පැමිණි විට, රෝගියා වෙව්ලමින් ඇද වැටී මිය යයි. මෙම රෝගී තත්ත්වය වඩාත් ගැලපෙන්නේ “ජෙකිල් – හයිඩ් වර්ගය”ට ය. එනම්, අතිශය අහිංසක සහ සම්පූර්ණයෙන් ම මාරාන්තික යන ගතිගුණ දෙක ම වරින් වර උත්තේජනය වන තත්ත්වයට පත් වීමට ය.
එබැවින් වෛද්‍යවරු මෙම මළ සිරුරු පිසීම තහනම් කිරීමට උත්සාහ කළහ. එහෙත් එය සිතූ තරම් පහසු නොවීය. මන්දයත් සාමාන්‍යයෙන් ගෝත්‍රිකයන් පිටස්තරයින්ගේ අතපෙවීම් අනුමත නොකරන බැවිනි. පසු කාලයක දී “ෆෝ” ගෝත්‍රිකයන් විසින් මෙම තත්ත්වය වටහා ගත් අතර ටිකින් ටික අදාළ ජුගුප්සාජනක චාරිත්‍රය අත්හිටුවන ලදී. කුරු රෝගයෙන් පීඩා විඳි අවසන් පුද්ගලයා මිය ගියේ 2009 වසරේ වන බැවින්, මේ වන විට මෙම රෝගය සම්පූර්ණයෙන් ම තුරන් වී ඇති බව සිතිය හැකි ය. එහෙත් ගැටලුව වන්නේ අදටත් දක්නට ලැබෙන “ගව කුර රෝගය”, ඉහත සඳහන් වසංගතයේ ලක්ෂණ පෙන්වීම යි.
ශ්‍රීනි ලංකා ජයකොඩි
අත නොහැර කියවන තැන
ආර්තවහරණය පිළිබඳ මිථ්‍යාවන් හතක් !
කොළඹ විශ්වවිද්‍යාලය තට්ටය මට්ටු කරමින් තෙලක් බෙදයි
ඉදිරි දශකය ජයගත හැකි අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන සමාජ විද්‍යාත්මක කථිකාවක්